ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිරෝෂිමා බෝම්බය: ජපානය න්‍යෂ්ටික ප්‍රහාරයේ 75 සංවත්සරය සමරයි
ජපානයේ හිරෝෂිමා හි ඝණ්ටා හැඬවුණේ ලොව පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමේ 75 වෙනි සංවත්සරය සැමරීමට ය.
එහෙත් වෙනදා මෙන් නොව මෙවර සැමරුම් අවස්ථාවල උත්කර්ෂයක් දක්නට නොලැබුණේ පවතින වසංගතය හේතුවෙනි.
1945 වසරේ අගෝස්තු 6 වෙනිදා ඇමෙරිකානු ගුවන් යානයකින් හෙළන ලද යුරේනියම් බෝම්බයට ගොදුරු වී 140,000 ක් දෙනා මියගියහ.
එතැන් සිට දින තුනක් ඉකුත්වෙද්දී නාගසාකි වෙත ද බෝම්බයක් හෙළිණි. ඉන් සති දෙකකට පසු ජපානය යටත් වූයේ දෙවෙනි ලෝක සංග්‍රාමය නිමාවට පත් කරමිනි.
බ්‍රහස්පතින්දා (අගෝ. 06) උදෑසන හිරෝෂිමාවේ පිහිටි සාම උද්‍යානයට රැස්වූ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත්තන් හා ඊට මුහුණ දුන් පුද්ගලයන්ගෙන් පැවත එන්නන් සමග ජපාන අගමැති ෂින්සෝ අබේ සහ හිරෝෂිමා නගරාධිපතිවරයා එක්වූයේ එම අතීත අවස්ථාව සැමරීමට ය.
මෙම සංවත්සර සැමරුම සඳහා දහස් ගණනක පිරිසක් සහභාගි වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් මෙම වසරේ දී සහභාගිත්වය සැලකිය යුතු තරමින් අඩු වී තිබූ අතර ආසන පනවා තිබුණේද එකිනෙකට දුරස්ථවය. සහභාගිවුවෝ මුව ආවරණ පැළඳ සිටියහ.
නගරයට බෝම්බය පතිත කෙරුණු වේලාව, එනම් උදෑසන 8.15 ට නිශ්ශබ්දතාව පළකෙරිණි.
"1945 අගෝස්තු 6 වෙනිදා එක න්‍යෂ්ටික බෝම්බයක් අපේ නගරය විනාශ කළා. එවක පැතිරුණු කතාවකින් කියැවුණේ වසර 75 කට කිසිම දෙයක් මෙහි වැවෙන්නේ නැති බවයි."
"සමයේ සංකේතයක් බවට පත්වෙමින් හිරෝෂිමා ආයෙමත් නැගිට්ටා."
එවැනි අවි භාවිතයෙන් ඉවත් කරන ලෙස වීඩියෝ පණිවිඩයක් එවමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
"බෙදීම ඇති කරන්නේ විනාශයක්. ඒ වගේම සංවාදයක් නොවීමේ අවදානම විසින් සිදු කරනු ලබන්නේ ඉවසීමකින් තොර උපායමාර්ගික න්‍යෂ්ටික තරගයකට ලෝකය නැවත යොමු කිරීමයි," ඔහු පැවසීය.
"න්‍යෂ්ටික අවදානම මුලිනුපුටා දැමීමේ එකම මාර්ගය වන්නේ න්‍යෂ්ටික අවි මුලිනුපුටා දැමීමයි," මහලේකම්වරයා කියා සිටියේය.
1945 දී සිදුවුයේ කුමක්ද?
1945 දී ජර්මනිය මිත්‍ර හමුදාවලට යටත් වුවත්, ආසියාව තුළ දෙවෙනි ලෝක යුද්ධය තවදුරටත් ඇදී ගියේ මිත්‍ර හමුදා ජපාන අධිරාජ්‍යය සමග යුද වැදී සිටි බැවිනි.
සාමය සඳහා කළ අවසාන යෝජනාව ටෝකියෝ පාලනය විසින් බැහැර කරනු ලැබීම හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වාසය වුයේ, න්‍යෂ්ටික බෝම්බයක් හෙළීම තුළින් ඇමෙරිකානු හමුදා හානියට ලක්වීමේ අවදානමකින් තොරව හදිසි යටත්වීමකට ජපානයට බල කිරීමය.
'ලිට්ල් බෝයි'- අගෝස්තු 6 වෙනිදා ඇමෙරිකාව හිරෝෂිමාවට හෙළන ලද පළමු න්‍යෂ්ටික බෝම්බය හැඳින්වූ සංකේත නාමය විණි. එම ප්‍රහාරය යුද්ධයකදී න්‍යෂ්ටික අවියක් භාවිත කළ පළමු අවස්ථාව විය.
නගරය සමතලා කරමින් හටගත් විශාල පිපිරුමෙදී එකෙනෙහිම පුද්ගලයින් 70,000ක් මියගිය බව විශ්වාස කෙරේ. ඉන් පසු එළඹුණු දින, සති හා මාස ගණන තුළදී විකිරණ විෂ වීමෙන් හටගත් තුවාල හේතුවෙන් තවත් දස දහස් ගණනක් මිය ගියහ.
එම ප්‍රහාරයෙන් වුවද ජපානයේ යටත්වීමක් නොදුටු තැන දින තුනකට පසු 'ෆැට් මෑන්' නමින් හැඳින්වුණු තවත් බෝම්බයක් කිලෝමීටර 420ක් පමණ දකුණින් වූ නාගසාකි වෙත හෙළිණි.
වාර්තා වූ මරණ සංඛ්‍යාව ඇස්තමේන්තු කෙරුණු ඒවාය. එහෙත් 350,000 ක් වූ හිරෝෂිමාවේ ජනගහනයෙන් 140,000ක් මියගිය අතර නාගසාකි හි මියැදුණු සංඛ්‍යාව අවම වශයෙන් 74,000 කි.
පරීක්ෂණ කාර්යයන් නොවී මෙතෙක් පුපුරුවා හරින ලද න්‍යෂ්ටික බෝම්බ දෙක එසේ එල්ල කෙරුණේ හිරෝෂිමා හා නාගසාකි වෙතය.
එම බෝම්බ ද්විත්වය ආසියාව තුළ යුද්ධය හිටි අඩියේ නතර කළේය. 1945 වසරේ අගෝස්තු 14 වෙනිදා ජපානය මිත්‍ර හමුදාවලට යටත් විය.
එහෙත් ඇතැම් විචාරකයින් පැවසුවේ ජපානය ඒ වනවිට යත්වීමට ආසන්නයේ සිටි අතර එම බෝම්බවලින් සිවිල් වැසියන් විෂමානුපාතික ප්‍රමාණයක් මරාදැමුනු බවය.
යුද සමයේ ජපානය ලද අත්දැකීම, එරට ඉතා බලවත් ශාන්තිවාදී වැඩපිළිවෙලකට යොමු කෙරිණි. න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සඳහා වූ සිය කැපවීම ජපාන ආණ්ඩුව විසින් වාර්ෂික හිරෝෂිමා සංවත්සරයේදී යළි තහවුරු කරනු ලබයි.
යුද්ධයෙන් අනතුරුව සාමයේ නගරයක් වශයෙන් තමන් යළි සකසා ගැනීම සඳහා උත්සාහ දැරූ හිරෝෂිමා නගරය ලොව පුරා න්‍යෂ්ටික අවිහරණය ප්‍රවර්ධනයේ යෙදී සිටී.
ලෝකය වෙනස් කළ බෝම්බය
- 'ලිට්ල් බෝයි' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු බෝම්බය ටීඑන්ටී ටොන් 20,000ක පුපුරන ද්‍රව්‍ය බලයකින් සමන්විත විණි.
- ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ 20 හැවිරිදි කර්නල්වරයෙකු වූ පෝල් ටිබෙට්ස් න්‍යෂ්ටික බෝම්බය හෙලීමේ මෙහෙයුමට නායකත්වය දුන්නේය.
- බෝම්බය හෙළන ලද ගුවන් යානය 'ඉනොලා ගේ' යනුවෙන් නම් කෙරී තිබුණේ කර්නල් ටිබෙට්ස් ගේ මව සිහිකිරීම සඳහාය.
- ප්‍රහාරයේ අවසන් ඉලක්කය තීරණය කෙරුණේ බෝම්බය හෙලීමට පැයකට පෙර ය. හිරෝෂිමාවට ඉහළින් වූ යහපත් කාලගුණය නගරයේ ඉරණම තීරණය කෙරිණි.
- බෝම්බය පිපිරීමේදී, එම පිපිරුම් ස්ථානයේ උෂ්ණත්වය අංශක මිලියන ගණනකි.
- පිපිරීමෙන් හටගත් පුළුල් කම්පන තරංගයෙන් ගොඩනැගිලි සමතලා විය.
- භූමියේ සිටි දහස් ගණනක් මිනිසුන් එකෙනෙහිම මරණයට පත්වීම හෝ තුවාල ලැබීම සිදුවිය.
මෙම තොරතුරුද දැනගන්න :