ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මොරොක්කෝ භූ කම්පනයෙන් තම පන්තියේ දරුවන් 32ක් අහිමි වූ ගුරුවරියකගේ ශෝකාලාපය
- Author, යස්මින් ෆරාග්
- Role, බීබීසී ලෝක සේවය
"මට මැවිලා පේනවා මම මගේ පන්තියේ පැමිණීමේ ලේඛනය අතේ තියා ගෙන එක එක ළමයෙක් ගාණේ නම් ලකුණු කරපු හැටි, නම් 32ක ම ඉවර වෙනකම්; ඒ කිසි කෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ."
මරාච්හි අරාබි සහ ප්‍රංශ ගුරුවරියක වන නස්රීන් අබු එල්ෆඩෙල්, මැග්නිටියුඩ් 6.8ක භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවී සිටි තම සිසු සිසුවියන් සොයා මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුකරයේ ඇඩසීල් ගම්මානයට දිව ගිය දිනය පිළිබඳව විස්තර කරන්නී ය.
ඉකුත් සිකුරාදා දිනයේ ඇති වූ භූ කම්පනයෙන් පසු නස්රීන් සහ ඇගේ මව වීදියක රාත්‍රිය පහන් කරමින් සිටින මොහොතේ ඇයට මෙම ප්‍රබල භූ කම්පනය කඳුකර ගම්මානවලට සිදු කළ විනාශකාරී බලපෑම පිළිබඳ පුවත සැලවිය.
ඇයට එක වර සිහියට නැගුණේ, තමන් රැකියාවේ නිරත වූ පාසල වන ඇඩසීල් මධ්‍ය විදුහල සහ "ඇගේ දරුවන්" ලෙස ඇය විසින් හඳුන්වනු ලබන තම සිසු සිසුවියන් ය.
"මම ගමට ගිහින් මගේ දරුවන් ගැන අහන්න පටන් ගත්තා: කෝ සොමායා? කෝ යූසුෆ්? කෝ මේ කෙල්ල? කෝ ඒ කොල්ලා? පැය ගාණකට පස්සේ ලැබුණු උත්තරය තමයි: 'ඒ හැමෝම මැරිලා.'"
සැප්තැම්බර් 8 වන දින, මොරොක්කෝව එරට තුළ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනයට ගොදුරු වූ අතර එය 3,000කට පමණ දිවි අහිමි කළ තවත් දහස් ගණනක් අතුරුදන් කළ දශක හයක් තුළ සිදුවූ මාරාන්තිකම භූ කම්පනය විය.
දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ වන්නේ, මරාච් සිට දකුණු දෙසින් පිහිටා ඇති ප්‍රදේශ වන ඇත ඒවායේ ඇති කඳුකර ගම්මාන බොහොමයක් සම්පූර්ණයෙන් ම පාහේ විනාශයට පත් විය.
නස්රීන් විසින් සොයා ගන්නා ලද එක් සිසුවියක වූයේ කදීජා ය. ගලවා ගැනීමේ නිලධාරීන් 6 හැවිරිදි එම දැරිය සොයා ගත් අවස්ථාවේ ඇය තම සොහොයුරා වූ මොහොමඩ් සහ සහෝදරියන් දෙදෙනා වන මෙනා හා හනාන් අසල ඔවුන්ගේ ඇඳ මත වැතිර සිටියා ය. භූ කම්පනය අතරතුර බොහෝ දුරට ඔවුන් නින්දේ සිටින්නට ඇත. ඔවුන් සියල්ල ම ඉගෙනුම ලැබුවේ නස්රීන්ගේ විදුහලේ ය.
"කදීජා තමයි මම කැමති ම ශිෂ්‍යාව වුණේ. ඇය හරි ම ප්‍රියමනාප යි. දක්ෂයි වගේ ම ක්‍රියාශීලියි. එයා හරි කැමති යි සින්දු කියන්න. ඇය නිතර ම මගේ ගෙදර පවා ආවා ගියා. මම හරි කැමැත්තෙන් පාඩම් වැඩ කරන ගමන් ඇයත් එක්ක කතාබහ කළේ."
නස්රීන් තම සිසු සිසුවියන් පිළිබඳව සිහිපත් කළේ, ඉගෙනීමට ආශාවෙන් පසු වූ විනීත "දේවදූතයන්" බඳු දරුවන් ලෙස ය. දරිද්‍රතාවය සහ ජීවන වියදම් අර්බුදය සමග පොරබදමින් සිටිය ද, දරුවන් සහ ඔවුන් පවුල්වල සාමාජිකයින් සිතුවේ "ලොව ඇති වැදගත් ම දෙය නම්" පාසල් යාම බව ය.
"අපේ අවසාන පන්තිය පැවැත් වූවේ සිකුරාදා රාත්‍රියේ, භූමිකම්පාව ඇති වෙන්න හරියට ම පැය පහකට කලින්," නස්රීන් සිහිපත් කළා ය.
"අපි මොරොක්කෝවේ ජාතිය ගීය ඉගෙන ගනිමින් හිටියේ. සැලසුම තිබුණේ, සඳුදා මුළු ඉස්කෝලේ ඉස්සරහ ම ඒක ගායනා කරන්න."
'නින්දක් නැහැ'
සන්සුන් හඬකින් තම අත්දැකීම් විස්තර කළ ද නස්රීන් පසුවන්නේ කම්පනයෙනි. ඇගේ සිසුන්ට සහ ඇගේ පාසලට සිදු වූ දේ ඇයට තවමත් වටහා ගැනීමට නොහැකි ය.
"මම නිදා ගන්නේ නැහැ; මම තාමත් ඉන්නේ කම්පනයට පත් වෙලා," ඇය මා හා පැවසීය. "මිනිස්සු මාව සලකන්නේ වාසනාවන්තයෙක් විධියට. ඒත් මම දන්නේ නෑ ජීවිතේ කොහොම ඉස්සරහට අරගෙන යන්න ද කියලා."
සිය භාෂාව වන තමසියාහ් ප්‍රධාන වශයෙන් කතා කරන උතුරු අප්‍රිකාවේ ස්වදේශික ප්‍රජාවක් වන ඇමසායිහ් ජනයාගෙන් පිරී ඇති ගම්මානයක් වන ඇඩසීල්හි දරුවන්ට අරාබි සහ ප්‍රංශ භාෂා ඉගැන්වීමට නස්රීන් ප්‍රිය කළා ය.
"අරාබි සහ ප්‍රංශ භාෂා ඉගෙන ගන්න එක හරි ම අමාරුයි. ඒත් මේ දරුවෝ හරි ම දක්ෂයි. ඔවුන් භාෂා දෙක ම වගේ චතුර ලෙස හසුරුවමින් හිටියේ," ඇය සිහිපත් කරයි.
නස්රීන් ගුරුවරියක ලෙස සිය වෘත්තීය අඛණ්ඩව කර ගෙන යාමට සැලසුම් කරන අතර භූ කම්පනයෙන් කඩා වැටුණු ඇඩසීල්හි පාසල ඔවුන් නැවත ගොඩනගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පසුවෙයි.
නිල නිවේදනවලට අනුව අධ්‍යාපන ආයතන 530කට විවිධ මට්ටම්වලට හානි සිදුවී ඇති අතර ඇතැම් ඒවා සම්පූර්ණයෙන් ම කඩා වැටී හෝ දැඩි ව්‍යුහාත්මක හානිවලට ලක්ව ඇත.
මොරොක්කෝ රජය විසින් ලැහැවුස්, ශීෂෞවා සහ තරුදන් යන දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල පාසල් කටයුතු තාවකාලිකව නවතා දමා ඇත.
"සමහර විට දවසක ඔවුන් පාසල නැවත ගොඩනගලා අධ්‍යාපන කටයුතු ආරම්භ කළාට පස්සේ, අපිට ඒ දරුවන් 32 දෙනා සිහිපත් කරලා එයාලගේ කතාව කියන්න පුළුවන්," නස්රීන් පැවසුවා ය.