සිඩ්නි සම්මාන උළෙලේ සම්මාන 4ක් දිනූ The Jungle and the Sea ගැන නදී කම්මැල්ලවීර සමග කතාබහක්

THE JUNGLE AND THE SEA

ඡායාරූප මූලාශ්‍රය, The Jungle and the Sea | belvoir.com

Sydney Theatre Awards යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වේදිකා නාට්‍ය සම්මාන උළෙල ලෙස සැලකේ.

එම සම්මාන උළෙලේදී යම් නිර්මාණයක් සම්මානයට පාත්‍ර වීම ඔස්ට්‍රේලියාවේ මහත් ගෞරවයට පත් වන අවස්ථාවක් බව විචාරකයින්ගේ අදහසයි.

2005 වසරේදී ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, 17 වන වරටය.

එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සම්මාන උළෙලකදී ශ්‍රී ලාංකික රංගන ශිලිපිනියක රංගනයෙන් දායක වන වේදිකා නාට්‍යයකට සම්මාන 4ක් හිමි වී තිබේ.

ඒ, නදී කම්මැල්ලවීර රංගනයෙන් දායක වන The Jungle and the Sea (ගණ වන මුහුද) වේදිකා නාට්‍යයයි.

එම නාට්‍යයට හිමි වූ සම්මාන 4 වන්නේ, The Best Mainstage Production, Best New Australian Work, Best Ensemble සහ Best Music Score of a Mainstage Production යන සම්මානයි.

බෙල්වොයර් තියටර් නමැති නාට්‍ය සමාගමේ නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂවරයා ඒමොන් ෆ්ලැක් වන අතර පිටපත ඒමොක් ෆ්ලැක් සහ එස්. ශක්තිධරන් එක්ව රචනා කර තිබේ.

මෙම සම්මානිත නාට්‍යයේ චරිත දෙකක් නදී කම්මැල්ලවීර නිරූපණය කළාය.

මෙම නාට්‍යය සහ එය ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබදව බීබීසී සිංහල සේවය, නදී කම්මැල්ලවීරගෙන් අදහස් විමසීය.

The Jungle And The Sea වේදිකා නාට්‍යයේ තේමාව සහ එහි අන්තර්ගතය පිළිබදව නදී කම්මැල්ලවීර පැහැදිලි කළේ මෙසේය.

THE JUNGLE AND THE SEA

ඡායාරූප මූලාශ්‍රය, The Jungle and the Sea | belvoir.com

ඡායාරූප ශීර්ෂ වැකිය, The Jungle and the Sea (ගණ වන මුහුද, காடும் கடலும்) නාට්‍යයේ ජවනිකාවක් අතරතුර
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"Jungle and the Sea නාට්‍යයට තේමාව වුණේ ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරට මැදිවුණු සාමාන්‍ය පවුලකට අත්වුණු ඉරණම. එය ලංකාව සහ ඔස්ට්‍රේලියාව කියන රටවල් දෙකේ ම දිග හැරෙන කතාවක්. තමන් අවට සෑම දේ ම බිඳ වැටෙද්දීත්, ජිවිතය සහ අනාගතය පිළිබඳ අපේක්ෂා අත් නොහරින මිනිසුන් පිළිබඳ කතාවක්. ධර්මය සහ අධර්මය අතර තෝරාගැනීම් පිළිබඳ කතාවක්. එය එක අතකට කිසි දා නොමැකෙන තුවාල සහිතව, තමන්ගේ රටින් පලා යාමට බල කෙරුණු යුද්ධ සරණාගතයන්ගේ කතාවක්. තවත් අතකට ප්‍රේමය වෙනුවෙන් අතිදුෂ්කර තෝරාගැනීම් කළ ආදරවන්තයින්ගේ කතාවක්. තවත් පැත්තකින්, දේශපාලකයන්ගේ සහ විමුක්ති සටන් සංවිධානවල නායකයන්ගේ උද්දච්චභාවය, මමංකාරය සහ අවස්ථාවාදී දේශපාලන ප්‍රයෝග හමුවේ රටකට සහජීවනය කරා යාමට තිබුණු අවස්ථා ඛේදනීය ලෙස අහිමි වීම පිළිබඳ කතාවක්." 

Jungle and the Sea වේදිකා නාට්‍යයේ නදී කම්මැල්ලවීර චරිත දෙකකට පණ පොවන්නීය.

"මං මේ නාට්‍යයේ චරිත දෙකක් රඟපෑවා. එකක් මධු කියන චරිතය. එය කතාවේ ප්‍රධාන දෙමළ පවුලේ දියණියකගේ චරිතයක්. අනික් චරිතය දේව්ලා කියන, පුහුදුන් මිනිසුන් ඇසුරේ ජීවත්වීම ප්‍රකිත්ෂේප කරමින් කැලෑ වැදී, ස්වභාවධර්මයේ නියාමයන්ට අනුව ජීවත්වෙන, සමාජය විසින් '' පිස්සු ගෑනියෙන්'' විදියට නම් කරන ලද වියපත් ස්ත්‍රියකගේ චරිතයක්," නදී පැවසීය.

එම නාට්‍යයට සම්බන්ධ වීමට ඔබට අවස්ථාව හිමි වූයේ කෙසේ ද? යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නදී කම්මැල්ලවීර සදහන් කළේ, එම අවස්ථාව තමන්ට අහම්බයකින් ලැබුණු එකක් නොවන බවය.

"මේ නාට්‍යය නිෂ්පාදනය කළේ සිඩ්නි වල බෙල්වොයර් තියටර් කියන නාට්‍ය සමාගමෙන්. එය අධ්‍යක්ෂණය කළේ ඒමොන් ෆ්ලැක්. පිටපත ලිව්වේ ඒමොන් සහ එස්. ශක්තිධරන් එකතුව. මං මේ දෙන්නා මීට කලින් නිර්මාණය කරපු Counting and Cracking කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඊට පස්සේ ඒමොන් අධ්‍යක්ෂණය කරපු ඇන්ටන් චෙකොෆ්ගේ The Cherry Orchard නාට්‍යයේත් මං රඟපෑවා. ඒමොන් සහ ශක්ති එක්ක නිර්මාණ කීපයක් කරලා තියෙන නිසා වෙන්න ඇති Jungle and the Sea නාට්‍යයටත් මාව සම්බන්ධ කරගත්තේ ."

The Jungle and the Sea (ගණ වන මුහුද, காடும் கடலும்) නාට්‍යයේ ජවනිකාවක් අතරතුර

ඡායාරූප මූලාශ්‍රය, The Jungle and the Sea | belvoir.com

ඡායාරූප ශීර්ෂ වැකිය, The Jungle and the Sea (ගණ වන මුහුද, காடும் கடலும்) නාට්‍යයේ ජවනිකාවක් අතරතුර

මෙම නාට්‍යයට නදී කම්මැල්ලවීර සමග තවත් ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ වූ අතර ඔහු නමින් බිමන් විමලරත්නය. නාට්‍යයේ අහිලන් ඇතුළු තවත් චරිත කිහිපයකට ඔහු රංගනයෙන් දායක වේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිතවලට දරුණු ලෙස බලපෑ තත්ත්වයන් පිළීබද අත්දැකීම් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් සිය නිර්මාණ සදහා යොදා ගැනීම විරල බව නදී කම්මැල්ලවීරගේ අදහස විය.

"මට හිතෙනවා 1983 කළු ජූලිය, 88-89 භීෂණ සමය, තිස් අවුරුදු සිවිල් යුද්ධය, යුද්ධයේ අවසාන අදියර වැනි රටේ ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ, රටේ සමස්ත සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරපු අත්දැකීම් අපේ රටේ නිර්මාණකරුවන් අතින් නිර්මාණවලට පාවිච්චි වෙන්නේ ඉතා අඩුවෙන් කියලා. විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ නාට්‍ය නිර්මාණවලට මේ අත්දැකීම් යොදාගෙන තියෙන්නේ හුඟක් අඩුවෙන්. තරුණ නිර්මාණකරුවන් යම්කිසි දුරකට මේවා ගැන කතා කළත් ප්‍රවීණ නිර්මාණකරුවන් අතින් ඒවා පදනම් කරගත් නිර්මාණ බිහි වෙලා තියෙන්නේ අතලොස්සක්. ඇත්ත, මේවා දුෂ්කර තේමාවන්. විවාදයකට බඳුන් විය හැකි, නිර්මාණකරුවන්ට විශාල අභියෝගයන් එල්ල කරන තේමාවන්. නමුත් අපිට ඒවා මග හැර යන්න පුළුවන් ද? නිර්මාණකරුවන්ට ‍වගකීමක් තියෙනවා තමන්ගේ රටේ මිනිස් ජීවිතවලට දරුණු ලෙස බලපාපු තත්ත්වයන් නිර්මාණාත්මක විග්‍රහයන්ට ලක් කරන්න. සමාජයක් හැටියට අපට අනෙකාගේ දුක් වේදනාවන් පිළිබඳ සානුකම්පිත බවක් ඇති කරන්න පුළුවන් එතකොටයි. සිංහල ප්‍රජාව දෙමළ ප්‍රජාවගේ අත්දැකීම් ගැනත්, දෙමළ ප්‍රජාව සිංහල ප්‍රජාවගේ අත්දැකීම් ගැනත් සවිඥානික වීමෙන් පමණයි අපට රටක් හැටියට සුවපත් වෙන්න පුළුවන්. මෙතනදි කලාකරුවන්ට ලොකු කාර්යභාරයක් පැවරෙනවා. මේ අදහස අවධාරණය කරන්න මං කැමතියි." 

The Jungle and the Sea (ගණ වන මුහුද, காடும் கடலும்) නාට්‍යයේ ජවනිකාවක් අතරතුර

ඡායාරූප මූලාශ්‍රය, The Jungle and the Sea | belvoir.com

ඡායාරූප ශීර්ෂ වැකිය, The Jungle and the Sea (ගණ වන මුහුද, காடும் கடலும்) නාට්‍යයේ ජවනිකාවක් අතරතුර

"රටත් කලාවත් රැක ගන්න නම් සංවේදී නැණවත් මිනිසුන් බලයට පත් විය යුතුයි"

"රටක් මුළුමනින් ම ආර්ථික දේශපාලන වශයෙන් පරිහානියට පත්වෙද්දී ඒ රටේ නාට්‍ය කලාව රැක ගන්න කියලා කිසි දෙයක් කරන්න බැහැ. අපේ රට අද වැටිලා තියෙන අගාධයෙන් මුදවා ගැනීම තමයි පළමුව සිදු කළ යුත්තේ. නාට්‍ය කලාව ඔසවා තබන්නට නම් අපට රටක් හැටියට ජාතික මට්ටමේ සංස්කෘතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එසේ තිබිම අත්‍යවශ්‍ය බව දේශපාලකයන් විතරක් නෙමෙයි පොදු ජනතාවත් පිළිගත යුතුයි. දියුණු සංස්කෘතියක ජීවිතයක් පුරවැසියන්ට ලබා දීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩගැගිය යුතුයි. ඒ කියන්නේ රට පුරා නාට්‍ය ශාලා, සිනමා ශාලා, පුස්තකාල, උද්‍යාන, එළිමහන් රංග පීඨ, ඕනෑ ම වෙලාවක නාට්‍යයක් බලලා ගෙදර යන්න පුළුවන් විදියට පහසු පොදු ප්‍රවාහන සේවාවන් ස්ථාපනය කළ යුතුයි. නාට්‍යයක් චිත්‍රපටියක් බලන්න ටිකට් එකක් ගන්න, සංගිත ප්‍රසංගයක් රස විඳින්න, පොත් ගන්න ආර්ථික හැකියාවක් සියලු පුරවැසියන්ට තිබිය යුතුයි. රාජ්‍ය මැදිහත් වී උසස් කලා නිර්මාණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කළ යුතුයි. කලා සංස්කෘතික වැඩවල ආයෝජන කරන්නට ව්‍යපාරිකයන්ව දිරි ගැන්විය යුතුයි. නිදහසේ කලා නිර්මාණ කිරීමේ ප්‍රකාශන නිදහස රටේ ස්ථාපනය විය යුතුයි. මේ සියල්ල කරන්න නම් හැම දේට ම පළමුව රට ගැන කැක්කුමක් තියෙන රටේ ජනතාව ගැන සංවේදිබවක් තියෙන නැණවත් මානුෂික හදවත් ඇති මිනිසුන් බලයට පත් විය යුතුයි. රටේ පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවිය යුතුයි කියන සැබෑ අවංක අරමුණ සහිත නායකත්වයක් තවත් කල් නොයා බලයට නොපැමිණියොත්, අපේ රටේ නාට්‍ය කලාව නෙමෙයි, මනුෂ්‍ය ජීවිත ටිකවත් ඉතුරු වෙයි ද කියන්න බෑ."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ඔස්ට්‍රේලියාවෙන් ඉහළ ප්‍රතිචාර

The Jungle and the Sea නාට්‍යය සිඩ්නි නුවරදී සති 5ක කාලයක් තුළ දර්ශන වාර 41ක් රඟ දැක්වූ බව නදී කම්මැල්ලවීර පැවසීය.

"ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. අපි එක දිගට සති 5 ක් පුරා නාට්‍ය දර්ශන වාර 41 ක් පෙන්නුවා. හැම දවසක ම නාට්‍ය ශාලාව පිරෙන්න සෙනග හිටියා. මං මේ කියන්නේ අතිශයෝක්තියක් නෙමෙයි. හැම දවසක ම පාහේ නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂාගාරය අසුන්වලින් නැගිටලා (Standing Ovation) තමන්ගේ ප්‍රසාදය පළ කළා. නාට්‍ය ගැන විචාරාත්මක සටහන් බොහොමයක් මාධ්‍යවල පළ වුණා. මේ නාට්‍යය, ඔස්ට්‍රේලියානු නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ අවධානයට ලක් වුණු, ප්‍රශංසාවට බඳුන් වෙච්ච නිර්මාණයක්," ඇය වැඩිදුරටත් පැවසීය.

මෙම නාට්‍යය සම්බන්ධයෙන් 'ද ගාඩියන්' පුවත්පත පළ කර තිබූ විචාරයක දැක්වුණේ, 'ව්‍යාකූලත්වය, බලය සහ ප්‍රීතිය හා පැවැත්ම කෙරෙහි මිනිසුන් තුළ පවතින සහජ බුද්ධිය සහ තිරසර සංවේදනය විදහා දැක්වෙන ජයග්‍රහණයක් ලෙස මෙම නාට්‍යය සැලකිය හැකි,' බවය.

'සිඩ්නි නුවර මේ වන විට නැරඹීමට ඇති හොද ම නාට්‍යය මෙයයි," යනුවෙන් ටයිම්අවුට් සගරාව පවසයි.