වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ගිය බන්ධනාගාර නිලධාරීන්ට මොකද වෙන්නේ ?

අධිකරණ කටයුතු පැහැර හැරීම හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කිරීමට කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය හා නීතියානුකූලව පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අධිකරණ කටයුතු පැහැර හැරීම හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කිරීමට කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය හා නීතියානුකූලව පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට නෛතික බලයක් නොමැති බව ය.

කෙසේ වුවත් වැටුප් වැඩිවීමක් ඉල්ලා බන්ධනාගාර නිලධාරින් පිරිසක් පසුගිය මැයි 20 සහ 21 යන දිනවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ.

‘බන්ධනාගාර නිලධාරීන්ට ආසාධාරණයක් වෙලා’

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ බන්ධානාගාර නිලධාරීන්ට කලක සිට යම් අසාධාරණයක් සිදුව ඇති බව ය.

‘අපි පිළිගන්නවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කාලයක පටන් යම් ආසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා.’

‘මෙතැන වැටුප් සහ දීමනාවල යම් විෂමතාවයක් ගොඩනැගිලා තියෙනවා.’

‘ඒ අනුව අපි මේ ප්‍රශ්නය නොසලකා හැරලා හෝ යටපත් කිරීමක් කරලා නැහැ. අපිත් පිළිගන්නවා ඒ අයට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕන කියලා.’

‘දිගින් දිගටම සාකච්ජා කළා භාණ්ඩාගාරයත් එක්ක.’

‘අවසානයේ දී කැබ්නට් සංදේශයෙන් මා ඉල්ලා සිටියා මේ අයට රුපියල් 15,000ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඒ ඒ ශ්‍රේණිවලට ලබා දෙන දීමනාවන් තීරණය කරන තෙක්.” අධිකරණ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.’

බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම

40%ක වැටුප් වැඩිවීමක් හෝ රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව විසින් පසුගිය මැයි 20 වැනිදා පෙරවරු 6 සිට මැයි මස 22 වෙනිදා පෙරවරු 6.00 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

අධික ජීවන බරින් පෙළෙන සියලුම ශ්‍රේණිවල නිලධාරින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව එම එකමුතුව දන්වා සිටියේය.

ෆේස්බුක් සහ වට්ස්ඇප් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව වැලිකඩ, ගාල්ල ඇතුළු බන්ධනාගාර කිහිපයක නිලධාරීන් සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිදුකළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අධිකරණ කටයුතු සඳහා රැඳවියන් ගෙන යාමක් සිදුනොවීය.

අධිකරණයට කරුණු දක්වන්නැයි නියෝගයක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පසුගිය මැයි 20 වැනිදා නියෝග කළේය.

එහිදි ලෙඩ නිවාඩු වාර්තාකර ඇති නිලධාරින් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබීය.

මේ අතර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පැවසුවේ අධිකරණ කටයුතු පැහැර හරින ලද බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කරනු ලබන බව ය.

‘මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා නියෝගයක් නිකුත් කරනු ලැබුවා අධිකරණ කටයුතු පැහැර හැරිය නිලධාරීන්ට විරුද්ධව වින්‍යානුකූලව කටයුතු කරන්න කියලා.’

‘ඒ සම්බන්ධයෙන් අපි ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් පත් කරලා මුලික විමර්ශනයක් සිදුකරමින් පවතිනවා.’

‘ඒ මූලික විමර්ශනය අනුව අධිකරණයට කරුණු දැක්වීමක් කරනු ලබනවා." ඔහු කියා සිටියේ.’

'වැඩ වර්ජන වලට ඉඩක් නැහැ'

‘බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට අවසරයක් නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේය.

‘1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනතේ 20 වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර නිලධාරීන්ට එම ආඥා පනත මගින් ලබා දී ඇති වෘත්තීය අයිතිවාසිකම් හිමි නොවන බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ සංගම් වෘත්තීය සමිති ලෙස නොසලකන බවට සඳහන් කර තිබෙනවා.’

‘ඒ වගේම බන්ධනාගාර ආඥා පන‍තේ 10 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව සෑම බන්ධනාගාර නිලධාරියෙක්ම බන්ධනාගාර ආඥා පනතේ අරමුණු වෙනුවෙන් සෑම අවස්ථාවකදීම රාජකාරීයේ යෙදී සිටින නිලධාරීන් පිරිසක් ලෙස සලකනු ලබනවා.’

‘මේ නිසා බන්ධනාගාර නිලධාරීන්ට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වෙන්න කිසිම අවසරයක් හිමිවන්නේ නැහැ.’

‘බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය ක්‍රියාකාරකම් වල යෙදීම හෝ ඒවාට ආධාර අනුබල ලබා දීම දැඩි විනය විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තක් ලෙස සලකනවා.’ ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ෆේස්බුක් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බලමින් සිටින බව ය.

‘අපිට ඇතැම් තොරතුරු ලැබී තිබෙනවා රාජකාරි කිරීමට පැමිණි නිලධාරීන්ටත් සමහර නිලධාරින් බාධා කර තිබෙනවා කියලා.’

‘ඒ හැම අංශයක් ගැනම විමර්ශනයේ දී අවධානය යොමු කරලා තොරතුරු රැස් කරනවා.’ ඔහු පැවසුවේය.

මේ අතර වැටුප් වැඩිවීමක් හෝ තමන්ට ලබා දෙන බවට පොරොන්දුවූ රුපියල් 15,000ක දීමනාව ජුනි මස වැටුපට එක් නොකළහොත් නැවත ලෙඩ නිවාඩු වාර්තා කරන බව බන්ධනාගාර නිලධාරින් ගේ එකමුතුව සමාජ මාධ්‍යය ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ.

යම් හෙයකින් නැවතත් බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුවහොත් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේදැයි බීබීසී සිංහල විසින් කරනු ලැබූ විමසීමට මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස පිළිතුරු ලබා දෙන ලදී.

‘එහෙම දෙයක් සිද්ධ වුනොත් එහෙම අධිකරණ නියෝගයකුත් තියෙනවා අපිට. ඊට අමතරව අධිකරණය අපහසුතාවයට පත් කළොත් අධිකරණයට අපහාස කිරිමේ යටතේ කටයුතු කරනවා.’

‘ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් රාජකාරියට නොපැමිණ හෝ රැඳවියන් ආරක්ෂා කිරීමේ රාජකාරියට නොපැමිණ අපහසුතාවයට පත් කළහොත් ජාතික ආරක්ෂාවට වන තර්ජනයක් ලෙස සලකා නිත්‍යානුකුලව කටයුතු කරනවා.’ ඔහු කියා සිටියේය.

'අධිකරණයට අපහාස කළා කියලා කටයුතු කරන්න හැකියි'

මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙමින් අධිකරණ ක්‍රියාවලියට බාධා එල්ල කළ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ කටයුතු කළ හැකි බව බීබීසී සිංහල කළ විමසීමකදී ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා පැවසීය.

‘ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් අත්‍යවශ්‍ය සේවාවන් හැටියට ගණන් ගන්නේ.’

‘බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණයත් සමග කටයුතු කරන්නේ. එතකොට ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ගියොත් රටේ අධිකරණ පද්ධතිය බිඳ වැටීමක් සිදධ වෙනවා.’

‘දුම්රිය නියාමකවරුන් වගේ හිතුමතේ තමන්ට ඕන කරන වෙලාවක වැඩ වර්ජනය කරන්න ක්ෂණිකව තීරණය කරන්න බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැහැ.’

‘මේ නිසයි පසුගිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙලා ඒ ගැන විමර්ශනයක් කරන්න කියලා තියෙන්නේ.’

‘අධිකරණයට අපහාස කිරීමක් යටතේ ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න හැකියාවක් තියෙනවා.’

නිලධාරින් ගේ ඉල්ලීම් දිය යුතුයි

මේ අතර වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටින බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර දීමට වගකිවයුතු බලධාරීන් පියවර ගත යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

‘බන්ධනාගාරයේ සිටින රැඳවියන් බලා ගන්න කටයුතු කරන නිලධාරින්ට ඔවුන් ඉල්ලා සිටින ඉල්ලීම් හිමිවිය යුතුයි.’

‘ඔවුන් වසර ගණනාවක් පුරා විවිධ ගැටළු මැද්දේ සිටින්නේ.’

‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වශයෙන් අපි කියන්නේ ඒ නිලධාරින් සතුටින් සිටියොත් තමයි ඔවුන් හොඳින් රාජකාරි කරන්නේ. ඒක බන්ධනාගාරයේ සිටින රැඳවියන්ටත් බලපානවා.’ නීතිඥ සේනක පෙරේරා පැවසුවේය.