Martial Law: දකුණු කොරියාවට යුද්ධ නීතිය පැනවීම ජනපතිට පාරාවළල්ලක් වෙයි

    • Author, කෙලී ඈංග්, ජේක් වොන් සහ යූනා කූ - සිංගප්පූරුව සහ සෝල්
    • Role, බීබීසී පුවත්

යුද නීතිය පැනවීමේ අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපති යූන් සුක් යොල්ට එරෙහිව දකුණු කොරියාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් දෝෂාභියෝගයක් ගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබේ.

යූන් විසින් අනපේක්ෂිතව හමුදා නීතිය පැනවූ අතර පෙර නොවූ විරූ රැයකින් පසු බදාදා රට අවදි වූයේ, නීති සම්පාදකයින් 190ක් රැස් වී එම තීරණය වෙනස් කිරීමට ඡන්දයක් පැවැත්වීමෙන් පසු, හදිසියේ එම තීරණය ආපසු හැරවීමේ යථාර්ථයකිනි.

යූන් ව දෝෂාභියෝගයට ලක් කරනවා ද නැද්ද යන්න පිළිබඳව ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට ඇත්තේ දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කළ මොහොතේ සිට පැය 72කි.

දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය බදාදා දින පැවසුවේ ඔහුට "කැරළි අපරාධ" චෝදනා එල්ල කිරීමට අවශ්‍ය බවයි.

සෝල් හි පාසල්, බැංකු හා රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන නමුත්, විරෝධතා නගරය පුරා ම ක්‍රියාත්මක විය.

"යුන් සුක් යොල් අත්අඩංගුවට ගනු," යැයි විරෝධතාකරුවන්ගෙන් පිරීගිය පාරවල්වල සිටි ඇතැම් කෝපයට පත් පුරවැසියෝ සටන් පාඨ කීහ.

දකුණු කොරියාවේ දැවැන්තම කම්කරු කණ්ඩායම වන කොරියානු වෘත්තීය සමිති සම්මේලනය බදාදා තරයේ කියා සිටියේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තුරු අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවයි.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ "ප්‍රධාන හවුල්කරුවන්" ලෙස ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග් හ්‍යුන් හා අභ්යන්තර කටයුතු අමාත්‍ය ලී සන්ග් මින් ව ද ඩිමොක්‍රටික් පක්ෂය විසින් නම් කර ඇති අතර යූන් සමග ඔවුන්ට ද චෝදනා එල්ල කළ යුතු බව අවධාරණය කර ඇත.

"යුන් සුක් යොල්ගේ පාලනයේ ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධි හදිසි යුද නීතිය කැරළි අපරාධයක් විදිහට [පක්ෂය]හෙලා දකිනවා," පක්ෂයේ ප්‍රකාශක සොන්ග් රායි චෝ වාර්තාකරුවන්ට පැවසුවේ ය.

"මේ කැරැල්ල ගැන දැන් මුලු ජාතියම අවධානයෙන් ඉන්න නිසා වහාම පරීක්ෂණයක් පවත්වලා අපරාධකරුවන්ව නීතිය හමුවට අරගෙන එන්න කියලා මම සියලු විමර්ශන ආයතනවලින් ඉල්ලීමක් කරනවා."

බදාදා දිනයේ නිවේදනය නිකුත් කෙරුණේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ සභා ශාලාවට පැමිණීමට සමහර විපක්ෂ මන්ත්‍රීවරුන් බාධක බිඳ දමා වැටවලින් පනිමින් පැමිණි නාට්‍යාකාර සිදුවීම් පිරි රැයකින් පසුවයි.

යූන් යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව හමුදාවේ හෙලිකොප්ටර් යානා එම ස්ථානය වටකරමින් සිටි අතර, සිය ගණනක් සෙබළු පාර්ලිමේන්තුවට කඩා වැදුන හ.

නීති සම්පාදකයින් 190 දෙනෙක් පොලිස් බාධක මඟහරිමින් යුද නීතිය පැනවීමේ නියෝගය වළක්වාලීම සඳහා ඡන්ද භාවිත කිරීම සඳහා තමන්ට ඇතුළට යාමට ඉඩ දෙන ලෙස බලකරමින් සිටි නිසා විරෝධතාකරුවෝ දහස් ගණනක් ජාතික සභාවේ ගේට්ටුව අසලට පැමිණිය හ.

ඔහුගේ පෙර නියෝගය ආපසු හරවන බවට ජනාධිපතිවරයා සිදු කළ දෙවන නිවේදනය, දකුණු කොරියානු පාර්ලිමේන්තුවෙන් පිටත සිටි විරෝධතාකරුවන්ගේ ප්‍රීතිඝෝෂාවලට හේතුවිය.

මාණ්ඩලික ප්‍රධානී චුන්ග් ජින් සුක් සහ ජාතික ආරක්ෂක උපදේශක ෂින් වොන් සික් ඇතුළු යූන්ගේ ජ්‍යේෂ්ඨ සහායකයෝ බදාදා ඔවුන්ගේ ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළ හ. ඔවුන්ගේ ඉල්ලා අස්වීම් පිළිගන්නේ ද නැද්ද යන්න පැහැදිලි නැත.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ මූලික තීන්දු "දැඩි ලෙස [රටේ] ව්‍යවස්ථාමය රාමුව තුළ," සිදුකළ බවට ජනාධිපති කාර්යාලය විසින් පවසා තිබේ. ඔවුන් බදාදා ප්‍රකාශ කළේ ආර්ථිකයට හා ජන ජීවිතයට "හානිය අවම කිරීම" සඳහා නිවේදනය කාලානුරූපීව සිදු කළ බවයි.

දකුණු කොරියාවේ දෝෂාභියෝග ක්‍රියාවලිය කුමක් ද?

දෝෂාභියෝග පනත් කෙටුම්පතක් යෝජනා වූ විට දී දකුණු කොරියාවේ ජාතික සභාවේ මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක්, එනම් මන්ත්‍රීවරුන් 201කට වැඩි පිරිසක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු ය. පැය 72ක් ඇතුළත ඡන්දය පැවැත්විය යුතු ය.

දෝෂාභියෝගය අනුමත වූ විගස ජනාධිපතිවරයා ධුරයේ කටයතු කිරීම වහාම අත්හිටුවන අතර අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ධුරයට පත්වනු ඇත.

ඉන්පසුව දකුණු කොරියාවේ රජයේ කොටස් අධීක්ෂණය කරන සාමාජිකයන් නව දෙනෙකුගෙන් යුතු කවුන්සිලයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙනු ඇත.

අධිකරණයේ සාමාජිකයින් හය දෙනෙකු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දෙන්නේ නම් ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරනු ඇත.

දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියානු ජනාධිපතිවරුන් කවු ද?

අල්ලස් ගැනීම, රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම සහ රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනා එල්ල වීමෙන් පසුව 2016 දී එවකට ජනාධිපතිනිය වූ පාක් ගුන් හෙයි දෝෂාභියෝගයට ලක් වූවා ය.

තවත් දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු වූ රෝ මූ හ්‍යුන් දෝෂාභියෝගයකට ලක් වී මාස දෙකකට තනතුරේ වැඩ අත්හිටුවා තිබුණි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පසුව ඔහුව තනතුරට යළි පත් කළේ ය.

යූන් ඉල්ලා අස් වුවහොත් හෝ දෝෂාභියෝගයට ලක්වුවහොත්, අලුත් අවුරුදු පහක නව පාලන වාරය ආරම්භ කරන්නා තෝරාගැනීමට රට භාර දෙන නව නායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට නම් ආණ්ඩුව දින 60ක් ඇතුළත මැතිවරණයක් පැවැත්විය යුතුයි.

දකුණු කොරියාවේ යුද නීතියේ ඉතිහාසය

යුද්ධයක්, සන්නද්ධ ගැටුමක් හෝ වෙනත් ජාතික හදිසි තත්ත්වයක් අතරතුර දී යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට දකුණු කොරියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය හිමි වේ.

අවසන් වතාවට යුද නීතිය ප්‍රකාශයට පත් කෙරුණේ, 1979 දී දිගු කලක් රටේ හමුදා ඒකාධිපතියෙකු වූ පාක් චුන්ග් හී කුමන්ත්‍රණයකින් ඝාතනය වූ විට ය.

දේශපාලන කටයුතු තහනම් කිරීම සහ විරුද්ධ මත දරන්නන් අත්අඩංගුවට ගැනීමට, ජෙනරාල් චුන් දූ හ්වාන්ගේ නායකත්වයෙන් යුත් හමුදා නායකයින් පිරිසක් 1980 දී යුද නීතිය ප්‍රකාශයට පත් කළහ.

1981 දී යුද නීතිය ඉවත් කිරීමට ප්‍රථම, විරෝධතාකරුවන් මර්දනය කිරීම මධ්‍යයේ මිනිසුන් සිය ගණනක් මිය ගිය හ.

දකුණු කොරියාව 1987 දී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් බවට පත් වූ දා සිට යුද නීතිය ක්‍රියාත්මක කර නැත.

“රාජ්‍ය විරෝධී බලවේගවලින්” රට බේරා ගැනීමට උත්සාහ කරන බව පවසමින් යූන් අඟහරුවාදා අවසන් තීරණය ගත්තේ ය.

එහෙත් ඇතැම් විශ්ලේෂකයින් මෙම පියවර විස්තර කර ඇත්තේ දේශපාලන විරුද්ධත්වය වැළැක්වීමට ඔහු ගත් උත්සාහයක් ලෙසයි.

මෙම වසරේ අප්‍රේල් මාසයේ පැවති මහමැතිවරණයෙන් විපක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ දා පටන් යූන් දුර්වල ජනාධිපතිවරයෙකු වී, ඔහුගේ රජයට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට නොහැකි වී ඇති අතර විපක්ෂය යෝජනා කර ඇති පනත් නිෂේධනය කිරීම වෙනුවට අවම කර ඇත.

ජනාධිපතිවරයාව අනුමත කරන ශ්‍රේණිගත කිරීම මේ වසරේ 17%ක වාර්තාගත අවම අගයකට පැමිණ ඇති අතර ජනපති සහ ඔහුගේ බිරිඳ වන කිම් කියොන් හී දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටියි.

අතිරේක වාර්තාකරණය සෝල් හි වුන්ග්බී ලී සහ ලන්ඩන් සිට ෆ්‍රැන්සිස් මාඕ විසින් ය.