ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු කොරියාවෙන් ලැබුණු E8 වීසා කෝටාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?
දකුණු කොරියාවේ රැකියා වීසා ලැබී ඇති ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකුට වැඩි පිරිසකට එම රැකියා සඳහා පිටත්ව යාමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ.
E8 කාණ්ඩය හෙවත් සෘතුමය රැකියා සඳහා දකුණු කොරියාවෙන් ලැබී ඇති රැකියා කෝටාව යටතේ වීසා ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 107 දෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුමැතිය ලැබෙන තුරු බලා සිටිති.
එහෙත් එම කාර්යංශය පවසන්නේ, දකුණ කොරියාව සමග ඇති කරගෙන ඇති ගිවිසුම නීතියට අනුකූලව සිදුකර නොමැති බැවින් රැකියා සඳහා පිටත් වීමට අවසර ලබා දිය නොහැකි බව ය.
මාස කිහිපයකට පෙර ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා සඳහා වීසා ලැබී තිබූ අතර ඔවුන් පවසන්නේ, නොවැම්බර් 26 වන දා වන විට දකුණු කොරියාවට යාමට නොහැකි වුවහොත් වීසා අවලංගු වී එම රැකියා අහිමි වන බව ය.
‘වීසා කැන්සල් වුණොත් නැවත ඒ කෝටාව ලංකාවට ලැබෙන්නේ නැහැ’
“වීසා ලැබිලා දැනට මාස තුනක් වෙනවා වීසා කැන්සල් වෙනවා නොවැම්බර් මාසේ 26 වෙනිදාට. මීට කලිනුත් 40 දෙනෙකුගේ වීසා කැන්සල් වෙලා ඒ අයට ආයෙත් වීසා දුන්නා. ඒවත් තව දවස් දෙක තුනකින් කැන්සල් වෙනවා,” යැයි දකුණු කොරියාවේ රැකියාව සඳහා පිටත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බෙන්තොට පදිංචි රුවන් කුමාර රංචාගොඩ බීබීසි සිංහල වෙත පැවසීය.
මෙම වීසා කාණ්ඩය යටතේ මාස 8ක කාලයක් කොරියාවේ රැකියාව කළ යුතු අතර ඉතිරි මාස කිහිපයේදී ලංකාවට පැමිණිය යුතු ය. මෙම පිරිසට රැකියා ලැබී ඇත්තේ, මාස 8ක් ලෙස වසර තුනක කාලයක් දක්වා බව ද රුවන් පැවසීය.
“අපිට යන්න බැරි වෙලා වීසා කැන්සල් වුණොත් නැවත මේ කෝටා එක ලංකාවට ලැබෙන්නේ නැහැ,” යනුවෙන් ද ඔහු සඳහන් කළේ ය.
ජනාධිපති ලේකම් කාර්යලයට මෙන් ම විදේශ රැකියා අමාත්‍යංශයට ද මේ පිළිබඳව දැනුම් දී ඇතත් මෙතෙක් ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් ලැබී නැත.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රතිචාරය
නීත්‍යනුකූල ලෙස දකුණු කොරියාව වීසා ලබා දී තිබියදීත් මෙම පිරිසට රැකියා සඳහා පිටත් යාමට අවසර ලබා දීමට ඇති බාධා මොනවා ද? යන්න පිළිබඳව බීබීසි සිංහල සේවය විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීය.
එම කාර්යංශය පැවසුවේ, අදාළ ගිවිසුම අත්සන් කිරීමේදී නිවැරදි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බව ය.
දකුණු කොරියානු රජය සමග මෙම රැකියා සඳහා ගිවිසගෙන ඇත්තේ, මනූෂ නානායක්කාර ඇමති ධූරය දරන සමයේදී ය.
“මේ ගිවිසුමට නීත්‍යනුකූලභාවයක් නැහැ. කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන නැහැ, නීතිපතිතුමාගෙන් අනුමැතිය අරගෙන නැහැ, විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අනුමැතියක් අරගෙන නැහැ, විදේශ සේවා එක දන්නේ නෑ, එතකොට ඒක තනි පුද්ගලයෙකුගේ තනි අවශ්‍යතාව මත වෙච්ච දෙයක්,” යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා බීබීසි සිංහල සේවයට පැවසීය.
2019 වසරේ සිට මෙම කෙටිකාලීන රැකියා කෝටාව පිළිබඳව සලකා බලමින් සිටියදී එය ලබා දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.
නීත්‍යනුකූලව මෙවැනි කෙටිකාලීන විදේශ රැකියා ලබා දීමේ හැකියාවක් පවතිනවා ද යන්න නව රජය අවධානය යොමු කරමින් සිටින බව අතිරේක සාමාන්‍යාධිකාරිවරයා තවදුරටත් කියා සිටියේ ය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා නගන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා බීබීසී සිංහල සේවය අවස්ථා කිහිපයකදී හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.