ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙසැම්බර් මාසයේදී ලොව පුරා පවත්වන ඉපැරණි උත්සව මොනවා ද?
- Author, ජෙරමි හොවෙල්
- Role, බීබීසී ලෝක සේවය
උතුරු අර්ධ ගෝලයේ සීත සෘතුවේදී එළඹෙන නත්තල, ලෝකයේ වඩාත් ම ප්‍රසිද්ධ දෙසැම්බර් උත්සවය බවට පත්ව ඇත.
කෙසේ වෙතත්, සූර්යාලෝකය - ලෝකයේ උතුරු අර්ධයේ වසරේ කෙටි ම දිනය සනිටුහන් කරන විට චීනය, ඉරානය සහ දකුණු ඇමෙරිකාවේ මිලියන සංඛ්‍යාත ජනතාව විසින් වසර සිය ගණනක් හෝ දහස් ගණනක් පැරණි උත්සව ද සමරනු ලැබේ.
දෙසැම්බර් මාසයේ මධ්‍යම ග්‍රීෂ්ම සෘතුවේ සිදු වන දකුණු අප්‍රිකාවේ සිදුකෙරෙන පළමු අස්වැන්නට ගෞරව කිරීමේ උත්සවය ද සැමරුම් අතර කැපී පෙනෙන වැදගත් සිදුවීමකි.
මෙම දෙසැම්බර් මාසයේ පවත්වනු ලබන මධ්‍යශීත ඍතු උත්සව මොනවා ද?
ඩොන්ෂි යනු චීන උත්සවයක් වන අතර එය දළ වශයෙන් "ශීත ඍතුව අන්තය" හෝ "ශීත ඍතුව පැමිණීම" ලෙස පරිවර්තනය වේ. එය හැන් රාජවංශය දක්වා වසර 2,500ක් ඈතට දිවයයි. සැමරුම් ශීත සෘතුවේදී ආරම්භ වන අතර දින 15ක් පවතී.
මෙම උත්සවය සාම්ප්‍රදායික චීන සංකල්පය වන යින් සහ යැං මත පදනම් වූ බව කියනු ලැබේ. එය සමගිය සහ සමබරතාවයේ සංකේතය යි.
දිනය කෙටි වූ විට, යැං ශක්තියේ හීනතාවක් ඇතැයි සිතනු ලැබේ, එබැවින් ඩොන්ජිහි මිනිසුන් ශීත ඍතුවේ යින්වලට (සීතලට) එරෙහිව යැං (උණුසුම්) ආහාර අනුභව කරති.
මේවාට ටැන්ග්යුවාන්, (ග්ලූටිනස් රයිස් බෝල) ඇතුළත් වේ, ඒවා නැවත එක්වීමේ සහ සෞභාග්‍යයේ සංකේත වේ. මස් ඩම්ප්ලිං, එළුමස් ඉස්ටුවක් සහ බබාවෝ කැඳ (බෝංචි, ඇට වර්ග සහ වියළි පලතුරුවලින් සාදන ලද) ද එම ආහාර අතර ප්‍රධානත්වයක් ගනී.
යාල්ඩා (ෂාබ් -ඒ-යාල්ඩා හෝ සයාෂ්මර් ලෙසද හැඳින්වේ) යනු ශීත සෘතුව ආසන්නයේ සමරනු ලබන වසර 5,000 ක් පැරණි ඉරානයේ උත්සවයකි. එය ඉරාන දින දර්ශනයේ ශීත ඍතුවේ පළමු දිනය ද වේ.
නම "උපත" සඳහා පැරණි සිරියාක් වචනයෙන් උපුටා ගෙන ඇත. පුරාණ පර්සියාවේ සොරොස්ට්‍රියනිසම් ආගමට අනුව මිත්‍රා හෙවත් හිරු දෙවියන්ගේ නැවත උපත සනිටුහන් කළේ එතැන් සිට ගිම්හාන සූර්යාලෝකය දක්වා සූර්යයා වැඩි කාලයක් අහසේ පවතිනු ඇති බැවිනි.
මිත්‍රා පෘථිවියේ ආලෝකය, යහපත්කම සහ ශක්තිය සංකේතවත් කළේ ය. මෙම උත්සවය තවත් මැද පෙරදිග ආගමක් වන මිත්‍රාවාදීන් අනුගමනය කරමින් සොරොස්ට්‍රියානුවන් විසින් සමරන ලදී.
යාල්ඩා යනු පූර්ව-ඉස්ලාමීය පර්සියාවේ වැදගත් ම සැමරුමක් වූ අතර ඉරානයේ සහ ලොව පුරා සිටින සොරොස්ට්‍රියානුවන් විසින් අද දක්වා ම සමරනු ලැබේ.
අතීතයේ යාල්ඩා උත්සවවලට තෑගි දීම, හරිත වර්ණවලින් නිවාස අලංකාර කිරීම සහ සේවකයන්ට තම ස්වාමියාව දිනකට පාලනය කිරීමට ඉඩ දීම ඇතුළත් විය.
රෝමවරුන් ඔවුන්ගේ ශීත සෘතු සූර්යාලෝක උත්සවය වන සැටෘනාලියා සඳහා මෙම පිළිවෙත් සාදාගත් බව සැලකේ. ඉන් පසුව, ඒවා නත්තල් සම්ප්‍රදායන් ලෙස සම්මත විය.
පේරු සහ ඉක්වදෝරයේ ඇතැම්හු තවමත් කැපැක් රේමි පුරාණ උත්සවය සමරති.
එය දහසය වන සියවස දක්වා දකුණු ඇමරිකාවේ බටහිර මුහුදු තීරයේ විශාල කොටසක් පාලනය කළ ඉන්කාවරුන් විසින් නිර්මාණය කරන ලද අතර එය හිරු දෙවියන් වන ඉන්ටිට ගෞරව කිරීම සඳහා පවත්වන ලදී. එය සිදු වූයේ ඉන්කා නව වසරේ පළමු දිනයේ ශීත සෘතුවේදී ය.
මිනිස්සු සත්ව බිලි පූජා කරමින්, චිචා ඩි ජෝරා (ඉරිඟු බියර්), කෝකා කොළ හපමින් නර්තනයේ යෙදෙති. පූජාවල අළු එකතු කර ගංගාවලට විසි කරන ලද්දේ සියල්ලේ නිර්මාතෘ වන විරකෝචා දෙවියන්ට පූජාවක් ලෙස යි.
එය ඉන්කා අධිරාජ්‍යයේ රණශූරයන් ලෙස පිරිමි තරුණයන් නැගී සිටි කාලය ද විය.
කැපැක් රේමි තවමත් පේරු සහ ඉක්වදෝර ඇන්ඩීස්හි සමහර ගම්වල පෙළපාළි යමින් සමරනු ලැබේ. උත්සවයේ කොටසක් ලෙස, වයස අවුරුදු හයේ හෝ හතේ පිරිමි ළමයින්ට ඔවුන්ගේ පළමු දිග කලිසම සහ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ හිසේ පැළඳීම සඳහා පළමු රිබන් ලබා දෙනු ලැබේ.
දෙසැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍ය ගිම්හාන උත්සව මොනවා ද?
දකුණු අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල, අස්වැන්න නෙළීමේ කාලයේ ආරම්භය සනිටුහන් කරන පළමු ඵල උත්සවය ලෙස හැඳින්වෙන උත්සවය තවමත් සමරනු ලබයි.
මෙය භකා (එය ඉන්ග්කියුබේ ලෙස හඳුන්වන), ඉන්ඩේබේලේ (ඉන්ක්ස්වාලා යනුවෙන් හඳුන්වන), ස්වාසි (එය ඉන්ක්වාලා ලෙස හඳුන්වන) සහ සූලූ (උම්කොසි වොක්වෙෂ්වාමා ලෙස හඳුන්වන) වැනි ජන කණ්ඩායම් අතර පැරණි සම්ප්‍රදායකි.
එම වසරේ නෙළන මුල් ම අස්වැන්න පවුලේ අනෙක් අයට අනුභව කිරීමට තිබූ තහනම ඉවත් කරමින් ගෘහ මූලිකයා එහි රස බලන අවස්ථාව මෙය යි.
ජාතියක් හෝ ජාතියක පාලකයා පළමු ඵලයේ රස බලන කාලය ද එය යි. සත්ව බිලි පූජා කරනු ලබන අතර පාලකයා කැලබාෂ් (වල් කරවිල) කඩා දමන්නේ යටත්වැසියන්ට අස්වැන්නේ ඵල භුක්ති විඳිය හැකි බව දැනුම්දීමට යි.
1879 බ්‍රිතාන්‍ය-සූලූ යුද්ධය අවසානයේ බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ භූමි ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයන් විසින් සූලූ ජනතාව අතර උත්සවය තහනම් කරන ලදී. කෙසේ වෙතත්, 1990 දී එය සූලූ රජු වන ගුඩ්විල් ස්වෙලිතිනි එය පුනර්ජීවනය කිරීමෙන් පසු එතැන් සිට එය සෑම වසරක ම දකුණු අප්‍රිකාවේ නොන්ගෝමාහි එන්යොකේනි රාජකීය මාලිගයේදී පවත්වනු ලැබේ.
බිග් ඉන්ක්වාලා නමින් හැඳින්වෙන පළමු ඵලයේ උත්සව සැමරුම එස්වාටිනි (කලින් ස්වාසිලන්තය ලෙස හැඳින්වූ) හි ප්‍රධාන සංස්කෘතික උත්සවයකි.
එය දින හයක උත්සවයක් වන අතර එම කාලය එස්වාටිනිහි රාජාණ්ඩුව සැමරීමේ කාලයකි. රජුට උපහාරයක් ලෙස, උත්සවයෙන් පසු දින රණ ශූරයෝ ඔහුගේ කෙත්වල ඵල නෙළති.
පළමු ඵලයේ උත්සව යනු කෙනෙකුගේ ආත්මය පිරිසිදු කිරීම සහ අලුත් කිරීම සඳහා වන කාලය වන අතර, ඒවා ක්වාන්සාහි පදනම සාදයි. අප්‍රිකානු-ඇමෙරිකානුවන් සඳහා නවීන උත්සවයක් වන අතර එය දෙසැම්බර් 26 සිට ජනවාරි 1 දක්වා පැවැත්වේ.
ස්වාහීලී භාෂාවෙන් "අස්වැන්නේ පළමු ඵල" ලෙස පරිවර්තනය කරන ලද මටුන්ඩා යා ක්වාන්සා යන වචනයෙන් මෙම නම සකස් වී ඇත.
ඇමෙරිකාවේ අප්‍රිකානු-ඇමෙරිකානු ජනගහනය අතර සාම්ප්‍රදායික අප්‍රිකානු පවුල් සහ සමාජ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ අප්‍රිකානු අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙකු වන මවුලානා රොන් කරෙන්ගා විසින් 1966 දී ''ක්වාන්සා'' හඳුන්වාදෙන ලදී.