ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2024 අධික අවුරුද්දක් ද? එහි අර්ථය කුමක් ද? එහි විශේෂත්වය කුමක් ද?
මේ වසර, සාමාන්‍ය දින 365 වෙනුවට දින 366කින් සමන්විත අධික අවුරුද්දක් බවට පත් කරමින් අපේ දින දසුන්වලට අතිරේක දිනයක් එක්වී තිබේ.
වසරේ කෙටි ම මාසයට අමතර දිනයක් ලැබෙන පෙබරවාරි 29 වන දින අධික දිනය ලෙස හැඳින්වේ. එය සංස්කෘතික සම්ප්‍රදායන් සහ මිථ්‍යා විශ්වාසයන්ගෙන් සලකුණු වෙයි.
සාමාන්‍යයෙන් අධික අවුරුද්දක් යෙදෙන්නේ, සෑම වසර හතරකට වරකි. අවසන් වරට අධික අවුරුද්දක් 2020 වසරේ යෙදුණු අතර, මීළඟ අධික අවුරුද්ද 2028 වසරට යෙදී තිබේ.
කෙසේ වෙතත්, මෙම රීතියට විරුද්ධ අදහස් ද තිබේ. ලොව පුරා පවතින විවිධ සම්ප්‍රදායන්ට අදාළව එය අපි පසුව පැහැදිලි කරන්නෙමු.
අපට අධික අවුරුදු ලැබෙන්නේ ඇයි?
සාම්ප්‍රදායික දින දර්ශනයක දැක්වෙන වර්ෂයක් දින 365කින් සමන්විත වේ. ඒ, පෘථිවියට සූර්යයා වටා එක් කක්ෂයක් භ්‍රමණය වීමට ගත වන දින ගණන එය වන බැවිනි. එහෙත්, 365 යනු ඇත්ත වශයෙන් ම වැටයූ අංකයකි.
ඇත්ත වශයෙන් ම, පෘථිවියට සූර්යයා වටා වරක් භ්‍රමණය වීමට දින 365.242190ක් ගත වෙයි. එනම්, දින 365ක්, පැය 5ක්, මිනිත්තු 48ක් සහ තත්පර 56කි. එය නක්ෂත්‍ර වසරක් ලෙස හැඳින්වේ.
නක්ෂත්‍ර වසර සුළු වශයෙන් දින දර්ශනයේ වසරට වඩා දීර්ඝ වන හෙයින්, අතිරේක පැය, මිනිත්තු සහ තත්පර අඩු කර ගත යුතු ය.
ඉඳහිට ඊට අමතර දිනයක් එකතු කිරීමෙන් අපගේ දින දර්ශන වසර සැකසෙන අතර එය ඍතුවලට සමපාත වේ.
අධික අවුරුද්දේ සම්ප්‍රදායන් මොනවා ද?
අධික අවුරුද්ද සමග බැඳුණු විවිධ සම්ප්‍රදායන් සහ මිථ්‍යා විශ්වාස පවතියි.
අවිවාහකයින්ගේ දිනය, ඇතැම්විට 'කාන්තා වරප්‍රසාදයක්' ලෙස හඳුන්වනු ලබන අයර්ලන්ත සම්ප්‍රදායක් වන අතර, අධික දිනයක දී (leap day) පිරිමින්ට විවාහ යෝජනා කිරීමට කාන්තාවන්ට අවසර ලැබේ.
සැබවින් ම, නූතනයේ ඔවුන් කැමති ඕනෑ ම දිනක පිරිමින් සඳහා විවාහ යෝජනා ඉදිරිපත් කිරීමට කාන්තාවන්ට පුළුවන. එහෙත්, මෙම සම්ප්‍රදාය 5 වන සියවස තෙක් ඈතට දිවෙන බව සැලකේ. එය සාන්ත බ්‍රිජට් සහ සාන්ත පැට්‍රික්ගේ පුරාවෘත්තය පදනම්කර ගත් බව සැලකේ.
පිරිමින් විවාහ යෝජනා කිරීමට ප්‍රමාද වන නිසා කාන්තාවන්ට විවාහවීමට දිගු කාලයක් බලා සිටීමට සිදුවන බවට පැමිණිලි කිරීම සඳහා බ්‍රිජට්, පැට්‍රික් වෙත ගිය බව කියනු ලැබේ. කාන්තාවන්ට එම අවස්ථාව දිය යුතු බවට ඇය ඉල්ලීමක් කළා ය.
කාන්තාවගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ද සම්ප්‍රදායන් පැවතිණි. ඒ අනුව, විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින අදාළ කාන්තාවට වන්දි ගෙවීමට පිරිමියාට සිදුවේ. ඒ, ඇයට අත්වැසුම් හෝ සිල්ක් ගවුම් තිලිණ කිරීමෙනි.
තවත් සංස්කෘතීන්හි, අතිරේක දිනය අසුබ දිනයක් ලෙස සැලකේ.
ග්‍රීසියේ, අධික අවුරුද්දක සහ විශේෂයෙන් අතිරේක දිනයේ දී විවාහ වීමට උපදෙස් දෙනු නොලැබේ. එම සම්ප්‍රදාය අනුව පිළිගැනෙන්නේ, අධික අවුරුද්දක සිදුවන සියලු විවාහ දික්කසාදයෙන් කෙළවර වන බවට ය.
අතිරේක දිනයේදී අයථා ක්‍රියා කිරීම සඳහා මායාකාරියන් එක්රැස් වන බවට විශ්වාස කිරීමට ස්කොට්ලන්තයේ වැසියෝ පුරුදුව සිටියහ. පෙබරවාරි 29 වන දා දරු උපතක් සිදුවීම අසුබ බව ඇතැම් ස්කොට්ලන්ත වැසියෝ තවමත් සලකති.
ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, ඇතැම් සංස්කෘතීන් එය වාසනාවන්ත දිනයක් ලෙස දකියි. ඇතැම් ජ්‍යොතිෂ්‍යඥයින් පවා විශ්වාස කරන්නේ, අතිරේක දිනයේ උපන් දිනය යෙදුණහොත් එය සුවිශේෂී ත්‍යාගවන්ත උපතක් බව ය.
අතිරේක දිනය පෙබරවාරි මාසයට වැටෙන්නේ ඇයි?
අතිරේක දිනය එක් කිරීමේ මාසය ලෙස පෙබරවාරි තෝරා ගැනීම පුරාණ රෝමයේ ජූලියස් සීසර්ගේ දින දර්ශන ප්‍රතිසංස්කරණයන් දක්වා දිවයයි.
සීසර් විසින් සූර්ය වර්ෂය සමග දින දර්ශන වර්ෂය පෙළගැස්වීම සඳහා අධික වසරක් ඇතුළත් කරමින් ජූලියන් දින දර්ශනය හඳුන්වා දෙන ලදී.
1582 වසරේදී ජූලියන් දින දර්ශනය, ග්‍රෙගරියානු දින දර්ශනය බවට පරිණාමය වූ පසුවත්, පෙබරවාරි මාසයට අතිරේක දිනයක් එකතු කිරීමේ සම්ප්‍රදාය අඛණ්ඩව පැවතිණි.
අධික අවුරුද්දක් නොමැති වූවා නම් කුමක් වෙයි ද?
අධික අවුරුද්දක් නොතිබුණේ නම් සහ දින දර්ශනවල අමතර කාලය ගණනය නොකරන්නේ නම්, සෘතු කාලයන් වෙනස් වීමට පටන් ගනියි.
උදාහරණයක් වශයෙන්, වසර 700ක පමණ කාලයක් ගතවූ පසු, උතුරු අර්ධ ගෝලයේ ගිම්හානය ජූනි මාසයේ දී නොව දෙසැම්බර් මාසයේ දී ආරම්භ වනු ඇත.
අධික අවුරුද්දක් සෑම වසර හතරකට වරක් සිදුවන බව බොහෝ දෙනෙකු විශ්වාස කළ ද, එය සැමවිට ම එසේ නොවේ.
එසේ වන්නේ, වසර හතරක කාල සීමාවක් තුළ නක්ෂත්‍ර වර්ෂය (නිශ්චිත දින, පැය, මිනිත්තු සහ තත්පර ගණන) සහ දින දර්ශන වර්ෂය අතර වෙනස නිශ්චිතව ම පැය 24ක් නොවන බැවිනි. සැබවින් ම එහි කාලය පැය 23.262222කි.
එබැවින්, මෙම වෙනස ගැන සැලකිලිමත් විය යුතු ය.
වසරකට අයත් දින ගණන හතරෙන් බෙදිය හැකි නම් එය අධික වසරක් ලෙස සලකනු ලැබීම රීතිය යි.
එක් ව්‍යතිරේකයක් අනුව, 100න් බෙදිය හැකි වර්ෂ අධික වර්ෂ ලෙස නොසැලකේ.
කෙසේ වෙතත්, 400න් බෙදූ විට වසරක් සම්පූර්ණ සංඛ්‍යාවක් නිපදවන්නේ නම් එය අධික වසරක් ලෙස සැලකේ.
සංකීර්ණ බවක් සිතෙන්නේ ද? අපි පහත උදාහරණ සමගින් පැහැදිලි කර ගනිමු:
2000 වර්ෂය අධික අවුරුද්දකි. ඒ, එය 4න් සහ 400න් බෙදෙන සංඛ්‍යාවක් වන හෙයිනි.
1700, 1800 සහ 1900 4න් බෙදෙන නමුත්, 400න් නොබෙදෙන හෙයින් අධික අවුරුදු ලෙස නොසලකයි.
මීළඟට අධික අවුරුද්ද මඟහැරෙන්නේ වසර 2100 දී ය.