'සුදු වෑන්' නඩුවෙන් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්: හේතුව කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කොල්ලකෑම, මිනී මැරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ අදහස් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනා විත්ති වාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැ: 29) නියෝග කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මෙම තීන්දුව ලබා දුන්නේ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ය.
2019 වසරේ නොවැම්බර් 10 වන දා කොළඹ පැවති ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් දෙදෙනා විසින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම්, මිනී මැරීම ඇතුළු අපරාධ ක්‍රියා කළ බවට තොරතුරු අනාවරණය කර තිබිණි.
එම මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇති විය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසුව විත්තිකරුවන්ට අදාළ චෝදනා තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්ති වාචකය නොකැඳවා ම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සඳහන් කළේ, මෙම නඩුවට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙකු සාක්ෂිය සඳහා කැඳවීමට පැමිණිල්ල කටයුතු කර නොමැති බව ය.
ඉදිරිපත් වූ සෙසු සාක්ෂිවලින් ද ජනාධිපතිවරණයේදී අගතියට පත්වූ බව කියන අපේක්ෂකයාට අගතියක් සිදුවූ බව තහවුරු කරන සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, විත්තිකරුවන් වරදකරුවන් කිරීමට තරම් සෑහීමකට පත්විය හැකි සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වී නොමැති හෙයින් මෙම විත්තිකරුවන් දෙදෙනා විත්ති වාචකය නොකැඳුවා ම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේ ය.
එසේ ම මෙම නඩුවට අදාළව විත්තිකරුවන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග වහා ම ඉවත් කරන ලෙස විනිසුරුවරයා ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේ ය.
ඊට අමතරව, අධිකරණය භාරයේ පවතින විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියම කළේ ය.














