"සුදු වෑන්" නඩුව: රාජිත සේනාරත්න සැකකරුවෙකු ලෙස නම් කිරීම 'අවිධිමත්' - මහේස්ත්‍රාත්වරිය

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රක්ෂිත භාරයට පත්කරනු ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.

මතභේදයට ලක්වූ ''සුදු වෑන්'' මාධ්‍ය හමුවට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ විවෘත අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළේය.

ඔහු සඳහන් කළේ, ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකාර රාජිත සේනාරත්න පැය 46 ට ආසන්න කාලයක් සැඟව සිට පසුව නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් මතුවූ බවය.

මෙසේ සැඟව සිටි කාල සීමාවේ පොලිසිය සැකකරුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් හා දරුවන්ගෙන් විමසීම කළත් ඔහු සිටින තැන නොදන්නා බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, අව් කණ්ණාඩියක් හා හිස්වැසුමක් පැළඳගෙන වෙස් වලාගෙන සැකකාර රාජිත සේනාරත්න ලංකා රෝහල වෙත ගොස් තිබෙන අතර, ඉන් අනතුරුව ඔහු සෘජුවම හෘද ශල්‍ය ඒකකයේ පවතින දැඩි චිකිත්සක අංශයට ඇතුළත් කර ඇති බවය.

'රෝගී තත්වයක් නෑ'

"ස්වාමීනී, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහල වෙත ගියා. මෙම අවස්ථාවේ එහි සිටි උමාශංකර් නමැති වෛද්‍යවරයෙක් සැකකරු අසළට යාමට එම නිලධාරීන්ට අවසර ලබාදුන්නේ නැහැ. ප්‍රකාශයක් ලබා ගැනීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ. කිසිදු රෝගී තත්ත්වයක් නැති පුද්ගලයකු මේ ආකාරයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඔහුව අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට ලංකා රෝහලේ වෛද්‍යවරු කටයුතු කර තිබෙන බව මා සඳහන් කර සිටිනවා," නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පැවසීය.

"නිසි දිවුරුමක් මත රාජකාරිය කරන වෛද්‍යවරු මේ ආකාරයෙන් අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා සිය වෘත්තිය අවභාවිතයට ලක් කිරීම දැඩි ලෙස හෙළා දකිනවා. කිසිදු රෝගී තත්වයක් නොමැතිවයි සැකකාර රාජිත සේනාරත්න මේ වන විට අදාළ රෝහලේ නේවාසිකව රඳවා සිටින්නේ. මෙම සිද්ධිය හරහා සැකකරු හිතාමතාම නීතිය අපගමනයකට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා" යනුවෙන් ද සඳහන් කළ ඔහු සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ, මෙම ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනාට මුදල් ලබාදී තිබෙන්නේ මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නැමැත්තෙකු වන අතර එම පුද්ගලයා ද මේ වන විට අතුරුදන්ව ඇති බවය.

මේ හේතුවෙන් මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම තත්වය හමුවේ සැකකාර රාජිත සේනාරත්නට ඇප ලබා දුනහොත් ඉන් පරීක්ෂණ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

'රෝහලට කඩා වැදුනා'

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ සැකකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර සඳහන් කළේ ඉකුත් 24 වන දා වරෙන්තුව නිකුත් කිරීමෙන් පසුව සැකකාර රාජිත සේනාරත්න කොළඹින් බැහැර ප්‍රදේශයක සිට ඉකුත් 26 වනදා අධිකරණය වෙත ඉදිරිපත් වීමට පැමිණි බවය. එසේ පැමිණි අවස්ථාවේ ඔහු හදිසියේ රෝගාතුර වීම නිසා කොළඹ ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කළ බව ඔහු සඳහන් කළේය.

මුබාරක් නමැති කීර්තිමත් වෛද්‍යවරයෙකු තම සේවාදායකයාට ප්‍රතිකාර කරමින් සිටින අතර, ඔහුගේ අනුමැතියකින් තොරව බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් රෝහලට කඩාවැදී තම සේවාදායකයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට තැත් කර ඇති බවද මෙහිදී ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

තම සේවාදායකයාට පොලිසිය විසින් එල්ල කරනු ලැබ තිබෙන චෝදනා ඇප දිය හැකි වැරදි බැවින් රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවය. ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද මිනීමැරුම්, පැහැරගෙන යාම් හා කොල්ලකෑම් සම්බන්ධයෙන් විමර්ශන කරන බව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබූ බව මහෙස්ත්‍රාත්වරිය සිහිපත් කළාය.

එහෙත් ඉකුත් නඩු දිනයේදී මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව විමර්ශන සිදු නොකරන බවට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් දැනුම් දෙන ලද බවද පෙන්වාදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න, එම තත්වය මත සැකකාර රාජිත සේනාරත්න මෙම නඩු කටයුත්තේ සැකකරුවකු ලෙස නම් කිරීම තුළ පරස්පරතාවක් දක්නට තිබෙන බව සඳහන් කළාය.

එමෙන්ම මෙහි සැකකරුවකු ලෙස රාජිත සේනාරත්න නම් කිරීමේ ක්‍රියාපටිපාටිය තුළ අවිධිමත් භාවයක් දක්නට තිබෙන බවද මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

එම තත්වය මත සැකකාර රාජිත සේනාරත්න ඇප මත මූදාහරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, නඩුව නැවත ලබන ජනවාරි මස 6 වනදා කැඳවන ලෙසත් එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මුදල් ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කරන බවද සඳහන් කළාය.

රාජපක්ෂ පාලනය සමයේ "සුදු වෑන්" යොදාගෙන සිය විරුද්ධවාදීන් පැහැරගැනීමේ ක්‍රියා මෙහෙය වූ බවට එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ට චෝදනා එල්ල වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ එම චෝදනාව කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කළේය.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of YouTube post

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවස්ථාවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්නගේ මෙහෙයවීමෙන් පැවති "සුදු වෑන්" මාධ්‍ය හමුවේ දී යළිත් වරක් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එම චෝදනාව එල්ල කෙරිණ.

මේ අතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම්, අජිත් පී පෙරේරා, එම් ඒ සුමන්දිරන්, එරාන් වික්‍රමරත්න සහ මුජිබර් රහ්මාන් ඇතුළු විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු අවධාරණය කළේ "සුදු වෑන්" මාධ්‍ය හමුව පැවැත්වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගනු වෙනුවට, පොලිසිය ඔවුන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතු බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

රාජිත සේනාරත්න, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණු දෙවැනි විපක්ෂ මන්ත්‍රීවරයාය. ඊට පෙරාතුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය චම්පික රණවක පසුව ඇප මත නිදහස් කෙරිණ.

කියවන්න: