ලෝකයේ සුප්‍රසිද්ධ 'Napalm Girl' ඡායාරූපයේ සැබෑ අයිතිකරු ගැන මතභේදයක්

ඡායාරූප මූලාශ්‍රය, AP
- Author, බුයි තු, මීහං චං, බුයි හයි - බැංකොක්, ග්‍රේස් ට්සෝයි - හොංකොං
- Role, බීබීසී වියට්නාම
නේපාම් ප්‍රහාරයට ලක් වීමෙන් පසු නිරුවත් ගැහැනු ළමයෙකු තවත් දරුවන් කිහිප දෙනෙකු සමග වේදනාවෙන් හා භීතියෙන් දුවනු දක්නට ලැබේ. වියට්නාම් යුද්ධය නිර්වචනය කරන ඡායාරූපය ලෙස සැලකෙන, "Napalm Girl" වියට්නාම ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා ආඩම්බරයක් සහ අභිලාෂයක් ද ගෙන දී ඇත: එහි ඡායාරූප ශිල්පියා වන නික් උට්, පුලිට්සර් ත්‍යාගයක් දිනාගත් පළමු සහ එක ම, වියට්නාමයේ උපත ලද ඡායාරූප ශිල්පියා බවට පත්විය.
"නික් උට් තමයි [ඒ ඡායාරූපය ගන්න] නියම වුණු කෙනා," නම සඳහන් කිරීමට අකමැති වූ වියට්නාම ඡායාරූප ශිල්පියෙක් පැවසීය. "ගුරුවරයෙකු" ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ උට් බොහෝ අවස්ථාවලදී තම මව් රටට ආපසු යන අතර වියට්නාම ඡායාරූප මාධ්‍යවේදීන් පරම්පරා ගණනාවකට මග පෙන්වීය.
නමුත් වසර 50කට වැඩි කාලයකට පසු, ජනවාරි මාසයේ සන්ඩාන්ස් චිත්‍රපට උළෙලේදී තිරගත වූ ද ස්ට්‍රින්ගර් (The Stringer) නම් නව වාර්තා චිත්‍රපටය මගින් මෙම සදාතනික ඡායාරූපයේ සැබෑ අයිතිය අභියෝගයට ලක් කර ඇත.
එම ඡායාරූපය ඇත්ත වශයෙන් ම ගනු ලැබුවේ, දැන් 87 හැවිරිදි වියේ පසුවන නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන න්ගුයෙන් තන් නේ (Nguyen Thanh Nghe) විසින් බව පවසමින් එය ඉතා කම්පනසහගත සහ පුදුමසහගත චෝදනාවක් කළේ, නවීන තාක්‍ෂණයේ සහය ඇතිව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම වාර්තා චිත්‍රපටය තිරගත වීමෙන් පසුව, වර්ල්ඩ් ප්‍රෙස් ෆොටෝ (WPP) සංවිධානය පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඡායාරූපයේ අයිතිකරු ලෙස උට් නම් කිරීම අත්හිටුවීමට තීරණය කළේ ය. මෙම තීරණය ඡායාරූප මාධ්‍යවේදීන්ගේ ප්‍රජාව තුළ ගැඹුරු භේදයකට තුඩු දී තිබේ. "වීරයෙක්, ඓතිහාසික චරිතයක් ඉවත් කරන්න ප්‍රමාණවත් තරම් ප්‍රබල සාක්ෂි තියෙන්න ඕනේ," තවත් වියට්නාම ඡායාරූප මාධ්‍යවේදියෙක් බීබීසීයට පැවසීය.
මෙම ඩිජිටල් යුගයේදී, තනි ඡායාරූපයකට එවැනි බලපෑමක් ඇති කළ හැකි වීම "දුර්ලභ" බව ඔහු තවදුරටත් පැවසීය. "අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ මතභේදය නිසා මෙතරම් වැදගත් ඡායාරූපයක උරුමයට හානි වීමට හෝ එකිනෙකාට තවත් වේදනාවක් ඇති කිරීමට ඉඩ නොදිය යුතුයි."
ඡායාරූපයේ සත්‍යතාව පිළිබඳව කිසිදු සැකයක් නැති නමුත් මතභේදය මනෝ ආවේගයක් බවට පත්ව ඇත්තේ, ඡායාරූප ශිල්පියාගේ නම ද "ඓතිහාසික සංධිස්ථානයක කොටසක්" වන බැවින් යැයි මිසූරි විශ්වවිද්‍යාලයේ ඡායාරූප මාධ්‍යවේදය පිළිබඳ සහකාර මහාචාර්ය කීත් ග්‍රීන්වුඩ් පැවසීය.
"යුද්ධයට සංකීර්ණ ඉතිහාසයක් තියෙනවා සහ තවමත් ඒ දේවල් මිනිස්සුන්ට කම්පනයක් වෙන්න පුළුවන්. ඡායාරූපය ගැන ප්‍රශ්න කරන එකෙන් ඒ යටපත් වෙලා තියෙන හැඟීම් ආපහු අවුස්සන්න පුළුවන්," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/World Press Photo
ඡායාරූපය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1972 ජූනි 8 වන දින දකුණු වියට්නාමයේ ගුවන් හමුදාව විසින් ට්‍රැන් බැං (Trang Bang) ගම්මානයට වැරදීමකින් එල්ල කරන ලද නේපාම් ප්‍රහාරයකින් පසුව මෙම සුවිශේෂී ඡායාරූපය ගැනිණි. ඡායාරූපයේ සිටින ප්‍රධාන චරිතය වන කිම් ෆුක්, ඇගේ සහෝදරයා සහ ඥාති සහෝදර සහෝදරියන් සමග පන්සලක මළුවක සෙල්ලම් කරමින් සිටියා ය.
එකල උට් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) වෙනුවෙන් වැඩ කළ ඡායාරූප ශිල්පියෙකු විය. පිපිරීම සිදුවීමෙන් පසු ගම්වැසියන් අසල පිහිටි මහා මාර්ගයක් දිගේ දිව ගිය බව ඔහු පැවසීය. මිය යන දරුවෙකු දෑතින් ඔසවාගෙන සිටි මහළු කාන්තාවක ඡායාරූගත කිරීමෙන් පසු ඔහු දුටුවේ ෆුක් ඇගේ දෑත් ඉහළට ඔසවාගෙන දිව යන ආකාරයයි. ඔහු ඡායාරූප ගැනීමට දැරිය දෙසට දිව ගිය නමුත්, ඇයගේ සම ගැලවී යන බව දුටු විට ඔහු නතර විය. ඉන්පසු ඔහු ඇගේ සිරුරට වතුර වත් කර ඇය ඇතුළු දරුවන් රෝහලකට ගෙන ගියේ ය.
ඩිජිටල් කැමරා යුගයට පෙර, ඡායාරූප ශිල්පීන්ට, විශේෂයෙන් මාණ්ඩලික සහ නිදහස් ඡායාරූප ශිල්පීන්, ඔවුන්ගේ ඡායාරූප අඩංගු සේයා පට කාර්යාලය වෙත යැවීමට සිදුවිය. අඳුරු කාමරය භාරව සිටින සංස්කාරකවරයා එම සේයා පට කවුරුන් විසින් ගන්නා ලද්දක් ද යන්න සටහන් කර ඒවා ඡායාරූප බවට පත් කරයි. ප්‍රධාන කාර්යාලය වෙත යැවිය යුතු ඡායාරූපය කුමක්දැයි ඡායාරූප අංශයේ ප්‍රධානියා තීරණය කරනු ඇත.
"මම ආපහු ඔෆිස් එකට ගියා ම, මම කෑගැහුවා, 'මගේ ගාව විශේෂ ෆොටෝ එකක් තියෙනවා!' හැමෝම හැරුණා ඒ දිහා බලන්න," උට් ජනවාරි මාසයේ බීබීසීයට පැවසීය. ඩාර්ක්රූම් සංස්කාරක යුයිචි "ජැක්සන්" ඉෂිසාකි පමණක් ඡායාරූප කාමරයේ සිටි බවත් සේයා පටය සකසන අවස්ථාවේ තමා ඉෂිසාකි අසල සිටගෙන සිටි බව ත් උට් සඳහන් කළේ ය. ඉන්පසු ඉෂිසාකි සේයා පටයේ උට්ගේ නම සටහන් කර ඡායාරූපය, ප්‍රවෘත්ති කාමරයට ගෙන ගියේ ය.
"හැමෝම ඡායාරූපය දැක්කා, [කවුරුහරි] මගේ ලොක්කා, ඡායාරූප අංශයේ ප්‍රධානී හෝස්ට් ෆාස්ට කතා කළා, කෑම [දවල්] කන එක නතර කරලා ඉක්මනට එන්න කියලා," උට් පැවසීය.
උට්ට අනුව, ෆාස් ඡායාරූප කර්තෘ කාල් රොබින්සන් ඉදිරියට පැමිණි අතර, ඡායාරූපය පිටතට යැවිය යුතු ද නැද්ද යන්න පිළිබඳව ඔවුන් අතර වාදයක් ඇති විය. සිරස්තල ලිවීමේ කාර්යය පැවරී තිබූ රොබින්සන්, එහි නිරුවත අඩංගු වූ බැවින් එය නුසුදුසු යැයි සැලකීය. නමුත් ඔහුගේ මතය ප්‍රතික්ෂේප කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, රොබින්සන් බීබීසීයට ඊට බෙහෙවින් වෙනස් විස්තරයක් ලබා දුන්නේ ය.
දිවා ආහාරයෙන් පසු අඳුරු කාමරය තුළ සිටියේ ඉෂිසාකි සහ කාර්මික ශිල්පියෙකු පමණක් බව ඔහු පැවසීය. රොබින්සන්ට අනුව, සේයා පට ඒ වන විටත් සකසා පරීක්ෂා කිරීම සඳහා තබා තිබිණි. ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු විසින් ලබා දෙන ලද වෙනස් සේයා රෝල් දෙකක එක ම දර්ශනයේ ඡායාරූප දෙකක් විය. එකක් එක් පසෙකින් රැගෙන තිබූ අතර අනෙක ඉදිරිපසින් ගත් එකක් විය.
රොබින්සන් ලොග් පොතේ නුහුරු නමක් දුටුවේ ය. ඒ, එම නිදහස් ඡායාරූප ශිල්පියා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙනුවෙන් නිතර රාජකාරියේ නිරත නොවූ අයෙකු වූ නිසා ය. "අපිට වියට්නාම නිදහස් ඡායාරූප ශිල්පීන් ගොඩ දෙනෙක් හිටියා. ඔවුන් සිවිල් වැසියන් වෙන්න පුළුවන් එහමත් නැත්නම් අමතර මුදලක් හොයන්න ආව සොල්දාදුවන් වෙන්න පුළුවන්," ඔහු පැවසීය.
රොබින්සන් පැවසුවේ ෆාස් පසුව ආපසු පැමිණි බවත්, කුමන ඡායාරූපය යැවිය යුතු ද යන්න පිළිබඳව වාද නොකළ බවත් ය. කෙසේ වෙතත්, ඡායාරූප තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී උට් එහි නොසිටි බව ඔහු තරයේ කියා සිටියේ ය. "ඔහු තීරණයක් බලාපොරොත්තුවෙන් දොරෙන් පිටතට වෙලා හිටියේ නැහැ."
රොබින්සන් [ඡායාරූපයේ] විස්තරය ලියන අතරතුර, ඔහු කියා සිටින්නේ, ෆාස් සමීපයට නැමී, AP කාර්ය මණ්ඩල සේවකයෙකු වන උට්ට ඡායාරූපයේ ගෞරවය ලබා දෙන ලෙස ඔහුගේ කනට කොඳුරමින් කියා සිටි බවයි. "මට මගේ වියට්නාම බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා සමග සයිගොන්වල ඉන්න ඕනේ වුණ නිසා ඒකට අභියෝග කරන්න තරම් ධෛර්යයක් මට තිබ්බෙ නැහැ."
ෆාස් සහ ඉෂිසාකි යන දෙදෙනා ම දැන් ජීවතුන් අතර නැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊළඟ දශක කිහිපය තුළ රොබින්සන්ට තම හෘද සාක්ෂියෙන් ගැලවීමට ඉඩ නොලැබිණි. ඔහුට ඡායාරූප ශිල්පියාගෙන් සමාව අයැදීමට අවශ්‍ය වූ නමුත් ඔහුට ඔහුගේ නම මතක නොතිබිණි. 2015දී, හිටපු AP සගයෙකුගේ සහය ඇතිව, ඔහු න්ගුයෙන් තන් නේගේ නම සොයා ගත් නමුත් ඔහුව සොයා ගැනීමට නොහැකි විය.
වසර හතකට පසු, ඡායාරූපයේ 50 වන සංවත්සරය සැමරීම සඳහා උට් සහ කිම් ෆුක් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවූහ. "අවසානයේ, මම මේ සියල්ලට ම මුහුණ දිය යුතු බව තීරණය කළා. මට ඒ දිහා නොබලා අමතක කරලා ඉන්න බැහැ."
රොබින්සන් තම සහෝදර ඡායාරූප මාධ්‍යවේදී ගැරී නයිට් සම්බන්ධ කර ගත් අතර, තමා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට ඔහු එකඟ විය. එය 'ද ස්ට්‍රින්ගර්හි' ආරම්භය සනිටුහන් කළේ ය.
වැඩි කල් නොගොස්, එහි නිෂ්පාදන කණ්ඩායමට, සයිගොන් බිඳවැටීමෙන් පසු සරණාගතයෙකු ලෙස එක්සත් ජනපදයට සංක්‍රමණය වූ නමුත් 2002දී තම මව් රටට ආපසු පැමිණි න්ගුයෙන් තන් නේ සොයා ගැනීමට හැකි විය.
"මම නිහඬව, කතකරගත නොහැකිව, කනස්සල්ලෙන් සහ වේදනාවෙන් හිටියා - හැඟීම් ගැඹුරින් යටපත් කර ගෙන හිටියා," නේ පැවසීය. "සත්‍යයට වඩා වැදගත් කිසිවක් නැහැ."
විමර්ශන
වාර්තා චිත්‍රපටය නිර්මාණය වෙමින් පවතින බව දැනගත් පසු, ලබා ගත හැකි දර්ශන, ජීවමාන සාක්ෂිකරුවන් සමග සම්මුඛ සාකච්ඡා සහ උට්ගේ කැමරා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මත පදනම්ව AP තමන්ගේ ම විමර්ශනයක් ආරම්භ කළේ ය. ඔවුහු ජනවාරි සහ මැයි මාසවලදී වාර්තා දෙකක් ප්‍රකාශයට පත් කළ අතර උට්ට ඡායාරූපය සඳහා ගෞරවය ලබා නොදීමට "නිශ්චිත සාක්ෂි" නොමැති බව නිගමනය කළහ. කෙසේ වෙතත්, "සැලකිය යුතු ප්‍රශ්න" ඇති බව ප්‍රවෘත්ති ඒජන්සිය පිළිගත්තේ ය.
ඡායාරූපය පෙන්ටැක්ස් (Pentax) කැමරාවකින් ගන්නා ලද එකක් වීමට "බොහෝ දුරට ඉඩ ඇති" බව ඒපී පැවසීය. නමුත් එය උට් භාවිත කළ බව කී කැමරාවට පරස්පර වර්ගයක් විය. එදින ඔහු සතුව කැමරා හතරක් එනම් ලයිකා (Leica) කැමරා දෙකක් සහ නිකොන් (Nikon) කැමරා දෙකක් තිබූ බවත්, අදාළ ඡායාරූපය ගැනීමට ඔහු ලයිකා කැමරාවක් භාවිත කළ බවත් ඔහු බොහෝ කලක සිට පවසා තිබිණි. AP ආයතනය විසින් ප්‍රශ්න කරන විට, උට් පැවසුවේ තමා කැමරාවේ වර්ගය කෙරෙහි අවධානය යොමු නොකළ බව සහ ෆාස් පැවසුවේ, ඡායාරූපය ලයිකා කැමරාවක සේයා පටලයකින් ලැබුණු බව ය.
එදින, නේ පෙන්ටැක්ස් එකකට සමාන කැමරාවක් අතේ තබාගෙන සිටින අයුරු ඡායාරූපගත වී තිබිණි.
වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම සහ AP යන පාර්ශව දෙක ම පවතින දර්ශන, ඡායාරූප සහ චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව කාලරාමුවක් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සහ කළේ ය. "Napalm Girl" ඡායාරූපය ගෙන මද වේලාවකට පසු රූගත කරන ලද වීඩියෝ දර්ශනවල, දරුවන්ගෙන් බොහෝ දුරින් සිටි උට්ගේ යැයි විශ්වාස කළ හැකි අපැහැදිලි ඡායාරූපයක් විය. වාර්තා චිත්‍රපටයේ සඳහන් වන්නේ, උට් වීඩියෝ කැමරාවේ සිට මීටර් 60ක් දුරින් සිටි බවයි. එනම්, එම දුරින් සිටීමට ඔහුට මෙම ඡායාරූපය ගත් පසු දුවන්නට සිදු වූ බව ය.
ඇසෝසියේටඩ් ප්‍රෙස් කලින් සඳහන් කළ දුර සමග එකඟ නොවූ අතර ඒ වෙනුවට නිවැරදි දුර මීටර් 28.8ත් 48ත් අතර බව පැවසීය. නමුත් සත්‍ය දුර තරමක් වැඩි හෝ අඩු විය හැකි බවට 20%ක අවස්ථාවක් තිබේ යැයි ද පැවසීය. වාර්තා චිත්‍රපටයේ දුර ගණනය කිරීමට විචල්‍යයන් බලපෑ හැකි බවත් ඇතැම් දර්ශන නොසලකා හැර ඇති බවත් ය. එමෙන් ම විමර්ශනයේදී භාවිත කළ රූප කට්ටල දෙකකට ඔවුන්ට ප්‍රවේශයක් නොතිබුණු බවත් ඔවුහු තර්ක කළහ.
දැන් අප සිටින්නේ කොහෙ ද?
ඡායාරූප ශිල්පියාගේ අනන්‍යතාව තහවුරු කළ හැකි බව AP හෝ WPP පවසන්නේ නැත. තුන්වන ඡායාරූප ශිල්පියෙකු ඡායාරූපය ගන්නට ඇතැයි ද WPP යෝජනා කළේ ය.
එසේ වුව ද ඔවුන් පවසන කතාව ගැන ප්‍රශ්න කිහිපයක් පවතී: එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ම වාර්තා චිත්‍රපටයේ සිදුවීම් පිළිබඳ අනුවාදය පදනම් විරහිත යැයි ප්‍රතික්ෂේප කළ අතර චිත්‍රපටයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළහ.ඡායාරූප මුද්‍රණය ගැන කුමක් කිව හැකි ද? ෆාස් ඔහුට එකක් දුන් බව නේ පැවසීය. නමුත් ඔහුගේ බිරිඳ කලකිරීමෙන් එය ඉරා දැමුවා ය.
තමන් නීත්‍යනුකූල ඡායාරූප ශිල්පියා බව උට් ප්‍රකාශ කර ඇති අතර ඔහු අපහාස නඩුවක් ගොනු කිරීමට සැලසුම් කරමින් සිටී.
"ඡායාරූපය පිටුපස ඇති සත්‍යය දැන ගැනීමට මිනිසුන් ස්වභාවයෙන් ම කැමතියි," මෙම ලිපිය මුලදී නිර්නාමිකව අදහස් දැක්වූ වියට්නාම ඡායාරූප ශිල්පියා පැවසීය. "ඇත්තට ම සිද්ධ වුණේ මොකක් ද කියලා දැන ගන්න අපට තවත් කාලය සහ සාක්ෂි අවශ්‍යයි."
"Napalm Girl" ඡායාරූපය ගෙන දශක ගණනාවකට පසුවත් එහි ප්‍රබලත්වය අඩුවක් නැතිව පවතින බවට කිසිදු සැකයක් නැත. නමුත් එහි සම්භවය පිළිබඳ චෝදනා එයට අභිරහසක් එක් කර තිබේ.














