1981 -1991 අතර උපන් ඔබ සුවනාරි සායනයට සහභාගි විය යුත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
කාන්තාවට බලපාන බෝ නොවන රෝග කල්තබා හඳුනා ගැනීම සඳහා සුවනාරි සායන වෙත පැමිණෙන ලෙස, වයස අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යංශය ආරාධනා කරයි.
ඒ අනුව කාර්යංශය ඉල්ලා සිටිනේනේ, 1981 වසරේ සිට 1991 වසර දක්වා උපන් කාන්තාවන්ට තම ප්‍රදේශයේ සුවනාරි සායනයට සහභාගී වී අදාළ රෝග සඳහා වූ පරීක්ෂණවලට යොමු වන ලෙස ය.
මෙරට ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි කාන්තාවන් වෙනුවෙන් ම පවත්වන සුවනාරි සායන සහ ඊට සහභාගී විමේ වැදගත්කම ඔබට මේ ලිපියෙන් දැන ගත හැකි ය.
'ඉලක්කගත කණ්ඩායම අවුරුදු 35- 45 කාණ්ඩයේ කාන්තාවන්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපේ ඉලක්කගත කණ්ඩායම තමයි අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්. නමුත් සුවනාරි සායනයවලට අවුරුදු 15ත් 49ත් අතර ප්‍රජනක වයස් කාණ්ඩයේ ඔක්කෝම කාන්තාවන්ට තමයි තියෙන්නේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට අනුව වැඩියෙන් ම අවධානය දෙන්න ඕන වයස් කාණ්ඩ දෙක සලකලා 35, 45 වයසේ අය ගන්නවා."
ඒ අනුව, 2026 වසරේදී එම කාණ්ඩයට අයත් වන්නේ ඉහත වසරවල උපන් කාන්තාවන් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නදීජා හේරත් පැවසීය.
පෝෂණය, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග මෙන් ම පියයුරු පිළිකා සහ ගැබ්ගෙළ පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂණ මෙම සුවනාරි සායනයේදී මූලික වශයෙන් පරීක්ෂාවට ලක් කෙරේ.
"පවුල් සෞඛ්‍ය සේවිකාව ගිහිල්ලා ඉන්වයිට් කරනවා 35, 45 අතර ප්‍රජනක වයස් කාණ්ඩයේ අයට. මිඩ් වයිෆ් ගාව තියෙනවා විවාහ වෙච්ච අයගේ ලේඛනයක්. මිඩ්වයිෆ් හැම අවුරුදේම හොයා ගන්නවා එයාගේ කණ්ඩායම කවුද කියන එක. එහෙම නැති වුණත් අපේ ටාගට් ගෲප් එකේ වයස් කණ්ඩයට අයත් කාන්තාවන්ට පුළුවන් ළඟ ම තියෙන MOH එකට ගිහිල්ලා මේ පරීක්ෂණ කර ගන්න."
දිස්ත්‍රික්ක 25 තුළ සෞඛ්‍ය නිලධාරී කාර්යාල පවතින අතර අවම වශයෙන් මාසයකට දෙවතාවක් සුවනාරි සායන පවත්වන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නදීජා හේරත් පැවසුවා ය.
"ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. ඒ කළුතර ජාතික විද්‍යාතනයේ සීඑම්සී එරියා එකත් අරගෙන ඔක්කොම සෞඛ්‍ය දිස්ත්‍රික්ක 28ක් කියලා අරගෙන. ඒ දිස්ත්‍රික්ක 28ට තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල. ඒ කාර්යාලවලින් තමයි මේ සුවනාරි සායනය ක්‍රියාත්මක කරන්නේ."
"අපි කියන්නේ ජනගහනය පහළොස් දාහකට එක ක්ලීනික් එකක් පවත්වන්න කියල. ඒ විදියට ක්ලීනික් තියෙනවා. හැම MOH එකට ම ක්ලීනික් එකක් නැතිනම් කිහිපයක් තියෙනවා. මාසයට අඩු ම වශයෙන් සායන දෙකක් කරනවා," ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.
සුවනාරි සායනයේදී ලබා දෙන සේවා
සුවනාරි සායනවලදී සිදු කෙරෙන සේවාවන් මෙසේ ය.
- සාමාන්‍ය කායික පරීක්ෂාව
- රුධිර පීඩන පරීක්ෂාව
- මුත්‍රාවල සීනි පරීක්ෂාව
- පියයුරු පරීක්ෂාව
- ස්වයං පියයුරු පරීක්ෂාව ගැන දැනුවත් කිරීම
- පියවි ඇසින් ගැබ්ගෙළ නිරීක්ෂණය කිරීම
- ගැබ්ගෙළ ශ්‍රාව පටල පරීක්ෂාව
- නිරෝගීමත් ජීවන රටාවකට සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම
- අවශ්‍ය අවස්ථාවලදී පවුල් සැලසුම් සේවා ලබාදීම
- හඳුනාගත් රෝගීන් සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම
'මේවා බෝ නොවන රෝග නිසා රෝග ලක්ෂණය අඩු යි'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කාන්තාවන් සුවනාරි සායනයට සහභාගී වැදගත්කම පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නදීජා හේරත් බීබීසී සිංහල සේවයට මෙලෙස පැහැදිලි කළා ය.
"අවුරුදු 35, 45 කියන්නේ ප්‍රජනක වයසේ ළමයි හම්බ වෙලා ඉවර යි. එයා ළමයින්ගේ වැඩ කරගෙන ඉන්න කාලේ. එතකොට අම්මාට එයා ගැන හිතන්න වෙලාවක් නැහැ. පූර්ව ප්‍රසව කාලයේ නම් එයා ගැන දිගට ම බලනවා, එයාගේ ලෙඩ ගැන බලනවා. නමුත් ඊට පස්සේ එයා ගැන බලන්නේ නැහැ. අනිත් එක කාන්තාව තමයි ලාංකාවේ වයස්ගත ජනගහනය අතර වැඩියෙන් ම ජීවත් වෙන්නේ. කාන්තාවන්ගේ ආයු කාලය වැඩි යි. කාන්තාවන්ගේ ආයු කාලය වැඩි නම් ඒ අය නිරෝගීව ඉන්න ඕනේ. ඒ නිසා ඉතා වැදගත් ඒගොල්ලෝ ගිහිල්ලා කලින් ම ඒ අයට තියෙන අසනීප හොයාගන්න එක. මේවා බෝ නොවන රෝග නේ, ඒවායේ කිසි ම රෝග ලක්ෂණයක් නැහැ. කලින් හඳුනා ගත්තොත් අවශ්‍ය පියවර අරගෙන ඒ ලෙඩ රෝග සනීප කරගන්න පුළුවන්."
සුවනාරිසායනයට පැමිණ වෛද්‍ය පරීක්ෂාවට හා රෝග පරීක්ෂාවට ලක් වන කාන්තාවන්ට යම් බෝ නොවන රෝගී තත්ත්වයක් හඳුනාගනු ලැබුවහොත් ඔවුන් අදාළ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සායන සඳහා යොමු කරන බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.
සුවනාරි සායන කාන්තාවන්ගේ යම් වයස් කාණ්ඩයක් ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගනිමින් බෝ නොවන රෝග කිහිපයක් පමණක් විශේෂ කර ගනිමින් පවත්වන්නේ ඇයි දැයි විශේෂඥ වෛද්‍ය නදීජා හේරත්ගෙන් විමසීමක් කළේ ය.
"ඒ රෝග තමයි බහුලව ම තියෙන්නේ. ප්‍රවණතාව වැඩි රෝග තමයි අපි අරගෙන තියෙන්නේ. ඒ වගේ ම පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාරයක් කරන්න පුළුවන් රෝග. මේ රෝග ටික කලින් අඳුරගෙන ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන් රෝග."
එමෙන් ම, අවුරුදු 35ත් 45ත් අතර සුවනාරි සායනවලට සහභාගී වන කාන්තාවන්ගේ සැමියා හෝ සහකරු සුවදිවි සායනවලට යොමු කිරීම ද මේ වසරේ සිට ආරම්භ කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නදීජා හේරත් වැඩිදුරටත් කියා සිටියා ය.
ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යල හරහා සුවනාරි සායනය පිළිබඳව වැඩි විස්තර ලබාගෙන කාන්තා ඔබට ඊට සහභාගී වීමේ අවස්ථාව ඇත.































