සාගරය අඳුරු වෙමින් පවතින්නේ ඇයි?

    • Author, එලියට් බෝල්, සු-මින් හ්වං
    • Role, බීබීසී ප්‍රවෘත්ති, සවුත් වෙස්ට් සහ බීබීසී ලෝක සේවය

එක්සත් රාජධානියේ, ප්ලිමත් විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකට අනුව, පසු ගිය දශක දෙක පුරාවට ලෝකයේ සාගරයෙන් පහෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් අඳුරු වී ඇතැයි සොයා ගෙන තිබේ.

"සාගරය අඳුරු වීම" (ocean darkening) ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය සිදු වන්නේ සාගරයේ ඉහළ ම ස්තරයේ සිදු වන වෙනස්කම් නිසා ආලෝකයට ජලය හරහා ගමන් කිරීම අපහසු වීම හේතුවෙනි. ප්‍රකාශ කලාපය (photic zone) ලෙස හැඳින්වෙන මෙම ඉහළ ස්ථරය සියලු ම සාගර ජීවීන්ගෙන් 90%කට නිවහන වන අතර ගෝලීය ජෛව භූ රසායනික චක්‍ර නිවැරදිව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.

Global Change Biology ජර්නලයේ පළ කරන ලද මෙම අධ්‍යයනයෙන් 2003 හා 2022 අතර කාල වකවානුව තුළ ගෝලීය සාගරයෙන් 21% අඳුරු වී ඇති බව සොයා ගත්තේ ය.

සාගරය අඳුරු වන්නේ ඇයි?

මෙම පර්යේෂණයට අනුව, ඇල්ගී වර්ධනයේ වෙනස්වීම සහ මුහුදේ මතුපිට උෂ්ණත්වය වෙනස් වීම වැනි සාධක සාගරය අඳුරු වීමට හේතු කාරක වන බව විශ්වාස කෙරේ.

අඳුරු වීම නිතර ම දක්නට ලැබෙන්නේ, ප්ලවාංග වර්ධනය වීමට උපකාරී වන, පෝෂක කොටස් බහුල ජලය මුහුද මතුපිටට පැමිණෙන සහ අධික වර්ෂාපතනය නිසා කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය හා අවසාදිත ගොඩබිමෙන් සෝදා ගෙන ගොස් ජලයට එක්වන වෙරළබඩ ප්‍රදේශවලයි.

කාලගුණ විපර්යාසයන්හි බලපෑමත් සමග, ලොව පුරා බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතන නිතර ඇති වීම තවත් පොදු හා තීව්‍ර වෙමින් පවතියි.

මධ්‍යයට යත් ම සාගරය අඳුරු වීම, ආලෝකය සාගරය තුළට ගමන් කිරීම අවහිර කරන ප්ලවාංග වැඩීමට හේතු කාරක වන, මුහුද මතුපිට උෂ්ණත්වය ඉහළ යාමට සම්බන්ධ විය හැක.

බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ මොනවා ද?

සාගරයෙන් 9%ටත් වැඩි ප්‍රමාණයක, එනම් ප්‍රමාණයෙන් අප්‍රිකානු මහද්වීපයට සමාන වපසරියක, හිරු එළිය ළඟා විය හැකි ගැඹුර අඩි 164කට වඩා (50m) අඩු වී ඇතැයි මෙම අධ්‍යයනයෙන් සොයා ගත්තේ ය.

සාගරයෙන් තවත් 2.6%ක අඩි 328 (100m) වැඩි අඩු වීමක් අත් දුටුවේය.

ප්‍රකාශ කලාපයේ (photic zone) ගැඹුරේ සිදු වූ ඉතා වැදගත් වෙනස්කම් දක්නට ලැබුණේ ගල්ෆ් ඇළේ ඉහළට වන්නට සහ කාලගුණ විපර්යාස හේතුවෙන් පෘථිවියේ විශාල වෙනස්කම්වලට බඳුන් වන ආක්ටික් හා ඇන්ටාක්ටික් ප්‍රදේශ දෙකෙහි බව ද මෙම අධ්‍යයනයේ සඳහන් වෙයි.

අඳුරු වීම, බෝල්ටික් මුහුද ඇතුළුව, වෙරළබඩ ප්‍රදේශ සහ ගොඩබිමෙන් වටවූ මුහුදුවල පුළුල් ලෙස ව්‍යාප්තව තිබිණි.

මෙම අධ්‍යයනය මගින් යෝජනා කරන්නේ, සාගරය අඳුරු වීම වෙරළබඩ ආශ්‍රිත ප්‍රදේශවලට සීමා නොවන අතර ගොඩබිමේ දුර ගැඹුරු සාගරයට ද බලපාන බව ය.

කෙසේ වෙතත්, අධ්‍යයනයට අනුව, සාගරයේ සෑම කොටසක් ම අඳුරු වන්නේ නැත. මෙම කාල පරිච්ඡේදය තුළදී ම සාගරයෙන් 10%ක ජලය පැහැදිලි බවට හැරී ඇත.

අධ්‍යයනයට මූලික වූ පර්යේෂකයින්ට අනුව, එම අවස්ථා දෙක ම නිරූපණය කරන මෙම රූපයෙන් පිළිබිඹු වන්නේ, සාගර පද්ධතිවල සංකීර්ණ බව හා ජලයේ පැහැදිලි බවට බලපාන සාධකයි.

මෙය මුහුදු ජීවයට බලපාන්නේ කෙසේ ද?

වෙනස්කම්වලින් සිදුවන නිශ්චිත බලපෑම මුලුන්මනින් ම පැහැදිලි නොවුණ ද, පෘථිවියේ මුහුදු ජීවීන් හා පාරිසරික කෘත්‍යයන්වලට විශාල වශයෙන් බලපෑම් ඇති විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

"ප්ලවාංගවල වෙනස්වීම්වල ප්‍රතිඵලයක් විදිහට, පසුගිය වසර 20 පුරාවට සාගරයේ මතුපිට වර්ණය වෙනස්වෙලා තියෙන්නේ කොහොම ද කියන පර්යේෂණ තියෙනවා," විශ්වවිද්‍යාලයේ සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය තෝමස් ඩේවිස් පවසයි.

"නමුත් අපේ ප්‍රතිඵල තුළින්, තම පැවැත්ම හා ප්‍රජනනය සඳහා සූර්යයා හා චන්ද්‍රයා මත යැපෙන සතුන්ට තියෙන සාගර ප්‍රමාණය අඩු කරන, පුළුල්ව පැතිරුණු අඳුරු වීමට හේතු වන්නේ ඒ වෙනස්වීම් කියලා සාක්ෂි සපයනවා."

ජලයේ මෙම ඉහළ ස්තරය බොහෝ මුහුදු ජීවීන්ට වාසභූමිය වන අතර, ශාක වැනි ජීවින් වන ශාක ප්ලවාංග (phytoplankton) ප්‍රභාසංස්ලේෂණය කරන්නේ ද මෙහි ය. මෙම අන්වීක්ෂීය ජීවීන් ආහාර දාමයේ මූලය ගොඩ නගන අතර, ප්‍රභාසංස්ලේෂණය සඳහා හිරු එළිය අවශ්‍ය බැවින් ඔවුන් ජලය මතුපිටට ආසන්නව සොයාගත හැකි ය.

බොහෝ මුහුදු ජීවීන් ආහාර සොයා යාම සහ ප්‍රජනනය, ආහාර ප්‍රමාණවත් තරම් ඇති ප්‍රකාශ කලාපවල (photic zones) සිදු කරන්නේ එම නිසා ය. තව ද, ශාක ප්ලවාංග වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණයෙන් අඩක් පමණ නිපදවන අතර, එය කාබන් චක්‍රයට හා මුහුදු ජීවයට ඉතා වැදගත් ය.

'කණස්සල්ලට සැබෑ හේතුව'

ආචාර්ය ඩේවිස් පවසන්නේ සාගරය අඳුරු වීම මිනිසා ආශ්වාස කරන වාතයට, ඔවුන් ආහාරයට ගන්නා මාළුවලට හා කාලගුණ විපර්යාසයන්ට එරෙහිව සටන් වැදීමට ලෝකයට ඇති හැකියාවට බලපෑම් ඇති කරන බව ය.

"අපගේ සොයාගැනීම් කනස්සල්ලට සැබෑ හේතුව පෙන්වලා දෙනවා."

ප්ලිමත් සාගර විද්‍යාගාරයේ, සාගර ජෛව භූ රසායන විද්‍යා හා නිරීක්ෂණ විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී, මහාචාර්ය ටිම් ස්මිත් පවසන්නේ, වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ආලෝකය අවැසි මුහුදු ජීවීන් මුහුද මතුපිට ආසන්නයට පැමිණීමට හැකියාව ඇති බව ය. මේ නිසා ආහාර හා අනෙකුත් සම්පත්වලට ඇති තරගය වැඩි විය හැක.

"එමගින් සමස්ත සාගර පරිසර පද්ධතියේ ම ප්‍රධාන වෙනස්කම් සිදුවිය හැකියි" මහාචාර්ය ස්මිත් පවසයි."

අධ්‍යයනය සිදු කළේ කෙසේ ද?

'Darkening of the global Ocean' යන අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ මුහුදේ පරිගණක ආකෘති සමග ආසන්න වශයෙන් දශක දෙකක ආසන්න චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කළහ.

ගෝලීය සාගරය පික්සල් කි.මී. 9 කොටස්වලට බෙදා වෙන් කරන NASAහි සාගරයේ වර්ණ වෙබ් දත්ත (NASA's Ocean Colour Web Data) මගින් සෑම පික්සල් එකක ම සාගර මතුපිටෙහි සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කිරීමට පර්යෙක්ෂකයින්ට හැකියාව ලබා දුන් අතර, මුහුදු ජලයේ ආලෝකය මැනීම සඳහා නිර්මාණය කරන ලද ඇල්ගොරිදමය සෑම ස්ථානයක ම ප්‍රකාශ කලාපයේ (photic zone) ගැඹුර ඇස්තමේන්තු කිරීමට යොදා ගැනිණි.

දවාලේ මෙන් ම රාත්‍රියේ ද ආලෝකයේ ඇති වෙනස්කම් මුහුදු ජීවීන්ට බලපාන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීමට සූර්ය හා චන්ද්‍ර කිරණවල ආකෘතීන් ද භාවිත කෙරිණි.

රාත්‍රි කාලයේ ආලෝක මට්ටම්වල වෙනස දහවල් කාලයට වඩා අඩු වූ නමුත් ඒවා තවදුරටත් පාරිසරිකව වැදගත් බව, අධ්‍යයනයෙන් සොයා ගැනිණි.