පැසිෆික් මුහුදෙන් සොයා ගැණුනු ලොව විශාලතම කොරල්පරය

    • Author, ජෝර්ජිනා රන්නාඩ්
    • Role, දේශගුණ වාර්තාකරු

මෙතෙක් වාර්තා වී ඇති විශාලතම කොරල්පරය නිරිතදිග පැසිෆික් සාගරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයින් විසින් සමත්ව තිබේ.

මෙම විශාල කොරල්පරය වසර 300 කට වඩා පැරණි විය හැකි අතර එය ගල්පරයකට වඩා එක් ජීවියෙකු ගෙන් සෑදෙන බොහෝ සම්බන්ධිත කුඩා ජීවීන්ගේ එකතුවක් වේ.

එය නිල් තල්මසෙකුට වඩා විශාල බව කණ්ඩායම පවසයි.

දේශගුණික විපර්යාස නිසා එය බලපෑමට ලක්ව ඇති ආකාරය බැලීමට පැසිෆික් සාගරයේ දුරස්ථ ප්‍රදේශවල සංචාරය කරන ජාතික භූගෝලීය නෞකාවක සේවය කරන වීඩියෝ ශිල්පියෙකු විසින් එය සොයා ගන්නා ලදී.

“නැවක් අනතුරකට ලක්වී ඇති බවට සිතියමේ සඳහන් තැනක කිමිදීමට ගිය වෙලාවේ මම දෙයක් දැක්කා,” මනු සැන් ෆීලික්ස් පැවසීය.

ඔහු ඔහුගේ කිමිදුම් සගයා මෙන්ම තම පුතා වන ඉනිගෝ ද කැඳවූ අතර, ඔවුන් එය පරීක්ෂා කිරීම සඳහා තවත් පහළට කිමිද ඇත.

සොලමන් දූපත් වල ඇති කොරල්පරය දැකීම "දිය යට ආසන දෙව්මැදුරක්" දැකීම වැනි යැයි ඔහු පැවසීය.

"ඒක හරිම හැඟුම්බරයි. අවුරුදු සිය ගණනක් එක තැනකට වෙලා ආරක්ෂිතව තිබ්බ මේ දේ ගැන මට ලොකු ගෞරවයක් දැනුණා," ඔහු පැවසීය.

"නැපෝලියන් ජීවත් වෙලා ඉද්දී මේක මෙහෙ තියෙන්න ඇති කියල මට හිතුණා" ඔහු තවදුරටත් පැවසීය.

ගවේෂණයේ යෙදී සිටි විද්‍යාඥයන් ජලය යට ටේප් මිනුමක් යොදා ගනිමින් කොරල්පරය මැන බැලූහ. එය පළල මීටර් 34 ක්, දිග මීටර් 32 ක් සහ උස මීටර් 5.5 කින් යුක්තය.

දේශගුණික විපර්යාස සමඟ සාගර උණුසුම ඉහළ යාම හමුවේ ගෝලීය වශයෙන් කොරල්පර දැඩි පීඩනයකට මුහුණ දී සිටී.

බොහෝ විට මුහුදේ "ගෘහ නිර්මාණ ශිල්පියෙකු" ලෙස විස්තර කර ඇති කොරල්පර එකට එකතු වීමෙන් මාළු සහ අනෙකුත් විශේෂ ජීවත් වන විශාල ගල්පර සෑදිය හැක.

ලෝක ආර්ථික සංසදයට අනුව සංචාරක ව්‍යාපාරයට හෝ මසුන් ඇල්ලීමට සහාය වීම ඇතුළුව බිලියනයක ජනතාවගේ ජීවනෝපාය සඳහා ද කොරල්පර ආධාර කරයි.

මෙම නිදර්ශකය ඇතැම් කොරල්පරවලට වඩා ගැඹුරු ජලයේ හමු වූ අතර, මේ හේතුවෙන් එය මුහුදු පෘෂ්ඨයේ ඉහළ උෂ්ණත්වයන්ගෙන් ආරක්ෂා වන්නට ඇත.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ප්‍රගතියක් අත්කර ගැනීමට උත්සාහ කරන අසර්බයිජානයේ බකු හි පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡාවටය වූ COP29 හිදී මෙම සොයාගැනීම ප්‍රකාශයට පත් කරන ලදී.

සොලමන් දූපතේ දේශගුණ අමාත්‍ය ට්‍රෙවර් මනේමහාගා, සමුළුවේදී බීබීසී පුවත් සේවයට පැවසුවේ අලුතින් සොයාගත් කොරල්පර ගැන තම ජාතිය ආඩම්බර වන බවයි.

“මෙය විශේෂ ස්ථානයක්, එය ආරක්ෂා කළ යුතු බවට ලෝකය දැන ගැනීම අත්‍යවශ්‍යයි,” ඔහු පැවසීය.

“ආර්ථිකයේ පැවැත්ම උදෙසා අපි වැඩිපුරම රඳා පවතින්නේ සාගර සම්පත් මතයි, එබැවින් කොරල්පර ඉතා ඉතා වැදගත් [...] අපගේ කොරල්පර සූරාකෑමට ලක් නොවන බවට වග බලා ගැනීම අපගේ ආර්ථිකයට ඉතා තීරණාත්මකයි”ඔහු පැවසීය.

සොලමන් දූපත් වැනි කුඩා දූපත් රාජ්‍යයන් දේශගුණික විපර්යාසවලට දැඩිව ගොදුරු වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් රටට ඇති වන බලපෑම් තමා මුලින්ම දුටු බවත්, ප්‍රබල සුළි කුණාටුවලට හේතුවක් මෙන්ම වෙරළ තීරය ඛාදනයන් නිසා නිවාස මුහුදට ගසා ගෙන යන බව ද අමාත්‍ය මනේමහග පැවසුවේ ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා නව උපාය මාර්ග සෙවීම සඳහා ධනවත් රටවලින් වැඩි මුදලක් ඉල්ලා සිටියි.

සොලමන් දූපත් සඳහා වැඩි මූල්‍ය ආධාර ප්‍රමාණයක් ලබා දීම රට තුළ විවිධාකාර රැකියා උත්පාදනය කිරීමට උපකාරී වනු ඇති බවත් එයින් අදහස් වන්නේ කොරල්පරවලට හානි කරන කර්මාන්තවල අඩු පිරිසක් ‍රැකියාවල නිරතවීම බවත් අමාත්‍ය මනමහග පැවසීය.

දැව කැපීම රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් වන අතර රටේ වාර්ෂික ආදායමෙන් 50-70% අපනයන ආදායම මගින් හිමිවේ. මේ හේතුවෙන් ජල දුෂණය ඉහළ යන අතර එමගින් කොරල්පර වලට ද හානි ඇති කරයි.

නැෂනල් ජියෝග්‍රැෆික් පර්යේෂණ චාරිකාවේ කොරල්පර විද්‍යාඥයෙකු වන එරික් බ්‍රවුන් පවසන්නේ කොරල්පරයේ සෞඛ්‍යය "හොඳින් ඇති බව" ඇති බව නිරීක්ෂණය වන බවයි.

"මුහුදු ජලයේ උණුසුම ඉහළ යා හැකි නිසා නොගැඹුරු ගල්පර අවශේෂ වී තිබෙනවා, තරමක් ගැඹුරු ජලයේ මෙම විශාල නිරෝගී කොරල් ක්ෂේම භූමිය දැකීමට ලැබීම බලාපොරොත්තුවේ ආලෝකයක්," ඔහු පැවසීය.

කොරල් යනු 'Pavona clavus' නම් විශේෂයක් වන අතර ඉස්සන්, කකුළුවන්, මාළු සහ අනෙකුත් සාගර ජීවීන් සඳහා නිවහන සපයයි.

කොරල්පරයේ වයස අතීතයේ සාගර තත්වයන්හි ඉතිහාසය ගැන අදහසක් ගැනීමට ක්‍රියාකරන කවුළුවක් ලෙස ක්‍රියා කරයි. එය වර්ධනය වී ඇති ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා කොරල්පරය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තුවෙන් පසුවෙයි.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට අනුව උණුසුම් ජලයේ ජීවත් වන කොරල්පරවලින් 44% ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව මේ සතියේ නිකුත් වූ වාර්තාවකින් හෙළි විය. එය අවසන් වරට 2008 දී කළ විශේෂ තක්සේරු කිරීමෙන් පසුව තුනෙන් එකක වැඩිවීමකි.