ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2024 වසර ඡායාරූපවලින්
මෙම වසරේ ලොව පුරා ප්රවෘත්ති ඒජන්සිවල ඡායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද ප්රබලතම ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා වෙත සංක්‍රමණිකයන් පැමිණීම වාර්තාගත ලෙස ඉහළ ගිය අතර, නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර එය ඔහුට දේශපාලනික වශයෙන් හිසරදයක් ඇති කළේ ය. දරිද්‍රතාවය, කල්ලි ප්රචණ්ඩත්වය, දේශපාලන මර්දනය සහ ස්වාභාවික විපත්වලින් මිදී පළා යන මධ්‍යම ඇමෙරිකානුවන් හේතුවෙන් එම සංඛ්‍යාව 2018 දී ඉහළ යාමට පටන් ගත්තේ ය.
එක්සත් ජනපද සංගීතඥ ඇලීෂියා කීස් 2024 සුපර් බෝල් තරගාවලිය අතර ලද කෙටි ඉසිඹුවක් අතරතුර ඉදිරිපත් කිරීමක් කළා ය. තමන් සැරසී සිටි රතු පැහැති වස්ත්‍රයේ පැහැයට සමාන රතු පැහැයක් ඇති පියානෝවක් වාදනය කරමින් ඇය ඇගේ ජනප්‍රිය ගීතයක් වන "If I Ain't Got You" ගීතය ගැයුවා ය. පසුව ඇය R&B තරුවක් වන අෂර් හා එක් වූයේ ඔවුන්ගේ 2004 යුගල ගීයක් වන "My Boo" ගායනා කිරීම සඳහා ය.
ඉන්දුනීසියානු ගලවාගැනීමේ නිලධාරීන් පිරිසක් විසින් අචේ වෙරළට ඔබ්බෙන් දිරාපත් වුණු නෞකා බඳක් මත පාවෙමින් සිටි රෝහින්ග්‍යා වැසියන් 69 දෙනෙකු අව්වේ පිළිස්සී විජලනය වී සිටියදී සොයා ගන්නා ලදී. එහිදී ළමුන් 9 දෙනෙකු, කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 42 දෙනෙකු මුදා ගත් බව එරට සෙවුම් සහ ගලවා ගැනීමේ ඒජන්සිය ප්‍රකාශ කළේ ය. තවත් 80 ක් පමණ ගසාගෙන ගොස් මිය ගිය බවට විශ්වාස කෙරේ.
මාර්තු මාසයේදී උතුරු යුරෝපය පුරා උතුරු එළි බොහොමයක් දැකගත හැකි විය. 2024 අවසානයේ හෝ 2025 මුලදී සූර්යයා වසර 11ක චක්‍රයේ උච්චතම අවස්ථාවට ළඟා වන බැවින් ඉදිරි වසර කිහිපය තුළ ද මේවා දර්ශනය වීමට වැඩි ඉඩක් තිබේ.
උතුරු ගාසා තීරයට ඉහළින් මානුෂීය ආධාර පාර්සල් හෙළන විට මිනිසුන් වේගයෙන් ඒවා ලබා ගැනීමට දිව යන ආකාරය මෙහි දැක්වේ. දෙවන ලෝක සංග්‍රාමයේදී හුදකලා වූ භට පිරිස් වෙත සැපයුම් ලබා දීම සඳහා මුල් වරට භාවිත කරන ලද මෙම ක්‍රමවේදය එතැන් සිට මානුෂීය ආධාර සැපයීමේ තීරණාත්මක ක්‍රමයක් බවට පරිවර්තනය වී ඇති අතර, එය භාවිත කරන්නේ අනෙකුත් සියලු ම, වඩා ත් ඵලදායී විසඳුම් අවසන් වූ විටදී ය.
තායිවානය වසර 25කට පසු එරට සිදු වූ ප්රබලතම භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ අතර, එය මැග්නිටියුඩ් 7.4ක් ලෙස සටහන් විය. විශේෂයෙන් එමගින් දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට හානි සිදු විය.
පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වූ අප්‍රේල් මාසයේදී වොෂින්ටන් ඩීසීහි වොෂින්ටන් ස්මාරකයට ඉහළින් සූර්යයා දිස්වූ අයුරු මෙහි දැක්වේ. උතුරු ඇමෙරිකාව පුරා සිටි මිලියන සංඛ්‍යාත ජනතාවක් එය නැරඹූහ.
සුඩානයේ ගැටුම් හේතුවෙන් මිලියන 10කට වැඩි පිරිසකට තම නිවෙස් හැර යාමට සිදු වූ ඇති අතර එලෙස අසල්වැසි චැඩ් රාජ්‍ය වෙත සරණාගතයින් ලෙස පැමිණෙන අයගෙන් ඉහළ ප්‍රතිශතයක් කාන්තාවෝ සහ දරුවෝ වූහ. 2023 අප්‍රේල් මාසයේදී එහි හමුදාව සහ බලවත් පැරාමිලිටරි කණ්ඩායමක් බලය සඳහා දරුණු අරගලයක් ආරම්භ කළ විට සුඩානය අවුල් සහගත තත්ත්වයකට පත් විය.
දකුණු අප්‍රිකාවේ, සුදු-සුළුතර පාලනයට එරෙහි අරගලයට නායකත්වය දුන් සහ දශක තුනක් පුරා ආධිපත්‍යය දැරූ ANC පක්ෂයට මැයි මස පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තු බහුතරය අහිමි විය.
පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති රැලියක් අතරතුර අසල ගොඩනැගිල්ලක වහලයේ සිට තුවක්කුකරුවෙකු වෙඩි තැබීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් වේදිකාවෙන් කඩිනමින් ඉවත් කරන අයුරු මෙහි දැක්වේ. වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමග රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා එකවර පහත් වුණු ඔහුගේ මුහුණ දෙපස ලේ තැවරී තිබෙනු දක්නට ලැබිණි.
2024 ඔලිම්පික් උළෙල පැරිසියේදී දර්ශනීය ලෙස ආරම්භ කෙරුණු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් සේන් නදිය දිගේ යාත්‍රා කළේ පාලම්, ඉවුරු සහ වහල මත කලා ශිල්පීන් සජීවී ලෙස දස්කම් දක්වන අතරතුර ය.
පැරිස් ඔලිම්පික් උළෙලේ දී බ්‍රසීලියානු සර්ෆින් ක්‍රීඩික ගේබ්‍රියෙල් මෙඩීනාගේ මෙම අද්විතීය ඡායාරූපය ලොව පුරා අවධානය දිනා ගත්තේ ය. මෙම සර්ෆින් ක්‍රීඩකයා එදින ජලයට පිවිසි පසු වයිරල් විය හැකි ඡායාරූපයක් ගැනීමේ විශේෂ අවස්ථාවක් තමාට හිමිවන බව ප්‍රංශ ඡායාරූප ශිල්පී ජෙරොම් බුහූයේ දැන සිටියේ ය.
හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනයේ සයිඩන් නගරයේ විරෝධතාකරුවෝ විරෝධතාවයක නිරත වූහ. ගාසා තීරය පාලනය කරන මෙම පලස්තීන කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ හනියේ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වීමට ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි සිටි අවස්ථාවේ ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරකින් මිය ගිය බව ය.
ජූලි මාසයේදී ඇති වූ කැලිෆෝනියාවේ ලැව් ගින්නනෙන් වර්ග කිලෝමීටර් 1,500කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් දැවී ගිය අතර, ගොඩනැගිලි විශාල ගණනක් විනාශ වී ගොස් දහස් ගණනකට ඔවුන්ගේ නිවෙස් හැර යාමට සිදු වූහ. ගිනිගෙන දැවෙන මෝටර් රථයක් මිටියාවතකට තල්ලු කර මෙම ගින්න ඇවිලවූ බව කියන පුද්ගලයෙකුට ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
ජූලි මාසයේදී රුසියාව යුක්රේනය පුරා නගර වෙත එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවෙන් කියෙව්හි ළමා රෝහලකට ද හානි සිදු විය. යුක්රේනයේ විශාලතම ළමා රෝග රෝහල වන ඕමට්ඩිට් ළමා රෝහලට එමගින් විශාල හානියක් සිදු වූ අතර දෙදෙනෙක් මියහ.
ජිසෙල් පෙලිකොට් ඇයව දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ඇය වසර 50 ක් විවාහ වී සිටි පුද්ගලයා ද ඇතුළුව 51 දෙනෙකුට එරෙහිව මාස ගණනක් නඩු කීවා ය. නිර්නාමිකව සිටීමට ඇති හිමිකම අත්හල ඇය විත්තිකරුවන්ගේ අපරාධ පිළිබඳ තොරතුරු ගුවන්විදුලි, ප්රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ ජාල තුළ පිරී ඉතිරී යන විට ධෛර්යයේ සහ ශක්ති සම්පන්න බවේ සංකේතයක් බවට පත් විය.
ඊශ්‍රායල-හමාස් ගැටුම මධ්‍යයේ, අවතැන් වූ පලස්තීනුවන් හානියට පත් මෝටර් රථයක් තුළට වී, ඊශ්‍රායල ඉවත් කිරීමේ නියෝගයකින් පසු ඛාන් යුනිස්ගී නැගෙනහිර ප්‍රදේශයෙන් පළා යන ආකාරය මෙහි දැක්වේ. ගැටුම ආරම්භ වී වසරකට පසුව, ඊශ්‍රායල හමුදාව විසින් ඔක්තෝබර් මාසයේදී උතුරු ගාසා තීරයෙන් ඉවත්වන ලෙස සිවිල් වැසියන්ට උපදෙස් නිකුත් කරන ලද අතර, ඉන් ලක්ෂ සංඛ්‍යාත ගාසා වැසියන්ට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට යාමට බල කෙරිණි. එහෙත් ගාසා තීරයේ කිසි ම තැනක් සිවිල් වැසියන්ට ආරක්ෂිත නොවන බවට අනතුරු ඇඟවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ආධාර සංවිධානවලට මග පාදමින් දකුණු ප්‍රදේශය ද අඛණ්ඩව ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට ලක් විය.
ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක උපජනාධිපති කමලා හැරිස් ලාස් වේගාස්හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එයාර් ෆෝස් ටූ වෙත ගොඩවීමට පෙර වාර්තාකරුවන් ඇමතීමට මදකට නතර වුණු අවස්ථාව මෙහි දැක්වේ. ඇය ප්‍රධාන සටන් බිමක් වූ ලාස් වේගාස් සහ හූවර් වේල්ල සඳහා ප්‍රසිද්ධ නෙවාඩා වෙත පැමිණෙමින් සිටියා ය. 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී මෙම දෝලනය වන ප්‍රාන්තය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය.
ප්‍රජාවන්ට විනාශයක් ගෙන ආ ස්පාඤ්ඤයේ නැගෙනහිර ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මිය ගියහ. හදිසි ගංවතුර හේතුවෙන් ගොඩනැගිලි ගසාගෙන ගොස් පාලම් විනාශ වී වීදි සුන්බුන්වලින් පිරී ගියේ වසරක පමණ වර්ෂාපතනයක් පැය කිහිපයකින් ඇද හැළුණු බැවිනි.
මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාව දෙසට ගමන් කරමින් පැවති අතරතුර එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ කර ඇති ඩ්‍රැගන් එන්ඩෙවර් මගින් විස්මිත ලෙස ඡායාරූපගත කළ අයුරු මෙහි දැක්වේ. කුණාටුව ගොඩබිමට ඇතුළු වූ විට, එය පැයට කිලෝමීටර 205ක පමණ වේගයකට ළඟා වෙමින් ප්‍රාන්තය පුරා හමා ගියේ විශාල විනාශයක් ඇති කරමිනි.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ඉල්ලා අස්විය යුතු බව පවසමින් එරට ජනතාව ඉටිපන්දම් සහ විවිධ පාඨ ලියූ පුවරු අතැතිව රැස්ව සිටි අයුරු මෙහි දැක්වේ. රට තුළ අධිකාරීවාදයට ගැඹුරින් සම්බන්ධ වූ පියවරක් වන මිලිටරි පාලනය පිළිබඳ ඔහුගේ ප්‍රකාශය පුළුල්ව පැතිර ගිය කම්පනයකට හා කෝපයකට හේතු විය.
ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හයාත් තරිර් අල්-ෂාම් (HTS) සහ ඔවුන්ගේ මිත්‍ර කැරලිකාර කණ්ඩායම් වයඹ දෙසින් සිය කඳවුරේ සිට දියත් කළ ප්‍රබල ප්‍රහාරයත් සමග වසර 50කට වැඩි කාලයකට පසු සිරියාවේ පැවති අසාද් පවුල් පාලනය අවසන් විය. කැරලිකරුවන් ඉක්මනින් ම රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ අල්ලා ගත් අතර, හමුදාව බිඳවැටී බෂාර් අල්-අසාද් මොස්කව් වෙත පළා යන අවස්ථාවේ, ඩැමස්කස් අගනුවර අල්ලා ගැනීම සඳහා අධිවේගී මාර්ගය ඔස්සේ දකුණු දෙසට ගමන් කළේ ය.