ජනපති අනුර කුමාර දිසානායකගේ මාලදිවයින් සංචාරයේ අරමුණු මොනවා ද?

    • Author, බීබීසී සිංහල

හැට වසරකට ආසන්න ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍ය සබඳතා ශක්තිමත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින්හි තෙදින නිල සංචාරයක නිරත වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා ජූලි 28 සිට ජූලි 30 දක්වා මෙම සංචාරයේ නිරත වන බව ය.

මාලදිවයින්හි වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ජාතික ආරක්ෂක බළකායේ උත්තමාචාර මධ්‍යයේ මහත් හරසරින් පිළිගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන් ම මෙරට ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 28) පස්වරුවේ මාලදිවයින් අගනුවර වන මාලේ ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අවබෝධතා ගිවිසුම් කිහිපයක්?

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

එමෙන් ම, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

එහෙත්, හුවමාරු කරගන්නා අවබෝධතා ගිවිසුම් මොනවා දැයි එම නිවේදනයේ සඳහන් කර නැත.

මාලදිවයින්හි, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසද හමුව ඇමතීමට සහ මාලදිවයින්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ඡ්‍යෙෂ්ඨය නිලධාරින් පිරිසක් එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර පැවති සබඳතා

ඉන්දියන් සාගරයේ දූපත් රාජ්‍යයන් දෙකක් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර රාජ්‍යතාන්ත්‍රික නිල සබඳතා 1965 වසරේ ජූලි මාසයේ සිට ආරම්භ වූ බව කියැවේ.

මාලදිවයින් රාජ්‍යය නිදහස ලැබුවේ, 1965 වසරේදී වන අතර එතැන් පටන් දෙරට අතර සබඳතා ගොඩනැගී තිබේ.

මේ වසරේ, ජූලි මාසය වන විට දෙරට අතර සබඳතාවට වසර 60ක් සම්පූර්ණ වේ.

මාලදිවයින් ගිය ඉන්දීය අගමැති

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මාලදිවයින්හි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් එරට දෙදින නිල සංචාරයක නිරත විය.

එහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ණය ආපසු ගෙවීම, ධීවර කටයුතු, ඩිජිටල් පරිවර්තනය සහ UPI ඒකාබද්ධ ගෙවීම් ක්‍රමය, ඖෂධවේදය ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ගිවිසුම් ගතවීම සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.