ඉන්ධන මිල සංශෝධනය: පරස්පර කතා මැද 'මිල ඉහළ දැමුවේ IMF සිව්වන වාරිකය ලබා ගැනීමට ද'?

    • Author, බීබීසී සිංහල

මිල සූත්‍රය අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුව ද ජූනි 30 වන දා සිදු කළ මිල සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙතින් විවේචන එල්ල වෙමින් පවතී.

ඒ, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මීට සති දෙකකට පමණදී ඉහත ඉරාන-ඊශ්‍රායල ගැටුම් උත්සන්න වූ කාල පරිච්ඡේදයේ ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයත් සමග ය.

වෘත්තිය සමිති නායකයින් චෝදනා කළේ, රට තුළ "මාස දෙකහමාරක" කාලයක් සඳහා ඉන්ධන සංචිත පවතින්නේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ පසුබිමක ජූලි මාසය සඳහා ඉන්ධන මිල ඉහළ දැමීම අනුමත කළ නොහැකි බව ය.

"මේ රැවටිලිකාර, බොරුකාර, පොරොන්දු කඩ කරන, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලා කරලා," යැයි නව ඉන්ධන මිල පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා චෝදනා කළේ ය.

කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු රූපවාහිනී වැඩසටහනකදී කැබිනට් ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයට පරස්පර අදහසක් පළ කිරීමත් සමග ඉන්ධන මිල ගැටලුව තවත් ඔඩු දුවා තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විමසා බැලීය.

ඉන්ධන මිල සංශෝධනය සිදුවුණු ආකාරය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජූනි 30 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 12කින් ඉහළ දමන බව ය. ඒ අනුව, එහි නව මිල රු. 305ක් දක්වා ඉහළ ගියේ ය.. සංශෝධනයට පෙර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි වූයේ රු. 293කට ය.

එමෙන් ම, භූමිතෙල් ලීටරයක මිල ද රු. 7කින් ඉහළ දැමූ අතර එහි නව මිල රු. 185ක් දක්වා ඉහළ ගියේ ය. ඊට අමතරව සුදු ඩීසල් මිල ද රු. 15කින් ඉහළ දැමූ අතර එහි නව මිල රු. 289ක් දක්වා ඉහළ ගියේ ය.

කෙසේ වෙතත්, සුපිරි ඩීසල් මිල සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනයක් මෙවර සිදු නොවිණි.

මේ කරන්නේ සිව්වන වාරිකය ලබා ගැනීම සඳහා IMF කොන්දේසිය ක්‍රියාත්මක කිරීමක් ද? - විපක්ෂ නායක

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රශ්න කළේ, ඉන්ධන මිල ඉහළ දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබා ගැනීම සඳහා එහි කොන්දේසි ක්‍රියාත්මක කිරීමක් ද? යනුවෙනි.

ඔහු චෝදනා කළේ, ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි වත්මන් රජය එය පදනම් කර ගනිමින් ම මිල සංශෝධන සිදු කරන බව ය.

"මේ රැවටිලිකාර, බොරුකාර, පොරොන්දු කඩ කරන, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලා කරලා.

"දැන් ඊයේ දිනයේ හිටිහැටියේ ම තෙල් මිල ඉහළ දැම්මා. මේ තෙල් මිල ඉහළ දැමූ වත්මන් රජය පසුගිය මැතිවරණවලදී කිව්වේ පවතින තෙල් මිල සූත්‍රය වෙනස් කරනවා කියලා.

"එපමණක් නොවෙයි, පහුගිය මැතිවරණ සමයේ ප්‍රකාශ කළා වරායේ ගොඩබාන මිලට ම තෙල් ටික පාරිභෝගික ජනතාවට ලබා දෙනවා කියලා. වරායේ ගොඩබාන විට එක මිලක් සහ ජනතාවට ලබා දෙනකොට තවත් මිලක් බවත් ඒකට හේතුව දූෂණය, වංචාව, හොරකම, ඒ වගේ ම ඇමතිවරුන්ට, නිලධාරීන්ගේ සාක්කුවලට කොමිස් මුදල් යාම.

"ඒ ඔක්කොම නතර කරනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි තෙල් මත පටවන බදු ටික ඉවත් කරනවා කිව්වා. එහෙම කියලා රටේ ජනතාවට බලාපොරොත්තුවක් දුන්නා වරායේ ගොඩබාන මිලට ම පාරිභෝගික ජනතාවට දෙනවා කියලා,

"මොකක් ද මේ සූත්‍රය? මොන පදනමක් මත ද තෙල් මිල ඉහළ දමන්නේ. ඔබ එතනදිත් කරලා තියෙන්නේ ජනතාවට බොරුවක්," යැයි විපක්ෂ නායකවරයා චෝදනා කළේ ය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය (ජූලි 1 වැනිදා) සම්පූර්ණ කරනු ලැබ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට විදේශීය ගැනුම් හිමිකම් (SDR) මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස සති දෙකකට පෙර සිදු කළ ප්‍රකාශය

මීට සති දෙකකට පෙර, එනම් ජූනි 17 වන දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව සඳහන් කළේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් තෙල් හිඟයක් මතු වීමේ අවදානමක් ඇතැයි සමාජ මාධ්‍යවල පළ වී ඇති වාර්තා උපුටා දක්වමිනි.

එහිදී ඔහු අවධාරණය කළේ, බිය වීමට අවශ්‍ය නැති බව ත් රට තුළ මාස දෙකහමාරක් සඳහා ඉන්ධන සංචිත පවතින බව ත් ය.

"විශේෂයෙන් ම මේ සමාජ මාධ්‍යවල සංසරණය වූ ප්‍රවෘත්තියක් නිසා සමහර ප්‍රදේශවල ජනතාව කලබල වෙලා, අනවශ්‍ය විදිහට තෙල් පෝලිම්වල රැඳෙන්න පටන් අරගෙන තියෙනවා.

"බලශක්ති අමාත්‍යංශයත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් මේ වන විට පැහැදිලිව ම ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඉදිරි මාස දෙකහමාර සඳහා අවශ්‍ය කරන තෙල් තොග සංචිත රට තුළ පවතිනවා. ඒ නිසා කිසිවෙකුට බිය විය යුතු නැහැ දැනටමත් ඒ තෙල් තොග ගබඩා අප සතුව පවතිනවා මාස දෙකහමාරක් සඳහා," අමාත්‍යවරයා පැවසීය.

එහිදී ඔහු ඒ වන විට පැවති ඉන්ධන සංචිත ප්‍රමාණය ගැන සහ ඉන්ධන ඇණවුම් පිළිබඳව ද සඳහන් කළේ ය.

"බොර තෙල් මෙට්‍රික්ටොන් 160,000ක් ගබඩා කරලා තියෙනවා. මේ මස අග වන විට ඒ කියන්නේ තව සති දෙකකින් තවත් මෙට්‍රික්ටොන් 90,000ක් ලැබීමට නියමිතයි. දිගුකාලීන ගිවිසුම් යටතේ තවත් බොරතෙල් නැව් 4ක් ඇනවුම් කරලා තිබෙන්නේ.

ඊළඟට ඔක්ටේන් 92 මෙට්‍රික්ටොන් 246,200ක්, ඔක්ටේන් 95 මෙට්‍රික්ටොන් 5,000ක්, ලංකා ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 193,250ක්, ලංකා සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 10,500ක් ලෙස ඇනවුම් ලැබෙමින් පවතිනවා.

එතකොට මේ පවතින තෙල් තොගය මාස දෙකහමාරකට ප්‍රමාණවත් වන අතරේ ඉදිරි කාලය තුළ මේ ඇනවුම් ලැබෙන්නට නියමිතයි. ඒ නිසා කිසිවෙක් බිය විය යුතු නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.

'මාස දෙකක තෙල් ගබඩා කරන්න ලංකාවේ එහෙම ටැංකි නැහැ' - මහින්ද ජයසිංහ

කෙසේ වෙතත්, ඊට පරස්පර අදහසක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ජූලි 1 වන දා රූපවාහිනී වැඩසටහනකදී පැවසීය.

මාස දෙකක කාලයක සඳහා ඉන්ධන ගබඩා කිරීමට ශ්‍රී ලංකාවට පහසුකම් නොමැති බව එහිදී ඔහු ප්‍රකාශ කළේ ය.

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉන්ධන සංචිත සම්බන්ධයෙන් නොව ඉන්ධන ඇනවුම් සම්බන්ධයෙන් යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම වැඩසටහනේදී පැවසීය.

"ඊළඟ මේ මාස දෙකේ කතාව. අපි කිව්වේ නැහැ... මාස දෙකක තෙල් ගබඩා කරන්න ලංකාවේ එහෙම ටැංකි නැහැ. එක්කෝ ඒ ටැංකි යාවත්කාලීන කරලා නැහැ. එතකොට තෙල් ණය යාවත්කාලීන කරලා නැහැ. අපි ඉදිරියේදී ඒවා ක්‍රමානුකූලව සකස් කරමින් යනවා. යම් ප්‍රමාණයක් තෙල් තියෙන අතරේ, ඉතිරි තෙල් ටික අපි ඇනවුම් කරලා තියෙනවා.

"ඇනවුම් කරලා සහතික කරලා තියෙනවා කියලා තමයි අපි මේ සඳහන් කළේ. මාස දෙකකට ඇනවුම් කරලා සහතික කරලා තියෙනවා. ඒ නිසා කිසි කෙනෙක් මාස දෙකක් යනතුරු බය වෙන්න ඕනේ නැහැ කියලා තමයි අපි කිව්වේ. එහෙම නැත්නම් තෙල් ගබඩා කරන් ඉන්නවා කියන එක නෙවෙයි," ඔහු සඳහන් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, යුද්ධය නිසා තෙල් මිල ඉහළ යාම හේතුවෙන් "එක් ඩීසල් නැවක් ඒ මිලට මිල දී ගැනීමට සිදුවූ," බව ය.

'මම නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක... තෙල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව දන්නේ තෙල් සංස්ථාව' - නලින්ද ජයතිස්ස

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඉන්ධන සංචිත පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 2 පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළේ ය.

"දැන් මම නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. මම රජය නියෝජනය කරමින් මෙතන කියනවා... තෙල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථාවේ සභාපතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලත්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලත් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළා.

"තෙල් සංස්ථාව භාර අමාත්‍යවරයා විදිහට කුමාර ජයකොඩි මේ ගැන ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී. රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට මම මෙතනදී කිව්වා. අපට ඔබ අසන මොහොතේදී මාස දෙකකට ආසන්න තෙල් සංචිත තිබුණා. ඒකෙ ඒ වෙලාවේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තවත් මාස දෙකකට පමණ ඇති වෙන්න තෙල් තිබෙනවා, ප්‍රමාණවත් තෙල් තොග. ඒ ගැන අපි සහතික කරලා කියනවා," ඔහු පැවසීය.

ඉන්ධන මිල වැඩි කළේ කුමන පදනමකින් ද?

ජූලි 2 වන දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්ධන මිල වැඩි කළ පදනම පිළිබඳව ද කැබිනට් ප්‍රකාශ නලින්ද ජයතිස්ස කරුණු දැක්වීය.

ඔහු පෙන්වා දුන්නේ, මාසයක් අවසානයේ ඉන්ධන මිල පිළිබඳව තීරණය කරන්නේ ඊට අසන්න මාසයේ ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන්වල සාමාන්‍යය ගණනය කිරීමෙන් බව ය.

"ජූලි මාසය සඳහා ජූනි 30 වන දාට තෙල් මිල තීන්දු කරන්නේ ආසන්න මාසය වන ජූනි මාසයේ තෙල් මිලේ සාමාන්‍යය ගණනය කරලා. මැයි මාසයේ ගෙනාව තෙල්වලට නෙවෙයි ගණන් හැදීම කරන්නේ. අප්‍රේල් මාසයේ තෙල් ගෙනැල්ලා ඉතුරු උණා නම් ඒකට නෙමෙයි ගණන් හදන්නේ. ජූනි මාසයේ තෙල් මිල සාමාන්‍යය මත පදනම් වෙලා ජූනි 30 වන දාට ගණන් හදලා ඉදිරිපත් කරන්නේ මිල සූත්‍රයේ ජූලි මාසය සඳහා," ඔහු පැහැදිලි කළේ ය.

"ඒ අනුව, ඔබ දන්නවා ජූනි මාසයේ මුල සිට තෙල්වල යම් වැඩි වීමක් තිබුණා, විශේෂයෙන් අවසාන සති දෙකේදී, අපි ගෙනාව තෙල්වල යම් වැඩි වීමක් තිබුණා. ඒ අනුවයි, ඒ මිල සූත්‍රයට ගලපලා තියෙන්නේ. අපි සූත්‍රයක් මත පදනම් වෙලා යනකොට ඒ සිදුවන උච්චාවචනයන්, විචලනයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ අනුව සාධාරණයි ජූනි මාසයේ තෙල් වැඩි වීමක් වෙලා තිබෙන නිසා සාමාන්‍යය වැඩි වෙච්ච නිසා ජූනි 30 කියනකොට ජූලි මාසයට ඒකෙ යම් වැඩිවීමක් වුණා," ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනතාවට සාධාරණයක් කිරීම, තෙල් සංස්ථාවේ ණය අර්බුදය සහ ඉකුත් පාලන සමයේ ඉන්ධන මිල දී ගැනීමේදී සිදුවුණු අක්‍රමිකතා කළමනාකරණය කිරීමට ඇති සාධාරණ ක්‍රමය පවතින මිල සූත්‍රය බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

"දැනට අපිට ජනතාවට සාධාරණයක් කරන්න පුළුවන් සහ තෙල් සංස්ථාව වෙලා තියෙන ණය ගෙවන්න පුළුවන්, පහුගිය කාලයේදී තෙල් මිල දී ගැනීමේදී සිදුවුණු අක්‍රමිකතාවන් දැනුත් අපි වන්දි ගෙවමින් ඉන්නේ. ඒ සියල්ල කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ තියෙන සාධාරණ ක්‍රමවේදය තමයි මේ පවතින මිල සූත්‍රය.

"මීට වඩා සාධාරණයක් ජනතාවට කරන්න පුළුවන් තෙල් සංස්ථාවට ණය ගෙවන්න තිබ්බේ නැත්නම් සහ පහුගිය කාලයේ එහෙම වංචා සිද්ධ වෙලා තිබ්බේ නැත්නම්. මොක ද පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නේ නැහැ, පාඩුව ඉස්සරහට එනවා. ඒවත් ගණන් හදමින් තමයි ජනතාව මත අවම වශයෙන් බර පටවමින් මේ ගමන අපි ගමන් කරමින් ඉන්නේ," ඔහු වැඩිදුරටත් පැවසීය.

'කංචන ගසා කනවා කියපු සූත්‍රය තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නෙත්' - ආනන්ද පාලිත

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුකරු ආනන්ද පාලිත බීබීසී සිංහල වෙත පැවසුවේ, ඉකුත් රජයේ බලශක්ති ඇමතිවරයා "ගසා කෑමට" භාවිත කළ ඉන්ධන මිල සූත්‍රය ම මෙම ආණ්ඩුව ද යොදා ගන්නා බව ය.

"ගසා කන සූත්‍රයට කංචන හොරකම් කෙරුවා කියලා කිව්වේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව කිව්වා මේ ගසා කන සූත්‍රයේ බදු ඉවත් කරනවා කියලා. දැන් මේ සභාපතිවරයා [ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ] කියනවා, ඒ ගසා කනවා කියපු සූත්‍රයේ ම ඉඳගෙන, ඒ කංචන ගත්ත සමාගම්වලින් ම ඉන්ධන අරගෙන කියනවා එක නැවක තෙල් මිල වැඩි වුණ හින්දා සමස්ත තෙල් මිල වැඩි කළා කියලා. පෙට්‍රල් නැවක් නෙවෙයි නේ ඇවිල්ලා තියෙන්නේ. ඩීසල් නේ.

ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයා පළ කළ අදහස් පිළිබඳව ද එහිදී වෘත්තීය සමිති නායකයා අදහස් දැක්වීය.

"යුද්ධයක් හින්දා වැඩි වෙන කොට අඩු මිලට දෙන්නයි මේ ආණ්ඩුව තොග තියා ගන්න ඕනේ. මේ ආණ්ඩුව කිව්වා, ත්‍රිකුණාමලයේ අපට සම්පතක් තියෙනවා, තෙල් ටැංකි 99ක් තියෙනවා, ඒ තෙල් ටැංකිවල ගබඩා කර ගත්තොත් ලෝකයේ අඩු වෙනකොට අපි ගබඩා කර ගෙන, වැඩි වෙනකොට රටේ ජනතාවට අඩු මිලට දෙන්න පුළුවන්, විදේශීය රටවලට විකුණලා ඩොලර් පවා ගන්න පුළුවන් කිව්වා. ආණ්ඩුවක් තමයි අඩු මිලට තෙල් තියාගෙන, නැව පෙන්නලා සමස්ත තෙල් වැඩි කළේ.

"දැන් පේනවනේ ගසා කෑම. මේ බොරුවෙන් ජනතාවගේ ජීවත් වීමේ අයිතියයි උදුරා ගන්නේ. ඉන්ධනවලින් ගසා කෑම නවත්වන්න මේ ආණ්ඩුව ආවේ. අද මාස 9ක් තුළදී ඔප්පු කළා මේ ආණ්ඩුව ගිය ආණ්ඩුවටත් එහා දූෂිත ආණ්ඩුවක් කියලා," ඔහු වැඩිදුරටත් පැවසීය.