ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයට එරෙහි ඇමෙරිකාවේ ප්‍රහාර: ඉරානයට පක්ෂ සහ විපක්ෂ රටවල් මොනවා ද?
- Author, Newsdesk
- Role, බීබීසී පර්සියානු සේවය
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරමින්, ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුමට මැදිහත් වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසි පියවරක් ගෙන තිබේ.
මෙය යුද්ධයේ හදිසි තීව්‍රවීමක් වන අතර, එම සිද්ධියෙන් දින දහයකට පෙර ඉරානයට එල්ල කළ ඊශ්‍රායලයේ මුල් ගුවන් ප්‍රහාර හෙළා දුටු හෝ සහය දුන් ලොව පුරා රජයන්ගේ ආකල්ප දැඩි විය හැකි ය.
එහෙත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ලෝකයේ ආණ්ඩුවල ස්ථාවරය සහ ඊශ්‍රායලයට සහය දක්වන්නේ කවුද? එක්සත් ජනපද ක්‍රියාමාර්ගයට සහය දක්වන්නේ කවුද? සහ මෙහිදී තීරණාත්මක විය හැක්කේ කුමන රටවල් ද?
ඇමෙරිකානු ප්‍රහාරවලට පෙර සහ නවතම ගැටුම් උත්සන්න වීමට හේතු වූ ජූනි 13 වන දින ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාමාර්ගයෙන් පසුව, කිසිදු රටක් දෙපාර්ශ්වයට ම ඍජු මිලිටරි සහය ලබා දෙන බවට පොරොන්දු වී නොතිබිණි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරවලට ජාත්‍යන්තරව ලැබුණු ප්‍රතිචාරවලින්, ගෝලීය වශයෙන් තත්ත්වය වේගයෙන් නරක අතට හැරීමේ විභවය පිළිබඳව අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් X සමාජ මාධ්‍යය ඔස්සේ පැවසුවේ, "ඉරානයට එරෙහිව එක්සත් ජනපදය බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින" බව ය. එය "දැනටමත් යුද්ධයක් අබියස සිටින කලාපයක භයානක උත්සන්න වීමක් - සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ඍජු තර්ජනයක්" බව ගුටරෙස් සඳහන් කළේ ය.
"සිවිල් වැසියන්ට, කලාපයට සහ ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සමගින් මේ ගැටුම පාලනයෙන් තොරවීමේ අවදානමක් කරා වේගයෙන් ගමන් කරමින් තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
පසුගිය සතියේ අගභාගයේදී, යුරෝපීය විදේශ ඇමතිවරු ඉරාන විදේශ ඇමතිවරයා හමුවී, නව න්‍යෂ්ටික ගිවිසුමක් සාකච්ඡා කිරීමට ටෙහෙරානයේ සූදානම පරීක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවූහ.
කෙසේ වෙතත්, ඉරානය පවසා තිබුණේ ප්‍රහාර නතර කරන තුරු සාකච්ඡා කිරීමට සූදානම් නැති බව ය.
අසල්වැසි සහ කලාපීය රටවල්: යුද්ධය දරුණු වේදැයි බියෙන්
ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉක්බිතිව, කලාපය පුරා රටවල් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර, ඇතැම් රටවල්, ඉරානයට සහයෝගය පළ කර තිබේ.
ඉරානයට එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාරවලින් පසුව, ඉරාකය සිය "ගැඹුරු කනස්සල්ල සහ හෙළා දැකීම" ප්‍රකාශ කළ අතර, මෙම උත්සන්න වීම කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට බරපතළ තර්ජනයක් වනු ඇති බවට අනතුරු ඇඟවීය.
ජූනි 13 වන දින ඊශ්‍රායල් ප්‍රහාරවලින් පසු ඉරාකය ඉරානයට විවෘතව සහය දැක්වූ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දුටුවේ ය.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාර පුළුල් ගැටුමක අවදානම වැඩි කර ඇති බවත්, සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව කනස්සල්ල පළ කරන බවත් තුර්කි විදේශ අමාත්‍යාංශය පැවසීය.
"වර්තමානයේ සිදුවන වර්ධනයන් නිසා කලාපීය ගැටුම ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මෙම ව්‍යසනකාරී තත්ත්වය සැබෑවක් වෙන්න ඉඩ දෙන්න අපට අවශ්‍ය නැහැ," තුර්කි විදේශ අමාත්‍යාංශය පැවසීය.
තුර්කි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය - ඇතැම් විට කලාපයේ ස්ථායීතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා රටක් ලෙස එරට අපේක්ෂිත භූමිකාව පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, තුර්කිය "හෙළා දැකීම" යන වචනය භාවිත කිරීමෙන් වැළකී සිටියේ ය.
කෙසේ වෙතත්, මෙය ජූනි 13 වන දින ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයට තුර්කි ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරයට වඩා කැපී පෙනෙන ලෙස වෙනස් ය.
However, this is in marked contrast to the Turkish president response to Israel's attack on Iran on 13 June.
ඒ අවස්ථාවේදී ජනාධිපති රිසෙප් තායිප් එර්දෝවන් පවසා තිබුණේ, ඉරානය ඊශ්‍රායලයේ නීති විරෝධී සහ "උමතු" ප්‍රහාරවලට සහ ඔහු "රාජ්‍ය ත්‍රස්තවාදය" ලෙස විස්තර කළ දෙයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගන්නා බවයි.
ඉරානයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ස්වාභාවික සහ නීත්‍යනුකූල බව ඔහු තවදුරටත් පැවසීය.
ඇමෙරිකාවේ ප්‍රධාන හිතවාදියෙකු සහ න්‍යෂ්ටික අවි ඇති එක ම මුස්ලිම් රට වන පකිස්ථානය පැවසුවේ, එක්සත් ජනපද ප්‍රහාර "ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් උල්ලංඝණය කරන" බව ය.
"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක්" ඉරානයට ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකානු ප්‍රහාර එල්ල කිරීමට පෙර, පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙසේ පැවසීය: "මෙම යුද්ධ පිටියේ සීමාවන් කොතැනින් අවසන් වේ දැයි කියන්න බැහැ."
එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත, ඊශ්‍රායලය දෙසට යොමු වූ ඉරාන මිසයිල කිහිපයක් ජෝර්දානය තම භූමියේදී නතර කළේ ය.
කෙසේ වෙතත්, ජෝර්දානයේ අබ්දුල්ලා රජු මීට පෙර යුරෝපීය පාර්ලිමේන්තුව අමතමින් අනතුරු ඇඟවූයේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ "ප්‍රහාර" "කලාපයේ සහ ඉන් ඔබ්බට" ආතතීන් භයානක ලෙස උත්සන්න කිරීමට තර්ජනයක් වනු ඇති බව ය.
ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් රජය ඇමෙරිකානු ප්‍රහාර පිළිබඳව වහා අදහස් දැක්වූයේ නැත. එහෙත්, මීට පෙර ඉරානයට සහය පළ කර තිබිණි.
වාර්තාවලට අනුව, ඊශ්‍රායලය විසින් ඉරානයේ නේවාසික ප්‍රදේශ, යටිතල පහසුකම් සහ න්‍යෂ්ටික පහසුකම් වෙත එල්ල කරන ලද ප්‍රහාර "එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම සහ ජාත්‍යන්තර නීතියේ නීති උල්ලංඝණය කිරීමක්" බව ඇෆ්ඝනිස්ථාන විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයා සමග පැවසීය.
පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල්
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ වැදගත් ම හිතවාදියෙකු වන සහ කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ගණනාවකට සත්කාරකත්වය සපයන සෞදි අරාබිය, එක්සත් ජනපද ක්‍රියා හෙළා දැකීමට ඉක්මන් විය. ඔවුන් "ඉරාන සහෝදර ඉස්ලාමීය ජනරජයේ සිදුවෙන දෙස දැඩි කනස්සල්ලෙන් යුතුව අවධානයෙන් පසුවන" බවත් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් පැවසීය.
සෞදි අරාබිය සහ ඉරානය දිගු කලක් පරම සතුරන් වුව ද, 2023 මාර්තු මාසයේදී සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීනය මැදිහත් වූ ගිවිසුමක් අත්සන් කළහ.
සෞදි අරාබියේ නිල ස්ථාවරය, එක්සත් ජනපද මිලිටරි ප්‍රහාර හේතුවෙන් "කලාපීය සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට වැඩි තර්ජනයක් එල්ල කරයි" යනුවෙන් පැවසූ වොෂින්ටනයේ තවත් සමීප සගයෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සමානය.
එක්සත් ජනපදය සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡාවල මැදිහත්කරු ලෙස කටයුතු කළ ඕමානය, එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු "ප්‍රතිවිපාක" ගැන බිය වන බවත්, සිදුවීම් "හෙළා දකින" බවත් පැවසීය.
කටාර් රාජ්‍යය පැවසුවේ, මෙම සිදුවීම් පිළිබඳව "දැඩි කනස්සල්ලෙන්" පසුවන බව ය. මැද පෙරදිග විශාලතම ඇමෙරිකානු ගුවන් කඳවුරක් කටාර් රාජ්‍යයේ පිහිටා තිබේ.
"ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙළීම කලාපයේ සහ රටවල ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන ආතතීන් උත්සන්න වීමේ අවදානම ඉහළ නංවන" බව ප්‍රකාශ කරමින් ලෙබනන් ජනාධිපති ජෝසෆ් අවුන් ද කනස්සල්ල පළ කළේ ය.
කෙසේ වෙතත්, ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන සහ පසුගිය වසරේ ඊශ්‍රායලය සමග සාම ගිවිසුමක් අත්සන් කළ ඉරාන සහය ලබන හිස්බුල්ලා කණ්ඩායම, ඊශ්‍රායලයට හෝ ඇමෙරිකාවට පහර දීමට කිසිදු සැලසුමක් නොමැති බව ද The Times of Israel පුවත්පත උපුටා දක්වා තිබිණි.
ඉරානයේ සහාය ලබන තවත් සටන්කාමී කණ්ඩායමක් වන යේමනයේ හූති කණ්ඩායම ඇමෙරිකානු ප්‍රහාර හෙළා දුටු අතර ඉරාන ජනතාව සමග සහයෝගීතාව ප්‍රකාශ කළේ, පළිගැනීමක් ලෙස රතු මුහුදේ ඇමෙරිකානු නැව්වලට පහර දීමට ඔවුන් සූදානම් බව පවවසමිනි.
අසර්බයිජානය සිදුවීම් පිළිබඳව "දැඩි කනස්සල්ල" පළ කර ඇති අතර, සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ. එම රටට ඊශ්‍රායලය සමග සමීප මිලිටරි සන්ධානයක් ඇති අතර මෑත වසරවලදී ඩොලර් මිලියන සිය ගණනක දියුණු අවි ආයුධ රටින් මිල දී ගෙන ඇත.
මේ දක්වා, ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රහාර හෝ ඉරානයට එරෙහිව තමන්ගේ ම ප්‍රහාර එල්ල කිරීමේදී ඊශ්‍රායලය ඔවුන්ගේ ගුවන් සීමාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සිරියානු රජය නිල වශයෙන් කිසිදු හෙළා දැකීමක් නිකුත් කර නොමැත.
ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් පිළිබඳව ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය දක්වන කනස්සල්ල යුරෝපීය රටවල් දිගු කලක් තිස්සේ බෙදාගෙන ඇති අතර, ගැටුම උත්සන්න වීම ගැන ද කනස්සල්ලට පත්ව සිටී.
ඇමෙරිකානු ප්‍රහාරවලින් පසුව, යුරෝපා සංගමයේ ඉහළ ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන කජා කල්ලාස්, ගැටුම් අවම කර සාකච්ඡා කිරීම සඳහා නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ ය.
"සියලු පාර්ශවයන් පසුබසින ලෙසත්, සාකච්ඡා මේසයට නැවත පැමිණෙන ලෙසත්, තවදුරටත් උත්සන්න වීම වළක්වන ලෙසත් මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා," ඉරානයට න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමට ඉඩ නොදිය යුතු බවත්, යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් සඳුදා තත්ත්වය සාකච්ඡා කරන බවත් කල්ලාස් X හි සටහන් කර තිබිණි.
බොහෝ යුරෝපීය රටවල් අතීතයේදී ඉරානයට එල්ල වන ඊශ්‍රායල් මිලිටරි ප්‍රහාර සඳහා සහය පළ කර තිබිණි.
ඒ අවස්ථාවේ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ඊශ්‍රායල ප්‍රහාර සාදරයෙන් පිළිගත් අතර ඉරානයට බෝම්බ හෙළීමෙන් ඊශ්‍රායලය සෙසු රටවල් වෙනුවෙන් " දුෂ්කර කාර්යය" භාරගෙන ඇති බව ප්‍රකාශ කළේ ය.
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "එවැනි ක්‍රියාවක් කිරීමට නිර්භීත වීම ගැන ඊශ්‍රායල් හමුදාවට සහ රජයට මගේ ගැඹුරු ගෞරවය ප්‍රකාශ කරනවා."
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉරිදා සෞදි අරාබියේ සහ ඕමානයේ නායකයින් සමග කතා කළ බව ඔහුගේ කාර්යාලය පැවසීය.
"ගැටුම දිගු වීමට හේතු විය හැකි ඕනෑ ම උත්සන්න වීමක් වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස" ප්‍රංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රංශ විදේශ අමාත්‍ය ශෝන්-නොයෙල් බරෝ Xහි පළ කළේ ය.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් පිළිබඳ කනස්සල්ල පිළිගන්නා අතර ම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින යුරෝපා සංගමයේ ස්ථාවරය එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාර්මර් යළි තහවුරු කළේ ය. "මෙම අර්බුදය අවසන් කිරීම සඳහා සාකච්ඡා මේසයට ආපසු ගොස් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹෙන ලෙස" ඔහු ඉරානයෙන් ඉල්ලා සිටියේ ය.
"ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවීමට කිසි දා ඉඩ දිය නොහැකි අතර එක්සත් ජනපදය එම තර්ජනය සමනය කිරීමට පියවර ගෙන තිබෙනවා." "කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ප්‍රමුඛතාව දිය යුතු යි" කියර් ස්ටාර්මන් සටහන් කර තිබිණි.
කෙසේ වෙතත්, ඔහුගේ ම කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන එමිලි තෝන්බෙරි, ඉරානයට පහර දීමට ට්‍රම්ප් ගත් තීරණය "විශාල වැරැද්දක්" ලෙස විස්තර කළා ය. "ඒකෙන් වෙන්නේ ඉරාන වැසියන් යම් ප්‍රමාණයකට අඩපණ වෙන එක විතර යි, ඔවුන් බෝම්බ තැනීම නැවැත්වීමට නම් තෝරා ගත යුත්තේ සාකච්ඡා මාර්ගයයි," තෝන්බෙරි බීබීසීයට පැවසීය.
"මට තියෙන අනික් ප්‍රධාන කනගාටුව තමයි, [ඊශ්‍රායල අගමැති] නෙතන්යාහු මෙයින් ධෛර්යවත් වෙයි කියන එක," ඇය තවදුරටත් පැවසුවා ය. "මේ ගැටුම ආරම්භ කළේ ඔහු. දැන් ඇමෙරිකාව ඔහු පිටුපසින් ඇවිත්. ඔහුට සාමය ගැන කිසි උනන්දුවක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊශ්‍රායලය පාලනය කර ගන්න පුළුවන් කියල කියන්න බැරි නම් සාකච්ඡා පවත්වන්නේ කොහොම ද?"
ඇමෙරිකානු ප්‍රහාරවලට පෙර, ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග්, ඊශ්‍රායලයේ "ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය" පිළිබඳව සඳහන් කර තිබිණි. වොෂින්ටනය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීමෙන් පසු, කැන්බරා මිලිටරි ක්‍රියාමාර්ගය සඳහා නිල අනුමැතියක් ලබා නොදුන් නමුත්, යුරෝපා සංගමය මෙන් - ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන බව ඉස්මතු කරමින් සංයමයෙන් හා රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ඊශ්‍රායලයට මිසයිල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කැනඩාව මූලිකව ඉරානය හෙළා දැක තිබිණි.
එහෙත්, බොහෝ යුරෝපීය දේශපාලනඥයන් මෙන්, එහි විදේශ ඇමතිනී අනිටා ආනන්ද් පැවසුවේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට "කල්පවත්නා සහ සාමකාමී විසඳුමක්" ලබා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වීම හොඳ ම මාර්ගය වන බව ය.
රුසියාව, චීනය සහ ඉන්දියාව: හෙළාදැකීමේ සිට සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීම දක්වා
රුසියාව දුරකතන ඇමතුමක් දෙමින් කියා සිටියේ, ඇමෙරිකානු ප්‍රහාර මගින් "භයානක උත්සන්න වීමක් ආරම්භ වී ඇති" බවට සංඥා නිකුත් වී ඇති බව ය. මේ අතර, චීනය ඊශ්‍රායලයට "ප්‍රහාර එල්ල කිරීම හැකි ඉක්මනින් නතර කළ යුතු" බව අවධාරණය කළේ ය.
රුසියාව සහ චීනය යන දෙරට ම අතීතයේදී ඉරානයට සහය පළ කර ඇති අතර ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවේචනය කර ඇත.
මෑත වසරවලදී, රටවල් දෙක ම ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධාන මිත්‍ර පාක්ෂිකයින් ලෙස සැලකේ.
ඉරානය සමග ගිවිසුම් මාලාවක් අත්සන් කර ඇත - ඒවායින් සමහරකට රහස්‍ය වගන්ති ඇතුළත් යැයි විශ්වාස කෙරේ. ඇතැම් විශ්ලේෂකයින්ට අනුව, මෙම ගිවිසුම්වල ආරක්ෂාවට අදාළ පොරොන්දු අඩංගු විය හැකි ය.
මුලදී, චීනය සහ රුසියාව යන රටවල් දෙක ම වඩාත් ප්‍රවේශම්සහගත ස්ථාවරයක පසුවූහ. නමුත් අර්බුදය උත්සන්න වන විට, ඔවුන්ගේ ස්ථාවරයන් දැඩි විය.
එක්සත් ජනපද මිලිටරි ක්‍රියාමාර්ගයට පෙර, චීනය ඊශ්‍රායලයට ඍජු මිලිටරි ආධාර ලබා දීමේ හැකියාව පිළිබඳව එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කළේය.
ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, ඉන්දියාව ඊශ්‍රායලය නිල වශයෙන් හෙළා දැකීමෙන් සහ එහි ක්‍රියාවන් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය හෙළා දැකීමෙන් වැළකී සිටියේ, ඊශ්‍රායලය සමග ආරක්ෂක සහයෝගීතාව සහ පුළුල් කලාපීය ස්ථාවරත්වය සමතුලිත කිරීමට එහි අඛණ්ඩ උත්සහය පෙන්නුම් කරමිනි.
ලතින් ඇමෙරිකාව: පාර්ශව දෙකට ම සහය
ලතින් ඇමෙරිකානු කලාපය තුළ ටෙහෙරානය සමග දිගුකාලීන සබඳතා ඇති වාමාංශික ආණ්ඩු කිහිපයක්, ඊශ්‍රායලය සහ ඉරානයට එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාර දෙකෙහි ම ප්‍රබල විවේචකයින් අතර විය.
කලාපයේ ප්‍රධාන සගයෙකු වන වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝ, ඉරානයට එල්ල කළ මුල් ඊශ්‍රායල ප්‍රහාර "යුද ක්‍රියාවක්" ලෙස හැඳින්වූ අතර ඊශ්‍රායලය "මනුෂ්‍යත්වයේ සාමයට ඇති ලොකු ම තර්ජනය" ලෙස විස්තර කළේ ය.
ඉන්පසු ඔහු නවතම ඇමෙරිකානු ප්‍රහාර "ජාත්‍යන්තර සාමයට ඍජු තර්ජනයක්" ලෙස හෙළා දුටුවේ ය.
ඇමෙරිකානු ප්‍රහාර "ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරන අපරාධකාරී, වගකීම් විරහිත" ක්‍රියාවක්" ලෙස කියුබානු නායකත්වය හැඳින්වීය.
චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් ඇමෙරිකානු ප්‍රහාර විවේචනය කරමින් X නාලිකාවේ මෙසේ පැවසීය: "බලය තිබුණත්, මනුෂ්‍යත්වය රැක ගැනීමට ඇති නීති උල්ලංඝණය කරන්න ඒ බලය පාවිච්චි කරන අවසර නැහැ. එක්සත් ජනපදයට වුණත් ඒක එහෙම යි."
ඊට වෙනස්ව, දක්ෂිණාංශික පරිපාලනයන් විසින් පාලනය කරනු ලබන ආර්ජන්ටිනාව සහ පැරගුවේ යන රටවල් දෙක ම, දින 10කට පෙර ඊශ්‍රායලය ඉරානයට පහර දුන් විට ඉරානය විවේචනය කළේ ය.
ආර්ජන්ටිනා ජනාධිපති කාර්යාලයේ ප්‍රහාරයෙන් දින තුනකට පසු ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක, ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ පළිගැනීමේ මිසයිල ප්‍රහාර "නින්දිත" බව සඳහන් විය.
එතැන් සිට ජනාධිපති ජේවියර් මිලෙයි "ඉරානය ආර්ජන්ටිනාවේ සතුරෙක්" යැයි පැවසූ බව උපුටා දක්වා ඇති අතර, 1990 කාලයේ ඊශ්‍රායල් ඉලක්කවලට එරෙහිව සිදු කරන ලද මාරාන්තික බෝම්බ ප්‍රහාර උපුටා දක්වමින් ඊශ්‍රායලයට ඔහුගේ පූර්ණ සහයෝගය නැවත අවධාරණය කර ඇති අතර, ඒ සඳහා ඉරානය වගකිව යුතු බව ඔහු පැවසීය.
ලෝකයේ සෙසු කලාප: විසිරුණු නමුත් අනුකම්පාසහගත ප්‍රතිචාර
කාර්මික රටවල G7 කණ්ඩායමේ සාමාජිකයෙකු වන ජපානය, ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර දැඩි විවේචනයක් එල්ල කර තිබිණි. එරට අගමැති ෂිගෙරු ඉෂිබා මෙම ප්‍රහාර "සම්පූර්ණයෙන් ම ඉවසිය නොහැකි" සහ "අතිශයින් ම කනගාටුදායක" බව පැවසීය.
ඇමෙරිකානු ප්‍රහාරවලින් පසුව, වොෂින්ටනයට පැහැදිලි සහයෝගයක් ප්‍රකාශ නොකර, තත්ත්වය ඉක්මනින් සමනය කරන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් "අවහිර කළ යුතු" බව ඔහු අවධාරණය කළේ ය.
තමන්ගේ ම න්‍යෂ්ටික අවි සංවර්ධනය කරමින් සිටින උතුරු කොරියාව - මීට පෙර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හෙළා දුටු අතර ඒවා ආක්‍රමණශීලී "බිහිසුණු ක්‍රියාවක්" ලෙස හැඳින්වීය. මැද පෙරදිග සාමය සඳහා ඊශ්‍රායලය "පිළිකාවක් වැනි " යැයි විවේචනය කළේ ය.
දකුණු කොරියාව කිසිදු නිල ප්‍රකාශයක් කර නොමැත. එහි නිල ස්ථාවරය වූයේ, මුළුමනින් ම තම පුරවැසියන් ආරක්ෂා කිරීම සහ ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටීම ය.
ටෙහෙරානයේ සමීප හිතවතෙකු වන බෙලරූස් ප්‍රහාර සම්බන්ධයෙන් මොස්කව්හි විරෝධය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරන ලදී.
ඉරානයට එල්ල කළ ඇමෙරිකානු ප්‍රහාර සම්බන්ධයෙන් අප්‍රිකානු සංගමයෙන් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී නොමැත.
කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව ඊශ්‍රායලයේ පූර්ව මිලිටරි "ආක්‍රමණ" හෙළා දකිමින් අරාබි සහ ඉස්ලාමීය රටවල් 21ක විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රකාශයකට අප්‍රිකානු රටවල් ගණනාවක් අත්සන් තබා තිබිණි. ඇල්ජීරියාව, චැඩ්, කොමරෝස්, ජිබූටි, ඊජිප්තුව, ගැම්බියාව, මොරිටේනියාව, සෝමාලියාව සහ සුඩානය මෙම ප්‍රකාශයට අනුමැතිය දුන්හ.
මෙම සටන් හේතුවෙන් සටන්කාමී සංවිධානවලට එකතුවීම සඳහා කැඳවීමක් ලැබී තිබේ.
ඊශ්‍රායල-ඉරාන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන "අවුල්සහගත තත්ත්වය" ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායම ලොව පුරා සිටින තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා ඇති බව BBC මොනිටරින් වාර්තා කරයි.
ප්‍රහාර, බඳවා ගැනීම් සහ අවි අත්පත් කර ගැනීම ඇතුළු සෑම ආකාරයකින් ම ජිහාඩ් ක්‍රියාකාරකම් තීව්‍ර කළ යුතු බව IS පවසයි.
අතිරේක වාර්තාකරණය: BBC Monitoring