නොමිලේ දැනුම බෙදන මහියංගණයේ උපකාරක පන්ති ගුරුතුමා : 'මම කරන්නේ පිං අතේ වැඩක් නොවෙයි'

"ඉස්සර මමත්, අම්මාත් දවසේ කුලියට අනුන්ගේ කුඹුරු කොටන්න යනවා. මම වරුවෙන් වැඩ නවත්වලා පන්ති යනවා. අම්මා හවස් වෙනකන් වැඩ කරලා සල්ලි අරන් එනවා ටියුෂන් පන්තියට ගෙවන්න. ඒ විදිහට අමාරුවෙන් තමයි මම ඉගෙන ගත්තේ," ඒ ආකාරයට බීබීසී සිංහල සමඟින් දොඩමළු වූයේ මහියංගණය, රිදීමාලියද්ද ප්‍රදේශයේ සිටින අපූරු ගුරුවරයෙකි. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරියෙකු වන ඔහු වර්තමානයේ රජයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරයි.

ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් පාරම්පරික ගොවීන් ජීවත්වන රිදීමාලියද්ද ප්‍රදේශය යනු දරිද්‍රතාවයෙන් ද පීඩා විඳින ප්‍රදේශයකි. එමෙන් ම පාසල් පද්ධතිය තුළ ද සිසුන්ට ඇත්තේ අවම පහසුකම් ය. දරුවන්ට ඉගැන්වීමට වියදම් කිරීමට මුදල් නොමැතිකම එම ප්‍රදේශයේ බොහෝ දෙමාපියන් මුහුණ දෙන ගැටළුවකි.

මෙම ප්‍රදේශයේ වාණිජ විෂය ධාරාව හදාරණ සිසුන්ට නොමිලේ, කිසිඳු මුදලක් නොගෙවා විෂයන් ඉගෙනීමේ අවස්ථාව ඉහත සඳහන් කළ ගුරුවරයා එනම්, අරුණ ප්‍රියංකර ලබා දී තිබේ. 2024 මැයි 31 වන දින නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔහුගේ පන්තියේ සිසුන් නව දෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලබා තිබෙන අතර, ඔහුගේ පන්තියට සම්බන්ධ වූ ළමුන් එකොළොස් දෙනා ඔහු උගන්වන ගිණුම්කරණ විෂයට ඒ සාමාර්ථ සහ බී සාමාර්ථ පමණක් ලබා තිබීම ද විශේෂත්වයකි.

විශ්වවිද්‍යාලයෙන් ලැබූ පන්නරය

"මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 2011 වසරේ දී. මම කලින් කිව්වා වගේ ගොඩක් අමාරුවෙන් තමයි මම ඉගෙන ගත්තේ. අපේ අම්මලාගේ තාත්තලාගේ අත්වල රේඛා මැකිලා ගිහින් කුඹුරු කොටලා. මගේ අයියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියා. ඊට පස්සෙ තමයි මම රජරට විශ්වවිද්‍යාලයට තේරුණේ," අරුණ විස්තර කළේ ය.

දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ සිය වැඩිමහල් සහෝදරයා විශ්වවිද්‍යාලයට තේරීපත් වූ පසු අරුණ ප්‍රියංකර අධ්‍යාපනය ලබා ඇත්තේ දෙමාපියන් සමඟ ගොවිතැන් කරමින් සහ සතුන් රැකබලා ගනිමින් ඉතා දුෂ්කර කොන්දේසි යටතේය.

ඔහු පවසන්නේ 2011 දී විශ්වවිද්යාලයට ඇතුලත් වූ පසු ඔහු නොදුටු ලෝකයක් ඔහුට දැකගැනීමට හැකි වූ බව ය.

"කැම්පස් යන්න කලින් මම හිතාගෙන හිටියේ මේ කැම්පස්වල ඉන්නේ ඉගෙන ගන්නේ නැති, නිතරම උද්ඝෝෂණය කර කර ඉන්න අය කියලා. නමුත් මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඔනෑ ඇයි වගේ ම අධ්‍යාපනය වර්තමානයේ මුහුණ දීලා සිටින අර්බුදය මොකක්ද කියන දේවල් ගැන අවබෝධයක් ලැබුණා. ශිෂ්‍ය සංගම් කාර්යාලය පිහිටා තිබුන ආපනශාලාවට ගියාම අපට ගොඩක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් ආශ්‍රය කරන්න ලැබුණා. ඒ අයගෙන් සාහිත්‍ය, දේශපාලනය වගේ ගොඩක් පැති ගැන අවබෝධයක් ලබා ගන්න මට පුළුවන් වුණා."

විශ්වවිද්‍යාල සමය තුළ සිසු ක්‍රියාකාරිකයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කළ අරුණට තම දැනුම බෙදා දීමේ අවස්ථාව හිමිවන්නේ අහම්බයකිනි.

අහම්බයෙන් ආ ඇරයුම

"මම 2017 දී උපාධිය ලබා ගත්තත් පූර්ණ කාලීන දේශපාලනයේ ටික කාලයක් නිරත වෙලා සිටියා. මේ ඉන්න අතරේ දී තමයි මට පෙතියාගොඩ ද්විතීක පාසලේ විදුහල්පතිතුමා කතා කරලා ස්වේච්ඡා ගුරුවරයෙක් විදිහට පාසලේ වැඩ කරන්න එන්න කියලා කියන්නේ. ඒ වෙනකොට පාසලේ වාණිජ අංශයේ හිටියේ දරුවො දෙන්නයි. ඒ අයට ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යනය උගන්වන්න ගුරුවරයෙක් ඉඳලා තිබුණේ නෑ. ඒ විදිහට තමයි මම ගුරුවරයෙක් වෙන්න අදාල මූලික අඩිතාලම වැටුණේ," ඔහු විස්තර කළේ ය.

ඔහු මෙම පාසලේ පළමුව ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන විට වාණිජ විෂය සඳහා සිට ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණයි. නමුත් ඉගැන්වීම් කටයුතු කරගෙන යාමේ දී එම සංඛ්‍යාව හතරක් දක්වා වැඩි වී තිබේ.

"මේ වගේ පැත්තක දරුවෙක් වාණිජ විෂයන් තෝරන්න බයයි. පන්තිවලට වියදම් කරන්න බැරිකම, ඉස්කෝලවල ගුරු හිඟය වගේ විවිධ හේතු ඒකට බලපානවා. මම මුලින් ම උගන්වනකොට හිටියේ දරුවො දෙන්නයි. ටික කාලයක් වැඩ කරගෙන යනකොට ඒක හතරක් දක්වා වැඩි වුණා. මේ හතර දෙනා අතරින් එක් දරුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත්, තවත් දරුවෙක් රජරට විශ්වවිද්‍යාලයටත් අනෙක් දරුවන් දෙදෙනාත් තව විශ්වවිද්‍යාලවලටත් තේරුණා. ඊළඟ අවුරුද්දෙ නැවත ඉස්කෝලෙටම එක දරුවයි වාණිජ විෂය කළේ. ඒ දරුවත් විශ්වවිද්‍යාලයට යන්න තේරුණා."

මේ තත්වයත් සමඟ මීළඟ වසරවල සිසුන් පෙරට වඩා වාණිජ විෂයන් තෝරාගැනීමට උනන්දු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. "දරුවෙක්ට විශ්වාසයක් ඇතිවුණාම තමයි එයා මාත් එක්ක මේ ගමන යන්න එන්නේ. මම එයාට ඒ විශ්වාසය හදලා දුන්නා. උසස්පෙළ කියන්නේ කඩඉම් විභාගයක් නිසා දරුවෙක් මේක ගැන හිතනවා මෙයා එක්ක ගිහින් මට මගේ ජිවිතේ ඉලක්ක වලට යන්න පුළුවන් ද කියලා."

ඔහු පළමු වරට උපකාරක පන්ති පැවැත්වීම ආරම්භ කරන්නේ 2020 වසරේ දී ය. ඒ 2022 වසරේ උසස් පෙළට පෙනී සිටි කණ්ඩායමටයි. "අපේ පාසලෙන් වසර 30කින් කිසිඳු ශිෂ්‍යයෙක් කලා විෂය ධාරාවෙන් හෝ විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණේ නැතිවෙලාවක තමයි. දරුවන් මේ විදිහට හොඳ ප්‍රතිඵල ලබා ගත්තේ. ඊට පස්සෙ මම නිදහස් අධ්‍යාපනයෙන් ලබා ගත්ත දැනුම තවත් දරුවන්ට බෙදා දෙන්න මම උපකාරක පන්ති කරන්නත් පටන් ගත්තා," අරුණ පවසයි.

"දැනුම කියන්නේ මගේවත් කාගේවත් බූදලයක් නොවෙයි. දැනුම අයිති සමාජයට. රටේ හැම මනුස්සයෙක්ම ගෙවන බදු සල්ලිවලින් ඉගෙන ගත්ත මට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ දැනුම සමාජයට බෙදලා දෙන එක. ඒකට මගේ වටේ ඉන්න ගොඩක් අය මට උදව් කළා."

'විනය තමයි ප්‍රතිඵලවල රහස'

අරුණට උපකාරක පන්ති පැවැත්වීමට අවශ්‍ය ස්ථානය නොමිලේ ලබා දෙන්නේ ඔහු ස්වේච්ඡාවෙන් සේවය කළ පාසලේ ම ගුරුවරයෙකි. "මගේ පාසලේ ඉන්න පියරපාන ගුරුතුමා තමයි මට පන්ති කරන්න අවශ්‍ය තැන දුන්නේ. ඒකට ඔහු මගෙන් සතයක්වත් ගන්නේ නෑ. පන්ති පවත්වන කාලය තුල යන වතුර බිල්, විදුලි බිල් සේරම ඒ සර් දරාගන්නවා. ෆෑන් පවා දාලා දීලා තියෙනවා. සමහරවෙලාවට සර් සහ ඔහුගේ බිරිඳ දරුවන්ට තේ ටික පවා හදලා දෙනවා," අරුණ පැවසුවේ ය.

"දරුවන්ගෙන් මුදල් අය කරන්නේ නැති නිසා අවශ්‍ය වියදම් පිරිමසා ගන්න මට මගේ විශ්වවිද්‍යාල කාලයේ යාලුවො උදවු කරනවා. බෝඩ් එකේ ලියන පෑන්, කඩදාසි ගන්න අවශ්‍ය වුණාම ඒ අය උදවු කරනවා. ඒ සහෝදර සහෝදරියන් ඉතාම සතුටින් තමයි ඒ දායකත්වය ලබා දෙන්නේ."

සෑම වසරකම මෙන් මෙම වසරේ දී ද ඔහුගේ පන්තියට සහභාගී වූ සිසුන් නවදෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. "මම මගේ පන්තිවල ටියුට් දෙන්නේ නෑ. ඒවා මුද්‍රණය කරන්න විශාල මුදලක් යනවා. ඒ නිසා මම දරුවන්ට ඒ වෙලාවේ උගන්වන දේවල් එක්ක තමයි දරුවන් ඉගෙන ගන්නේ. එතැන දී මම යම් විනයක් පවත්වාගෙන යනවා," අරුණ විස්තර කළේ ඔහු පන්ති පැවැත්වීමේ දී කටයුතු කරන ආකාරයයි.

"මම හැමතිස්සෙම දරුවන්ට කියන දෙයක් තමයි මම ඉගෙන ගත්තේ ඔයාලගේ අම්මලා තාත්තලා ගෙවපු බදු සල්ලිවලින්. ඒ නිසා මම උගන්වන දේවල් හොඳින් ඉගෙන ගන්න කියන එක. මම උගන්වන වෙලාවට කිසි කෙනෙක්ට කතා කරන්න දෙන්නේ නෑ වගේම එක දිගට දවස් දෙකක් පන්තියට නෑවිත් ඉන්න මම දෙන්නේ නෑ. මුලින් අවවාද කරලා සාධාරණ හේතුවක් නැතිව එහෙම කරනවා නම් ඒ අයට මේ ගැන උනන්දුවක් තියෙන්න විදිහක් නෑ. ඒ නිසා මම ඒ කියන විනය පන්තිය තුළ පවත්වාගෙන යනවා."

'මම කරන්නේ පිං අතේ වැඩක් නොවෙයි.'

"මාව ගමේ දී හම්බුණාම මේ දරුවන්ගේ දෙමව්පියන් මට කියනවා බොහොම පිං කියලා. ඒ මම අහන්න අකමැතිම වචනයක්."

අධ්‍යාපනය යනු සමාජ අයිතියක් බව අරුණගේ මතයයි. එනිසා තමා සිදු කරන්නේ තමාට හැකි ආකාරයෙන් දැනුම සමාජගත කිරීම බව ඔහු පවසයි.

"මේ වගේ පැත්තක කාටහරි ගොඩ යන්න නම් ඉගෙන ගන්නම වෙනවා. නමුත් වර්තමානයේ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න එක්ක ඒක කරන්න ලේසි නෑ. මමත් ඉගෙන ගෙන ඉවර වෙලා අපේ අම්මලා තාත්තලා වගේ අමාරුවෙන් කුඹුරු කොටලා ජීවිතේ ගැටගහගන්න හදන මිනිස්සුන්ට මම ඉගෙන ගත්ත දේවල් විකුණනවා නම් ඒක වැරදි වැඩක්. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා කෑ ගහලා එළියට ඇවිත් ඒක විකුණන්න බෑ. ඒ නිසා තමයි මම මේ දරුවන්ට මම ඉගෙන ගත්ත දේවල් නොමිලේ ම උගන්වන්නේ."

වසර හයක ගුරු ජීවිතය

2018 දී ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස පෙතියාගොඩ ද්විතීක පාසලේ ඉගැන්වීම් ආරම්භ කළ අරුණට පසුව සංවර්ධන නිලධාරියෙකු වශයෙන් පත්වීමක් ලැබී තිබේ. "මට සංවර්ධන නිලධාරී පත්වීම ලැබිලත් තවම මම පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. සංවර්ධන නිලධාරීන්ව වරින් වර විවිධ ස්ථාන මාරුවලට යවනවා. නමුත් ඒ හැමවෙලාවකට අපේ පාසලේ විදුහල්පතිතුමා ඒ අයට ලිපි ලියලා දිගටම මාව පාසලේ තියාගත්තා."

අරුණ පවසන්නේ වර්තමානය වන විට ඔහුගේ උපකාරක පන්ති සඳහා සහ පාසලේ වාණිජ විෂය සඳහා සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් සිටින බවයි. "මේ වසරේ උසස් පෙළ පන්තියට සිසුන් 36ක් පමණ ඉන්නවා. 2025 පන්තියේ සිසුන් 48ක් පමණ ඉන්නවා. අලුතෙන් පටන් ගන්න ඉන්න පන්තියටත් සිසුන් විස්සකට වැඩිය දැන් ලියාපදිංචි වෙලා තියෙනවා. පාසලේත් දැන් සැලකිය යුතු ළමුන් ප්‍රමාණයක් ඉන්නවා. ඉස්සර උසස් පෙළ කරන්න නගරයට ගිය දරුවන් දැන් නැවත ගමේ ඉස්කෝලෙටම එනවා. නමුත් දැන් අපට ඉඩකඩ ප්‍රශ්නය ලොකුවට තියෙනවා. පාසලට අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිවීම නිසා සිසුන්ට ඉඩ පහසුකම් සහිත ශාලා නෑ. ඒ වගේ ම මම උපකාරක පන්ති පවත්වන තැනත් ඉතාම අමාරුවෙන් ඉඩ කළමනාකරණය කරගන්නෙ," අරුණ ඔහු මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව විස්තර කළේ ය.

"දැන් පාසලේ දරුවන් උසස් පෙළ විතරක් නොවෙයි සාමාන්‍ය පෙළටත් ගිණුම්කරණය හා ව්‍යාපර අධ්‍යනය විෂය ඉගෙන ගන්නවා."

'පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් කතා කළත් මම ගියේ නෑ.'

මෑතක දී ඔහුට උපකාරක පන්ති පවත්වන පුද්ගලික ආයතනවලින් ඇරයුම් ලැබුනත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.

"මගේ නංගි උසස් පෙළ කරනවිට මමත් අයියත් දෙන්නම එක ආයතනයකට ගිහින් ඇහුවා නංගිගේ පන්ති ගාස්තු අඩු කරලා දෙන්න බැරිද කියලා. ඔවුන්ගේ මතය වුණේ එහෙම කරන එක ඔවුන්ට පාඩු බව. නමුත් දැන් ඔවුන් මට කතා කරනවා ඔවුන්ගේ ආයතනයේ මුදල් අයකරගෙන පන්ති පවත්වන්න. මම ඒ යෝජනාව සහ මට තවත් ආයතනවලින් ආව යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා," ඔහු පවසයි.

"මම ඔවුන්ට පැහැදිලිව කිවුවා මම කිසිම වෙලාවක අධ්‍යාපනය ව්‍යාපාරයක් කරගෙන ජීවත්වෙන්නේ නෑ, ඒ වගේම එය මුදලට විකුණන්න ලෑස්ති නෑ කියලා. මොකද මේ දැනුම මට අයිති දෙයක් නොවෙයි. ඉතින් මගේ බලාපොරොත්තුව මේ විදිහට පුළුවන් කාලයක් දරුවන්ට දැනුම ලබා දීලා මේ සමාජය මට පුළුවන් විදිහට හොඳ පැත්තට තල්ලු කරන එක," අරුණ අවසාන වශයෙන් පැවසුවේ ය.