දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?

'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ.

ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි.

කෙසේ වෙතත්, දෙමාපියන් සහ ගුරුවරුන් දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනු බහුලව දැකිය හැකි ය.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ යමෙකුගේ ඡායාරූපයක් වෙනත් අයෙකු විසින් සමාජ මාධ්‍යවල පළ කිරීම සඳහා අදාළ ඡායාරූපයේ සිටින තැනැත්තන්ගේ අවසරය ගත යුතු ය.

එහෙත්, ළමුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් හෝ අදාළ ළමුන්ගෙන් අවසර ගැනීම ද සාර්ථක ක්‍රමයක් නොවන බව සයිබර් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින විශේෂඥයින්ගේ අදහස වී තිබේ.

"ළමයින්ගේ ඡායාරූප පළ කරනවා නම් අවසර ගන්න පාර්ශව දෙකයි නේ තියෙන්නේ. එක් පාර්ශවයක් තමයි දෙමව්පියන්‍. අනෙක් පාර්ශවය ඒ දරුවන්. දරුවන් ගැන තීරණ ගන්න දෙමාපියන්ට පුළුවන් වුණාට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ. මොක ද දරුවන් වැඩිවියට පත්වුණා ම ඒ ඡායාරූප පළ කිරීම ගැන අකැමැති වෙන්න පුළුවන්. අනික් අතට දරුවන්ට තමන් ගැන තීරණ ගන්නත් හැකියාවක් නෑ. ඒ නිසා දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරද්දී ගොඩක් ප්‍රවේශම් විය යුතු යි," සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත්, ගුරුවරුන් සහ ගුරුවරියන් බොහෝ අවස්ථාවල සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කර තිබෙනු දැකිය හැකි ය.

දරුවන්ගේ ඕනෑ ම ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට පුළුවන් ද?

ඊට අමතරව, දෙමාපියන් විසින් තමන්ගේ ම කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කර තිබෙන අවස්ථා ද පවතී‍.

‌"දරුවන් වැඩිවියට පත් වුණාට පස්සේ ඔවුන්ගේ මේ ඡායාරූප සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණොත් එදාට දෙමාපියන් මොනවා ද කරන්නේ? දරුවා වැඩි වියට පත්වුණ කාලෙක හිතෙන්න පුළුවන් දෙමාපියන් පළ කරල තියෙන තමන්ගේ ඡායාරූප නිසා තමන්ට අගතියක් වෙනවා කියලා. ඒක නිසා තමන්ගේ දරුවන්ගේ වුණත් හැම ඡායාරූපයක් ම සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ," අසේල වෛද්‍යාලංකාර පෙන්වා දුන්නේ ය.

අසේල වෛද්‍යාලංකාර පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය භාවිතය සහ සිය දරුවන්ගේ ආරක්ෂාව මෙන් ම ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් සතු දැනුමේ අඩුකම මෙම තත්ත්වය බොහෝ සෙයින් බලපාන බව ය.

"මෙතනදී දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කරන්න ඕනෙ, දරුවන්ගේ ඡායාරූප භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. ඒ වගේ ම තමන් වැඩිදුර නොසිතා කරන ක්‍රියාවන් හේතුවෙන් දරුවන්ගේ අනාගතයට සිදුවිය හැකි හානි ගැනත් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු යි."

දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු

1. දෙමාපියන් ඇතුළු ඕනෑ ම වැඩිහිටියෙකු දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමට පෙර එම දරුවන්ගේ කැමැත්ත විමසීම ඉතා යහපත් ක්‍රියාවක් බව අමෙරිකාවේ එම්රෝයි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා කථිකාචාර්ය සාරා වැලන්සියා බොටෝ වොෂිංටන් පෝස්ට් වෙබ් අඩවිය වෙත පවසා තිබේ.

ඇය පෙන්වා දෙන්නේ, එලෙස කැමැත්ත විමසීම තුළින් වැඩිහිටියන්ගෙන් ඔවුන් වෙත ගෞරවයක් ලැබෙන බව ය‍.

කෙසේ වෙතත්, දරුවන් එක් අවස්ථාවකදී ඡායාරූපයක් පළ කිරීමට කැමැත්ත පළ කළ ද, පසු අවස්ථාවක එම අදහස වෙනස් වීමේ අවදානමක් පවතින බව ද ඇතැම් විශේෂඥයෝ පෙන්වා දෙති.

2. වැඩිහිටියන් දරුවන්ගේ ඡායාරූප පළ කිරීමේදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ, තමන් පළ කරන්නේ කුමන ආකාරයේ ඡායාරූපයක් ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම ය.

අදාළ ඡායාරූපය පළ කිරීමෙන් දරුවාට අගතියක් හෝ හානියක් ඇති වීමේ ඉඩකඩක් පවතී ද යන්න සිතා බැලිය යුතු ය.

'දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීම නිසා දරුවා අනාරක්ෂිත වෙන්න පුළුවන්'

දරුවන්ගේ මුහුණු හොඳින් නිරාවරණය වන පරිදි සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කිරීම හරහා විවිධ අපයෝජනයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය.

"සමහර දෙමාපියෝ, ගුරුවරු දරුවන්ගේ ඡායාරූප පළ කරනවා, පාසල් නිල ඇඳුම සහිතව. ඊට අමතරව, ඔවුන් යන පාසල් ගැනත් තොරතුරු දානවා. මේ තොරතුරු ප්‍රසිද්ධියේ අන් අයට ලබා දීමක් තමයි, මෙතනදි සිද්ධ වෙන්නේ. ඒක දරුවන් සම්බන්ධයෙන් ලොකු අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරනවා."

සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ද දරුවන්ට අගතියක් නොවන පරිදි ක්‍රියා කළ යුතු බව නීතිඥ අචලා සෙනෙවිරත්නගේ අදහස යි.

"පහුගිය කාලෙ අපි දැක්කා දරුවෙක් ගුරුවරිය අහන ප්‍රශ්නවලට අඬමින් උත්තර දෙන ආකාරය වීඩියෝ කරලා සමාජ මාධ්‍යවල දාලා තිබුණා. ඒක මිනිස්සු දහස් ගණනක් ෂෙයාර් කරලා තිබුණා. ඒ හැමෝම අදාළ ගුරුවරියට දොස් පැවරුවත්, දරුවාගේ මුහුණ පේන විදිහට ෂෙයාර් කරපු සියලු දෙනා නිසා දරුවාට අපයෝජනයක් සිදධ වුණා. මම දැක්කෙ එක් කෙනෙක් විතර යි, දරුවාගේ මූණ නොපෙනෙන විදිහට ෂෙයාර් කරල තිබුණේ."

මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන්, දරුවන්ගේ පෞරුෂත්වයට, ආත්ම විශ්වාසයට සහ පෞද්ගලිකත්වය හානි සිදු වන බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය.

දරුවන් සමග සිටින ඡායාරූප පළ කළ යුතු "හොඳ ම ආකාරය"

දරුවන් සමග සිටින ඡායාරූපයක් පළ කිරීමට අවශ්‍ය නම් අදාළ දරුවන්ගේ මුහුණු නොපෙනෙන පරිදි ඡායාරූපය සංස්කරණය කළ හැකි බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය.

යම් හෙයකින් දරුවෙකුගේ අනවශ්‍ය ඡායාරූපයක් සමාජ මධ්‍යවල පළ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමාගම්වලට පැමිණිලි කළ හැකි ය.

මෙටා සමාගම එසේ කළ හැකි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පළ කර තිබේ.

ඊට අමතරව, අනුදැනුමකින් තොරව දරුවන්ගේ ඡායාරූප පළ කළහොත් ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙන් ම පොලිස් ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කළ හැකි බව ද නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසීය.

ඊට අමතරව, 'ළමුන්ට අදාළව කරනු ලබන අසභ්‍ය පළ කිරීම්, ප්‍රදර්ශන ආදිය' දණ්ඩ නීති සංග්‍රහයේ 286 (අ) වගන්තිය යටතේ වරදක් වන අතර, අවුරුදු දෙකකට නොඅඩු, අවුරුදු 10කට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ/හෝ දඩයකින් දඬුවම් කළ හැකි,' බව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි සඳහන් කර තිබේ.