2025 වසරේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ටයින් කවුද?

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ප්‍රතිමාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2025 වසර සඳහා වන නොබෙල් සාම ත්‍යාගය වෙනිසුවෙලාවේ දේශපාලනඥ මරියා කොරීනා මචාඩෝ වෙත පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් ත්‍යාග කමිටුව අද (ඔක්: 10) නිවේදනය කළේ ය.

ඒ, වෙනිසියුලානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ නොපසුබට උත්සහය සහ ඒකාධිපතිත්වය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා ඇය කළ සාධාරණ හා සාමකාමී අරගලය වෙනුවෙන් එය පිරිනමන බව නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.

සාම ත්‍යාගය

මාරියා කොරීනා මචාඩෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මාරියා කොරීනා මචාඩෝ

'2025 නොබෙල් සාම ත්‍යාගය සාමය සඳහා නිර්භීතව කැපවුණු විශිෂ්ට කාන්තාවක,' වන මාරියෝ කොරීනා මචාඩෝ වෙත පිරිනැමෙන බව නොබෙල් ත්‍යාග වෙබ් අඩවිය පවසයි.

වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායිකාව ලෙස, මාරියා කොරීනා මචාඩෝ මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ජනතා ධෛර්යයේ හොඳ ම උදාහරණයක් බව එහි සඳහන් වේ.

නිදහස් මැතිවරණ සහ නියෝජිත රජයක් සඳහා වන ඉල්ලීමේ පොදු පදනමක් සොයා ගනිමින්, දැඩි ලෙද බෙදී තිබුණු දේශපාලන විපක්ෂයක් එක්සත් කිරීමට මචාඩෝ ප්‍රධාන භූමිකාවක් ඉටු කළා ය.

මේ අතර, මේ වන විට සාමය හැරුණු විට සෙසු විෂයයන් කිහිපයක් සඳහා ද නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

භෞතික විද්‍යාව

Physics

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමි විය.

ඒ, ජෝන් ක්ලාර්ක්, මිෂෙල් එච්. ඩිවොරේ සහ ජෝන්. එම්. මාර්ටිනිස් යන විද්‍යාඥයින් තිදෙනාට ය.

විද්‍යුත් පරිපථයක සාර්ව ක්වොන්ටම් යාන්ත්‍රික ඉලෙක්ට්‍රෝන සම්ප්‍රේෂණය සහ විද්‍යුත් පරිපථයක ශක්ති ප්‍රමාණකරණය සම්බන්ධයෙන් ඔවුන් තිදෙනා කළ සොයා ගැනීම් වෙනුවෙන් මෙම ත්‍යාගය පිරිනැමිණි.

රසායන විද්‍යාව

Chemistry

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2025 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ද, විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනැමිණි.

ඒ, සුසුමු කිතගාවා, රිචර්ඩ් රොබ්සන් සහ ඕමාර් එම්. යාගි යන තිදෙනාට ය.

වායු සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය ගලා යා හැකි විශාල අවකාශයන් සහිත අණුක නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී ඇත. එම ලෝහ-කාබනික රාමුව, කාන්තාර වාතයෙන් ජලය ලබා ගැනීමට, කාබන් ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගැනීමට, විෂ වායූන් ගබඩා කිරීමට හෝ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමට භාවිත කළ හැකි ය.

ලෝහ-කාබනික රාමු සංවර්ධනය කිරීම හරහා, සම්මාන ලාභීන් රසායනඥයින්ට අප මුහුණ දෙන සමහර අභියෝග විසඳීම සඳහා නව අවස්ථාවක් ලබා දී ඇත.

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව

Medicine

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2025 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ද, විද්‍යාඥයින් තිදෙනෙකුට හිමි වී තිබේ.

මේරි ඊ. බෘන්කව්, ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සහ ෂිමොන් ෂකගුචි එම තිදෙනා ය.

ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ශාරීරිකව සිදු වන හානි අවම කිරීම සඳහා ඔවුන් කළ මෙම සොයා ගැනීම් සම්බන්ධයෙන් මෙම ත්‍යාගය ප්‍රදානය කෙරිණි.

  • ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ප්‍රතිකාර (MS, 1 වර්ගයේ දියවැඩියාව, ලූපස් වැනි).
  • අවයව බද්ධ කිරීම - ජීවිත කාලය පුරා ම ප්‍රතිශක්තිකරණය මර්දනය නොකර ප්‍රතිදේහ ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට උපකාරී වේ.
  • අසාත්මිකතා ප්‍රතිකාර - හානිකර ප්‍රතිදේහ ඉවසා සිටීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීම

ආදී කාර්යයන් මේ හරහා පහසු වනු ඇත.

සාහිත්‍යය

Lit

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ වසරේ සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ, හංගේරියානු ලේඛක ලස්ලෝ ක්‍රස්නහෝර්කායි වෙත ය.

නොබෙල් ත්‍යාග වෙබ් අඩවිය සඳහන් කර ඇති පරිදි, නොබෙල් ත්‍යාගය ඔහු වෙත පිරිනැමෙන්නේ, "අනාගතයේ එල්ල විය හැකි භීෂණය මධ්‍යයේ කලාවේ බලය නැවත තහවුරු කරන ඔහුගේ බලගතු සහ දූරදර්ශී කෘති සඳහා" ය.

ලස්ලෝ ක්‍රස්නාහෝර්කායි යනු කෆ්කා හරහා තෝමස් බර්න්හාර්ඩ් දක්වා විහිදෙන මධ්‍යම යුරෝපීය සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨ රචකයෙකි.

ඇමෙරිකානු විචාරිකා සූසන් සොන්ටැග් ඉක්මනින් ම ක්‍රස්නහෝර්කායි සමකාලීන සාහිත්‍යයේ 'හෙළිදරව් කිරීමේ විශේෂඥයා' ලෙස හඳුන්වන අතර, කතුවරයාගේ දෙවන කෘතිය වූ Az ellenállás melankóliája (1989; The Melancholy of Resistance, 1998) කියවීමෙන් පසු ඇය මෙම විනිශ්චයට පැමිණ තිබිණි