මියන්මාරයේ බෞද්ධ උත්සවයක් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 24ක් ජීවිතක්ෂයට

People lighting candles in the night time around a giant white balloon

ඡායාරූප මූලාශ්‍රය, Supplied

    • Author, කෝ ඊව්
    • Author, බීබීසී බුරුම සේවය

පසළොස්වක පොහොය දිනයේ මියන්මාරයේ පැවති තාදිංයූත් (Thadingyut) නමැති බෞද්ධ ආලෝක පූජෝත්සවය අතරතුර මෝටරයක් සහිත පැරාග්ලයිඩරයක් යොදාගෙන එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තවත් 47 දෙනෙකු තුවාල ලැබූ බව බලයෙන් පහ කළ රජයේ ප්‍රකාශකයෙක් බීබීසී බුරුම සේවයට පැවසීය.

ඔහු පවසා තිබුණේ, බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව ය.

පසළොස්වක පොහොය දිනයේ පැවැත්වෙන ආලෝක පූජෝත්සවය සඳහා මධ්‍යම මියන්මාරයේ චාවුං යූ නගරයේ පුද්ගලයින් 100 දෙනෙකු පමණ රැස්ව සිටි අවස්ථාවකදී සඳුදා සවස මියන්මාර් හමුදාව එම ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.

එම පිරිස බෞද්ධ ආගමික වතාවත් අනුව පහන් දැල්වීමෙන් පසු, හමුදා ජුන්ටාවට එරෙහිව ඉටිපන්දම් දල්වා සාමාකාමී විරෝධතාවක ද නිරත වී ඇත.

2021 වසරේදී හමුදාව බලය අල්ලා ගත් දා සිට දහස් ගණනක් මිය ගොස් මිලියන ගණනක් අවතැන් වී ඇති අතර, එමගින් හමුදා විරෝධී සන්නද්ධ කණ්ඩායම් සහ වාර්ගික සටන්කරුවන් සමග සිවිල් යුද්ධයකට මග පාදා තිබේ.

රටෙන් අඩකට වඩා පාලනය අහිමි වීමෙන් පසු, හමුදාව දැන් නැවතත් සැලකිය යුතු ජයග්‍රහණ අත්කර ගනිමින් සිටින්නේ, විශේෂයෙන් මාරාන්තික ගුවන් ප්‍රහාර සහ දරුණු බෝම්බ හෙළීම් හරහා ය.

සඳුදා ප්‍රහාරයට ලක්වූ නගරය පිහිටා ඇත්තේ, යුද්ධයේ ප්‍රධාන සටන් බිමක් වූ සගායිං කලාපයේ ය. එහි විශාල කොටස් හමුදා රජයට හෙවත් ජුන්ටාවට එරෙහිව සටන් කිරීම සඳහා කුමන්ත්‍රණයෙන් පසුව පිහිටුවන ලද ස්වේච්ඡා සටන්කාමී කණ්ඩායම්වල පාලනය යටතේ පවතී.

මහජන ආරක්ෂක බළකාය (PDF) ලෙස හඳුන්වන මෙම කණ්ඩායම්, පළාත් පාලන පරිපාලනය ද මෙහෙයවයි. සඳුදා පැවති රැස්වීමකදී ගුවන් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබී තිබූ බව ප්‍රාදේශීය මහජන ආරක්ෂක බළකායෙහි නිලධාරියෙක් බීබීසී බුරුම සේවයට පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔවුන් විරෝධතාව ඉක්මනින් අවසන් කිරීමට උත්සහ කර ඇතත්, පැරාග්ලයිඩරය බලාපොරොත්තු වූවාට වඩා කලින් එම ස්ථානයට පැමිණි බව ඔහු පැවසීය.

සියල්ල සිදු වූයේ මිනිත්තු 7ක් තුළ බව ඔහු පැවසීය. පිපිරීමෙන් ඔහුගේ කකුලට තුවාල සිදුවූ බව ඔහු පවසයි. මේ අතර, ඔහු අසල සිටි කිහිප දෙනෙක් මිය ගියහ.

මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වූ බව ප්‍රදේශ වාසීන් පිරිසක් බීබීසී බුරුම සේවයට පැවසීය.

"දරුවන් බෝම්බවලින් කෑලිවලට වෙන් වෙලා තිබුණා," උත්සවය සංවිධානය කිරීමට සහය දුන් තවත් කාන්තාවක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවා ය. ඇය එම ස්ථානයේ නොසිටි නමුත් අඟහරුවාදා අවමංගල්‍ය උත්සවවලට සහභාගී වූ අතර ඔවුන් තවමත් "ශරීර කොටස් එකතු කරමින් සිටින" බව පැවසුවා ය.

අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කළේ, හමුදා ජුන්ටාව ජනතාවට පහර දීම සඳහා මෝටර් සහිත පැරාග්ලයිඩර් භාවිත කිරීම "පීඩාකාරී ප්‍රවණතාවක" කොටසක් බව ය.

ගුවන් යානා සහ හෙලිකොප්ටර් හිඟයක් පවතින හෙයින් හමුදා ජුන්ටාව පැරාග්ලයිඩර් වැනි දේ ප්‍රහාර සඳහා යොදා ගනිමින් සිටින බව බීබීසී බුරුම සේවය මෑතකදී වාර්තා කළේ ය.

පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් මියන්මාරයේ හමුදා පාලකයින්ට හමුදා උපකරණ මිල දී ගැනීම දුෂ්කර වී තිබේ.

කෙසේ වෙතත්, චීනය සහ රුසියාව විසින් සපයන ලද දියුණු ඩ්‍රෝන යානා සහ හමුදා තාක්‍ෂණය, ජුන්ටාවට යුද්ධ පිටියේ නව ඉදිරි ගමනක් ලබා දී ඇති බව විශ්ලේෂකයෝ පවසති.

"මියන්මාරයේ සිවිල් වැසියන්ට හදිසි ආරක්ෂාවක් අවශ්‍ය බව වටහා ගැනීමට මෙම ප්‍රහාරය භයානක අනතුරු ඇඟවීමක් කර ගත යුතුයි," ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්හි මියන්මාර් පර්යේෂක ජෝ ෆ්‍රීමන් පැවසීය.

"ජුන්ටාව මත පීඩනය වැඩි කරන ලෙසත්, වසර පහකට ආසන්න කාලයක් මියන්මාර් ජනතාව අසමත් කළ ප්‍රවේශයන් සංශෝධනය කරන ලෙසත්" ඔහු මේ මස අගදී රැස්වීමට නියමිත අග්නිදිග ආසියානු කලාපීය කණ්ඩායම වන ආසියාන් සංවිධානයෙන් ඉල්ලා සිටියේ ය.

සඳුදා දිනයේ ඉටිපන්දම් දල්වමින් විරෝධතාව සංවිධානය කර තිබුණේ, ජුන්ටාවේ හමුදා බඳවා ගැනීමට සහ ඉදිරි ජාතික මැතිවරණයට එරෙහිව සාමකාමී විරෝධතාවක් වශයෙනි. කුමන්ත්‍රණයෙන් බලයෙන් පහ කර සිරගත කරන ලද ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායිකා අවුන් සාන් සූ කී ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

මියන්මාරයේ දෙසැම්බර් මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර එය 2021 හමුදා කුමන්ත්‍රණයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය යි. කෙසේ වෙතත්, විචාරකයින් පවසන්නේ මැතිවරණය නිදහස් හා සාධාරණ නොවනු ඇති බවත්, එමගින් හමුදාවට රට තුළ පාලනයකින් තොරව බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙන බවත් ය.