කාන් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරෙන 'ගැහැනු ළමයි' සිංහල සිනමාවේ සංධිස්ථානයක් වන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, UDITHA DEVAPRIYA AND SUMITRA PERIES
- Author, බීබීසී සිංහල
සිංහල සිනමාවේ සුවිශේෂී ස්ත්‍රී සලකුණක් තැබූ සුමිත්‍රා පීරිස්ගේ පළමු චිත්‍රපටය වූ 'ගැහැනු ළමයි', (1978) 2025 කීර්තිමත් කාන් චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.
එය මැයි 17 වන දා ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1
ගැහැනු ළමයි චිත්‍රපටය 'ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම' සමග එක්ව Film Heritage Foundation ආයතනය විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ප්‍රංශ - ඉන්දීය - ශ්‍රී ලංකා සිනමා උරුමය (FISCH) නමැති ආයතනය විසින් ඒ සඳහා අරමුදල් යොදවා ඇත.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සංරක්ෂණය කර ඇති ඉතිරිව තිබෙන හොඳ ම කොටස් භාවිතා කරමින් ගැහැනු ළමයි චිත්‍රපටය L'Immagine Ritrovata රසායනාගාරයේදී ප්‍රතිසංස්කරණය කර තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 2

ඡායාරූප මූලාශ්‍රය, UDITHA DEVAPRIYA AND SUMITRA PERIES
1978 ලන්ඩන් චිත්‍රපට උළෙලේදී සම්මානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය, ශ්‍රී ලාංකික ගම්මානයක තරුණ සහෝදරියන් දෙදෙනෙකුගේ කතාව මෙම චිත්‍රපටයෙන් දිගහැරේ.
ඔවුන්ගේ ආදර සිහින සහ අභිලාෂයන් පන්ති බාධකවලින් සහ සාම්ප්‍රදායික ගැටුම්වලින් බිඳ දැමේ.
ජනප්‍රිය නවකතා රචකයෙකු වූ කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද 'ගැහැනු ළමයි' නවකතාව ආශ්‍රයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කෙරිණි.
චිත්‍රපටය පිළිබඳ තොරතුරු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1978 වසරේ මාර්තු 18 වන දා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය පැය 2 මිනිත්තු 16ක කාලයක් දිගු විය.
චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මෙසේ ය.
- අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්
- කතාව - කරුණාසේන ජයලත්
- තිර රචනය - සුමිත්‍රා පීරිස්
- නිෂ්පාදනය - ඊ. ඇන්තනිපිල්ලෙයි
- කැමරාකරණය - එම්.එස්. ආනන්දන්
- සංස්කරණය - සුමිත්‍රා පීරිස්
- සංගීතය - නිමල් මෙන්ඩිස්
මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙක වූ කුසුම් සහ නිමල් යන චරිත, වසන්ති චතුරාණි සහ අජිත් ජිනදාස විසින් නිරූපණය කරන ලදී.
ඊට අමතරව, ශ්‍යාමා ආනන්දන්, ට්‍රිලීෂියා ගුණවර්ධන, ජෝ අබේවික්‍රම, චිත්‍රා වාකිෂ්ඨ, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූහ.
මෙහි ඇතුළත් වූ නීලා වික්‍රමසිංහ ගයන 'වියෝ ගී ගැයෙනා' සහ වික්ටර් රත්නායක ගයන 'ගැහැනු ළමයිනේ' යන ගීත අතිශයින් ජනප්‍රිය විය.
ජයග්‍රහණ
1978 ලන්ඩන් සිනමා උළෙලේදී විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස සම්මානයට පාත්‍ර වූ ගැහැනු ළමයි චිත්‍රපටය, ජර්මනිය, ඉන්දියාව, ටියුනීසියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල සිනමා උළෙලවලදී ප්‍රදර්ශනය කෙරිණි.
ඊට අමතරව, 1979 සිග්නීස් උත්තමාචාර සිනමා උළෙලේදී නිර්මාණශීලී අධ්‍යක්ෂණය වෙනුවෙන් සුමිත්‍රා පීරිස් කුසලතා සම්මානයට පාත්‍ර වූවා ය.
ඊට අමතරව, එහිදී හොඳ ම නිළිය ලෙස වසන්ති චතුරාණි ද, සජීවී සිනමාත්මක කුසලතා සහභාගීත්වය වෙනුවෙන් ශ්‍යාමා ආනන්දන් ද සම්මාන ලැබූහ.
'ගැහැනු ළමයි' චිත්‍රපටය සිංහල සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකෙන්නේ ඇයි?
ගැහැනු ළමයි චිත්‍රපටය සිංහල සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි බව චිත්‍රපට විචාරක අතුල සමරකෝන් පවසයි.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, "සුමිත්‍රා පීරිස් සතුව තිබූ කාව්‍යාත්මක සිනමා භාවිතය ඇගේ පළමු චිත්‍රපටය වූ ගැහැනු ළමයි චිත්‍රපටයෙන් ම කැපී පෙනුණු" බව ය.
"ගැහැනු ළමයි චිත්‍රපටය හේතු කීපයක් නිසා සිංහල සිනමාවේ වැදගත් නිර්මාණයක් විදිහය සලකන්න පුළුවන්. සුමිත්‍රා පීරිස්ගේ කාව්‍යාත්මක සිනමා භාවිතය, නළු නිළියන් චරිතයට ගැළපෙන පරිදි හැසිරවීමට තිබූ හැකියාව වගේ විශේෂතා ගොඩක් ඒ නිර්මාණය ඇතුළේ තිබුණා."
"ඒ වගේ ම වැදගත් ම දේ තමයි, සුමිත්‍රා සතුව තිබුණ සංස්කරණ හැකියාව. එයා ඊට කලින් ලෙස්ටර්ගේ චිත්‍රපට කිහිපයක් ම සංස්කරණය කරලා අත්දැකීම් ලබල හිටියේ. ඒ දැනුම ඇයට තමන්ගේ ම චිත්‍රපටය වඩාත් සාර්ථක කර ගන්න ඉවහල් වුණා."
චිත්‍රපටයේ සාර්ථකත්වයට එහි කැමරා අධ්‍යක්ෂ එම්.එස්. ආනන්දන් දක්වා ඇති දායකත්වය ද ඉවහල් වී ඇතැයි අතුල සමරකෝන් පෙන්වා දුන්නේ ය.
සුමිත්‍රා පීරිස්

ඡායාරූප මූලාශ්‍රය, UDITHA DEVAPRIYA AND SUMITRA PERIES
සුමිත්‍රා ගුණවර්ධන 1935 මාර්තු 24 වන දා ඇය උපත ලැබුවේ, ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී දේශපාලනික චරිතයක් වූ බොරලුගොඩ ගුණවර්ධනට ඥාතීත්වය දරන පවුලක ය.
ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥවරයෙකු ලෙස කටයුතු කළ අතර ඇයගේ මව හැරියට් වික්‍රමසිංහ විය.
සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ, සංස්කරණය ඇතුළු කාර්මික දැනුමක් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග එක්ව කටයුතු කිරීමෙන් ලද නිර්මාණ අත්දැකීම් සම්භාරයත් සමගිනි.
ඇය අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ කිහිපයක් මෙසේ ය.
ගැහැනු ළමයි (1978) ගඟ අද්දර (1980) යහළු යෙහෙළි (1982) මායා (1984) සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988) ලොකු දුව (1996) දුවට මවක මිස (1997) සක්මන් මළුව (2003) යහළුවෝ (2009)
එම සිනමා නිර්මාණ අතරින් ගඟ අද්දර (ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන), යහළු යෙහෙළි (ජනාධිපති සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ලොකු දුව (ජනාධිපති සම්මාන), දුවට මවක මිස (ජනාධිපති සම්මාන), මායා (සරසවිය සම්මාන), සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා (සරසවිය සම්මාන, ඕ.සී.අයි.සී. සම්මාන), ගැහැනු ළමයි (ඕ.සී.අයි.සී. සම්මාන) යන චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබීය.
ඊට අමතරව, ගැහැනු ළමයි චිත්‍රපටය Carthage International Film Festival හිදී සහ London Film Festival හිදී සම්මානයට පාත්‍ර වූ අතර ඇගේ තවත් චිත්‍රපට රැසක් ජපානය, ජර්මනිය, රුසියාව ඇතුලු රටවල් රැසක පැවති ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට ලක් විය.
කාන් සිනමා උළෙල
ප්‍රංශයේ පැවැත්වෙන කාන් සිනමා උළෙලේ 78 වන අදියර අඟහරුවාදා (මැයි 13) ආරම්භ වූ අතර මැයි 24 දක්වා පැවැත්වේ.
මෙවර එහි සංරක්ෂණය කරන ලද සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සුමිත්‍රා පීරිස් 1978 අධ්‍යක්ෂණය කළ 'ගැහැනු ළමයි' චිත්‍රපටය තෝරාගෙන තිබේ.
මෙම කීර්තිමත් සිනමා උළෙල නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' චිත්‍රපටය යි.
විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' චිත්‍රපටයට Caméra d'Or සම්මානය හිමි විය.














