2025 වසරේ ඔබ නැරඹිය යුතු ම ශ්‍රී ලාංකික චිත්‍රපට 6ක්

A scene of Walampoori film.

ඡායාරූප මූලාශ්‍රය, Lakmal Darmarathna | Walampoori

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

මෑතකදී තිරගත වුණු අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රාණි', ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'නෙළුම් කුළුණ' වැනි චිත්‍රපට මෙරට සිනමා කර්මාන්තය පිළිබඳ නව "බලාපොරොත්තුවක්" සිනමා රසිකයන් වෙත ලබා දී තිබේ.

වසර ගණනාවක් පුරා මෙරට සිනමා ශාලා "ආක්‍රමණය කරගෙන සිටි රජ කතා" මෙන් ම "ආගමික පසුබිමක් ඇති චිත්‍රපටවලින්" ඔබ්බට යමින් මෙරට සිනමාවේ ගමන් මග වෙනස් කිරීමට මෙමගින් ඉඩ සැලසෙන බව ඔවුන්ගේ අදහසයි.

සිනමා විචාරකයෙකු සහ තිර පිටපත් රචකයෙකු වන බූපති නලින් වික්‍රමගේ බීබීසී සිංහල සමග පැවසුවේ, ඉකුත් වසර දෙක තුළ මෙරට සිනමා කර්මාන්තය තුළ ඇති වුණු රැල්ල 2011 වසරේ මලයාලම් සිනමා කර්මාන්තය තුළ ඇතිවුණු නව රැල්ල හා සමාන යැයි පැවසිය හැකි බව ය.

"2011 පටන් ගත්ත මලයාලම් නිව් වේව් එක වගේ එකක් 2023, 2024 ඉඳන් ලංකාවෙත් පටන් ගත්තා. ඒ වගේ නිව් වේව් එකක් කියලා අපිට ඕනේ නම් කියන්න පුළුවන්. ඒකේ කූඨප්‍රාප්තිය තමයි මම හිතන්නේ 'නෙළුම් කුළුණ' කියලා කියන්නේ," ඔහු සඳහන් කළේ ය.

කොවිඩ් වසංගත සමයෙන් පසුව ඇති වූ මෙම නව පිබිදීමට සිනමා ශාලා ස්ථාපනය වීම වැඩි වීම ද හේතුවක් වූ බව බූපති නලින් වික්‍රමගේ පෙන්වා දුන්නේ ය.

"චිත්‍රපට ප්‍රේක්ෂකාගාර දැන් වෙනකොට ලක්ෂ 10ක් වගේ වෙලා තියෙනවා. එක චිත්‍රපටය බලනවා ලක්ෂ 5 - 6," ඔහු පැවසීය.

නමුත් මෙම තත්ත්වය ඕනෑ ම අවස්ථාවක වෙනස් විය හැකි බව ත්, කර්මාන්තය ආරක්ෂා වීමට නම්, "යූනියන්" සෑදීම අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, බීබීසී සිංහල මෙම වසරේ තිරගත වීමට නියමිත, රසිකයින් අතර කතාබහට ලක්වන චිත්‍රපට 6ක් පිළිබඳව ඒවායේ අධ්‍යක්ෂවරුන් සමග සංවාදයක යෙදෙමින් විමසා බැලීය.

1. වාලම්පුරි හෙවත් හීන හතහමාරක්

A scene of Walampoori film.

ඡායාරූප මූලාශ්‍රය, Lakmal Darmarathna | Walampoori

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ ෆිල්ම් ඒකේදි සමහර විට මගේ 'කූඹියෝ' ප්‍රේක්ෂකයෝ මාත් එක්ක අමපාන වේවි. දැන් ජෙහාන් ගත්තොත් එයා ලාජර් දෑන් ලයිෆ් වීරයෙක්. හැබැයි මේකෙදි සිඩ්නි ගතහොත් එහෙම නැහැ. එයා සාමාන්‍ය මිනිහෙක්"
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ වන විටත් ඔබ ලක්මාල් ධර්මරත්නගේ කුළුඳුල් චිත්‍රපටයේ 'බඹරු අඬන්නා' ගීතය අසා තිබෙනවා විය හැකියි. ලක්මාල් යනු, මෙරට ටෙලි රසිකයින් අතර ඉහළ ජනාදරයක් අත් කර ගත් 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ය.

ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන 'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' චිත්‍රපටය අප්‍රේල් 25 වන දා සිට දිවයින පුරා තිරගත වීමට නියමත අතර ඊට සමගාමීව මෙම චිත්‍රපටය "රටවල් 15කට අධික ගණනක" තිරගත වීමට ද නියමිත ය.

"කොළඹ පහළ පන්තියේ ජීවත් වෙමින් ඉහළ පන්තිය වෙනුවෙන් ගේම් ගසන ගේම්කරුවෙකු" ගැන කියැවෙන කතා තේමාවක් 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ දක්නට ලැබේ.

'වාලම්පුරි' චිත්‍රපටයට පාදක වන්නේ ද එවැනි ම අගනුවරට දුර ගම්වල ඉපිද අධ්‍යාපනය මගින් අතහැරි, ජීවිතය ගැටගහ ගැනීමට අනේකවිධ 'ෂෝට්කට්ස්' හොයන මිනිසුන් 8 දෙනෙකුගේ ජීවිත කතාවකි.

ඔවුන් සියල්ලන් ම තාවකාලික රැකියාවල නිරතවන්නෝ වෙති.

එහි කණ්ඩායම් නායකයා සිඩ්නි ඩයස් ය. ඔහු මහ රෝහලක් අසල සිට රෝගීන්ට ලේ, වකුගඩු, රෝගීන් අසල නවතින්නට පිරිස් සොයා දීම වැනි දේ කර ජීවත් වන්නෙකි.

තවත් අයෙක් සීගිරි ගල පාමුල විදේශිකයින්ට ඇන්ටික් පිළිම බව පවසා ලී බුදු පිළිම අලෙවි කරන්නෙකි. සර්කස් එකක මාරක ලිඳක නිවේදනය කරන්නෙක්, බාබර් කෙනෙක්, ස්වාමි කෙනෙක් මෙන් ම පොලිස් නිලධාරියෙක් ද ඔවුන් අතර වෙති.

චිත්‍රපටයේදී ඔබට හමුවන 'අක්කා' යනු, මෙම පිරිසට කොළඹදී හමුවන "ධනවත් මිනිසෙකුගේ අනියම් බිරිඳක්ව හිඳ දැන් ලිංගික, අලිංගික සියලු ශ්‍රමය වගුරුවමින් ජීවිතය ගැටගසා ගන්නා ජීවන අරගලයේ දරුණුවට ම එරුණු ගැහැනියකි".

ඔවුන් එකට එකතුවන්නේ "වාලම්පුරියක් කෙසේ හෝ කෝටි ගණනකට විකුණා තම ජීවිතයට සැප සතුට ළඟා කර ගැනීමට" ය.

ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, වසන්ත මොරගොඩ, තුමිඳු දොඩන්තැන්න, ධර්ෂන් ධර්මරාජ්, අංජන ප්‍රේමරත්න, අෂාන් ඩයස්, උදයන්ති කුලතුංග, කින්ග් රත්නම් සහ නිරෝෂන් වීරසිංහ ඇතුළු රංගන ශිල්පීහු මෙහි රංගනයෙන් දායකවන නළු නිළි කැළ අතර වෙති.

"අපිට තියෙන්නේ ෂෝට් කට් ලයිෆ් එකක් නේ. අපි ලොතරැයි ගන්නවා උදේට හවසට. එක්කෝ කොමිස් ගහනවා. ඒකට හේතුව, අපිට හරි පාරේ ජීවිතේ යන්න බැහැ උඩට මෙහෙම. ඒ නිසා අපි හැම වෙලේ ම හොයනවා විකල්ප මාර්ග. අපේ මුළු ජීවිතේ ම හැදිලා තියෙන්නේ විකල්ප මාර්ගත් එක්ක.

සමහරුන්ට එයාගේ වාලම්පුරිය හම්බ වෙනවා. සමහරුන්ට හම්බ වෙන්නේ නැහැ. අපි මේ රූපකය තමයි ගන්නේ, සහ හැම වෙලාවේ ම අපි එකිනෙකා එකිනෙකාගේ දුෂ්ඨයෝ කියන එක. අපි හැම වෙලේ ම හිතනවනේ චිත්‍රපටවල දුෂ්ඨයා එළියෙන් එන්න ඕනේ, වීරයා ලාජර් දෑන් ලයිෆ් වගේ වෙන්න ඕනේ කියලා," තිරගත වීමට නියමිත තම ප්‍රථම සිනමා නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින්, 'වාලම්පුරි' අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ඇතැම් විට 'වාලම්පුරි' චිත්‍රපටය හේතුවෙන් 'කූඹියෝ' ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂකයින් තමා සමග අමනාප වනු ඇති බව ය.

"මේ ෆිල්ම් ඒකේදි සමහර විට මගේ 'කූඹියෝ' ප්‍රේක්ෂකයෝ මාත් එක්ක අමපාන වේවි. දැන් ජෙහාන් ගත්තොත් එයා ලාජර් දෑන් ලයිෆ් වීරයෙක්. හැබැයි මේකෙදි සිඩ්නි ගතහොත් එහෙම නැහැ. එයා සාමාන්‍ය මිනිහෙක්. එයා වැඩිපුර කරන්නේ ගුටිකන එක. ගුටිකන සුපර් හීරෝ කෙනෙක් එයා," ඔහු පැවසීය.

"මම හිතන්නේ වාලම්පුරි කියන චිත්‍රපටයේ තියෙන්නේ ම, අපි කියන ඔය සම්මත සමාජයේ එකඟතාවලට පහළින් ඉන්න මිනිස්සු ස්ථරයේ, ජීවිතයේ දිව්‍යලෝකය හොයාගෙන යන්න ට්‍රයි කරන ගමනක් සහ ඒකේ තියෙන වෙහෙස ඇත්තට ම," ලක්මාල් වැඩිදුරටත් පැවසීය.

2. මැයි මාර ප්‍රසංගය

A scene of Maei Mara Prasangaya

ඡායාරූප මූලාශ්‍රය, Maei Mara Prasangaya | Mahinda Prasad Masimbula

ඡායාරූප ශීර්ෂ වැකිය, "එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයි ද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්ද ම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්. ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්, කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි..."

මැයි මාර ප්‍රසංගය නවකතාව කියැවූ අයෙකුට මෙය අමතක කළ නොහැකි වදන් පෙළකි:

"එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයි ද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්ද ම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්. ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්, කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි..."

නවකතාකරුවෙකු චිත්‍රපටකරුවෙකු වන අවස්ථාවක් ලෙස 'මැයි මාර ප්‍රසංගය' හැඳින්විය හැකි අතර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සිය සිව්වන නවකතාව පාදක කරගෙන නිර්මාණය කරන ඔහුගේ පළමු සිනමා නිර්මාණය ද එය වෙයි.

පාඨක ඔබට නවකතාව තුළ හමුවන චරිත වටා ගෙතුණු කතාන්දරය ජීවමාන චරිත වටා ගෙන යන 'මැයි මාර ප්‍රසංගය' චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල බීබීසී සිංහල වෙත පැවසීය.

"මම විසින් ම ලියපු නවකතාවක් පාදක කරගෙන තමයි මැයි මාර ප්‍රසංගය චිත්‍රපටය කළේ. මගේ හතරවන නවකතාව. මගේ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මේ වෙද්දී සංස්කරණ කටයුතු සහ හඬකැවීම් ඉවර කරලා තියෙනවා. මේ වෙලාව පවතින්නේ සංගීත කටයුතුවල. අවසාන අදියරේ තමයි ඉන්නේ දැනට," ඔහු සඳහන් කළේ ය.

ඔහු විසින් පළමු වරට රචනා කරන ලද 'සෙංකොට්ටං' සිනමා කෘතියක් බවට පත් කිරීමට සිහිනයක් තිබුණ ද පසුව එය දුරස් වූ බව ඔහු පැවසීය.

"චිත්‍රපටයක් කරනවා කියන එක ගොඩක් අතීතයේ ඉඳලා ම තිබුණු හීනයක්. විටින් විට මම උනන්දු ඒක කවදාවත් කෙරුණේ නැහැ. මුල් ම සිහිනය තිබුණේ මගේ පළවෙනි නවකතාව 'සෙංකොට්ටං' චිත්‍රපටයකට නගන්න. නමුත් ඒක වෙනත් කෙනෙකුට දෙන්න සිද්ධ වුණා ඒ දවස්වල ම, චිත්‍රපට අයිතිය. ඒකෙන් මගේ චිත්‍රපට සිහිනය දුරස් වුණා."

'මැයි මාර ප්‍රසංගය' නවකතාව තුළ හමුවන සමිධගේ චරිතය රොෂාන් රවීන්ද්‍ර විසින් ද, සංචරණිගේ චරිතය උමාලි තිලකරත්න විසින් ද කථක තරුණයාගේ චරිතය සේවියර් කණිෂ්ක විසින් ද රඟ දක්වනු ලබති.

සමිධගේ මව චරිතයට ශ්‍රියානි අමරසේන පණ පොවන අතර ඔහුගේ පියාගේ චරිතය විශ්වජිත් ගුණසේකර විසින් රඟ දක්වනු ලබයි.

"'මැයි මාර ප්‍රසංගය' කරනවා ම කියන එකේ හිටියේ නැහැ. ඒක ටිකක් අභියෝගයක් හැටියට මම සැලකුවේ. මුලින් ටිකක් අමාරුයි කියලා හිතුණේ. නමුත් මේ ගැන සාකච්ඡා කරනකොට නිෂ්පාදකතුමිය කිව්වා කැමතියි කියලා, කතාව කියවලා," මහින්ද ප්‍රසාද් මස්ඉඹුල වැඩිදුරටත් බීබීසී සිංහල වෙත පැවසීය.

'මැයි මාර ප්‍රසංගය' මෙම වසරේ තිරගත කිරීමට සැලසුම් කර තිබේ.

3. මාරියා - The Ocean Angel

Maariya film poster.

ඡායාරූප මූලාශ්‍රය, Maariya | Aruna Jayawardana

ඡායාරූප ශීර්ෂ වැකිය, "ධීවරයෝ සාමාන්‍යයෙන් මාස දෙක තුන මුහුදු යනවනේ. පිරිමි විතරයි නේ එතකොට. දැන් ඔය වගේ තැනකට ගැහැනියක් හදිස්සියේ ආවා ම මොක ද වෙන්නේ කියන එක. ඕකත් එක්ක තමයි මම මාරියා කතාව ලියන්න පටන් ගත්තේ"

සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති මාරියා - The Ocean Angel චිත්‍රපටය නුදුරේදී ම ශ්‍රී ලාංකික සිනමා රසිකයින්ට නැරඹීමට අවස්ථාව උදාවේ.

මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ් සහ සුරන් දසනායක රංගනයෙන් දායක වන මෙම සිනමා නිර්මාණයේ කතාන්දරය ධීවරයින් 7 දෙනෙකු වටා ගෙතී ඇත.

එහි අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන බීබීසී සිංහල වෙත අදහසක් දක්වමින් පැවසුවේ, ඉන්දුනීසියාවේ ධීවරයින් පිරිසක් සම්බන්ධ ප්‍රවෘත්තියක් මෙම චිත්‍රපටය ලිවීමට හේතු වුණු බව ය.

"මේ නිව්ස් එක මට ලොකු බලපෑමක් ඇති කළා. ධීවරයෝ සාමාන්‍යයෙන් මාස දෙක තුන මුහුදු යනවනේ. පිරිමි විතරයි නේ එතකොට. දැන් ඔය වගේ තැනකට ගැහැනියක් හදිස්සියේ ආවා ම මොක ද වෙන්නේ කියන එක. ඕකත් එක්ක තමයි මම මාරියා කතාව ලියන්න පටන් ගත්තේ," ඔහු ඒ පිළිබඳව පැහැදිලි කළේ ය.

මුහුදු රස්සාවට ගොස් සිටින ධීවරයින් 7 දෙනෙකුට මහ මුහුද මධ්‍යයේදී 'සෙක්ස් ඩෝල්' කෙනෙකු හමුවීම සහ එම සිදුවීම වටා මෙම චිත්‍රපටය දිග හැරේ.

අරුණ ඒ පිළිබඳව මෙලෙස පැහැදිලි කළේ ය:

"මාරියා කියන සෙක්ස් ඩෝල් ඇවිල්ලා, මට අනුව සිම්බල් එකක්. මේ ධීවරයෝ පස් දෙනයි, අනිත් කෙනයි සමගියෙන් ඉන්නවා. ටැමිල් අය ඉන්නවා, කාස්ට් එක අනුව වෙනස් අය ඉන්නවා. අත්දැකීම් අනුව වෙනස් අය ඉන්නවා. නමුත් කිසි ගැටලුවක් නැතුව මේ අය එකට වැඩ කරනවා. නමුත් මුහුදේ නිකම් පාවෙලා ආව දෙයක් ඇතුළට ගත්තාට පස්සේ, මේ තියෙන අපේ වටිනාකම්වලට මොක ද වෙන්නේ? කියන එක. රටක් විදිහටත් අපි අහක යන දේවල් ඇඟට දාගෙන අපේ දේවල් නැති කර ගන්නවා නේ. ඕක තමයි මට මේ ෆිල්ම් එක ඇතුළේ කතා කරන්න ඕනේකම තිබුණේ."

මීට පෙර ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් "සම්පූර්ණයෙන් ම මුහුදේ රූගත කර නොතිබුණු බැවින්" දින 22ක කාලයක් 'මාරියා' මුහුදේ රූගත කිරීම අභියෝගයක් වූ බව අරුණ ජයවර්ධන බීබීසී සිංහල වෙත පැවසීය.

"මුහුදේ ෆිල්ම් එකක් සාමාන්‍යයෙන් නම් පිටරටවල්වල කරන්නේ ස්ටුඩියෝවල නේ. දවස් 22ක් වගේ අපි ෂූට් කළා. ඒ දවස් 22 ම අපිට මුහුදට යන්න වුණා. අපි මීගමුවෙන් තමයි මුහුදට ගියේ. ගොඩබිම පේන්නේ නැති වෙනකම් ගිහිල්ලා ඊට පස්සේ අපි ෂූටින් පටන් ගන්නවා. ඒ අත්දැකීම තිබුණේ නැහැ අපි කාටවත්. ලංකාවේ සම්පූර්ණ ෆිල්ම් එකක් මුහුදේ රූපගත කරලා තිබුණෙත් නැහැ. එතකොට මේ අත්දැකීම මේ ෂූට් එක ඇතුළේ ම තමයි අපිට ගන්න පුළුවන් උණේ," ඔහු චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වූ ආකාරය පැහැදිලි කළේ ය.

අරුණ සඳහන් කළේ, මාරියා චිත්‍රපටයේ සංගීතය විශේෂ වන බව ය. එනම්, 'සෙක්ස් ඩෝල්' පැමිණීමට පෙර සහ පසු ලෙස මානව සිතුවිලිවල වන වෙනස හැඟවීමට සංගීතය ආකාර දෙකකින් සංයෝජනය කර ඇති බව ඔහු පැවසීය.

2022 වසරේ වියට්නාම්යේ පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී 'මාරියා' චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළුවන් 7 දෙනා ම, හොඳ ම නළුවන්ට හිමි සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ම එය යාල්ටාහි Eurasian Bridge සිනමා උළෙලේදී ද හොඳ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

4. බහුචිතවාදියා - The Undecided

A poster of The Undecided film.

ඡායාරූප මූලාශ්‍රය, Malaka Dewapriya | The Undecided

ඡායාරූප ශීර්ෂ වැකිය, "චිත්‍රපටයේ තේමාව තමයි සමකාලීන ලංකාවේ තරුණ ජීවිතවල තියෙන ඛේදවාචකය. එක පැත්තකින් සමාජ මාධ්‍ය, අනෙක් පැත්තෙන් මේ රටෙන් පැන යාමට ඇති සිහිනය, සහ අපි අනෙකාව අපේ ඉල්ලක්ක සඳහා පාවිච්චි කරන එක"

මැයි මාසයේ අග තිරගත වීමට නියමිත 'බහුචිතවාදියා' චිත්‍රපටය මාලක දේවප්‍රියගේ අධ්‍යක්ෂණයකි. එහි තිර රචකයා ද නිෂ්පාදකයා ද ඔහු ය.

"සමකාලීන ශ්‍රී ලංකාවේ තරුණ ජීවිත තුළ ගැබ්ව පවතින ඛේදවාචකය" මාලක සිය චිත්‍රපයට මගින් ගෙන හැර දක්වයි.

කලණ ගුණසේකර විසින් රඟ දක්වනු ලබන සසිත වන්නිගම යන චරිතය වටා මෙහි කතාන්දරය දිග හැරෙයි.

සසිත යනු, 'ගිෆ්ට්නෙට්' නමැති තෑගි බෙදා හැරීමේ ආයතනයක තෑගි බෙදා හරින්නෙකි. ඔහුගේ චාරිකාවේදී හමුවන විවිධ මිනිසුන් සමග මෙම කතාව ගලාගෙන යයි.

මාලකට අනුව, ඔහු විධිමත් අධ්‍යාපනයක් නොලද තරුණයෙකි. රැකියා සුරක්ෂිතභාවයක් නොමැති නිසා මුදල් සෙවීමේ පහසු මාර්ග සොයමින් විදේශගත වීමේ උන්මාදයෙන් පෙළෙන්නෙකි.

"චිත්‍රපටයේ තේමාව තමයි සමකාලීන ලංකාවේ තරුණ ජීවිතවල තියෙන ඛේදවාචකය. එක පැත්තකින් සමාජ මාධ්‍ය, අනෙක් පැත්තෙන් මේ රටෙන් පැන යාමට ඇති සිහිනය, සහ අපි අනෙකාව අපේ ඉල්ලක්ක සඳහා පාවිච්චි කරන එක. මේ වගේ තේමාවක තමයි, ඉතා ම කෙටියෙන් කිව්වොත් චිත්‍රපටය යන්නේ," මාලක බීබීසී සිංහල වෙත පැවසීය.

වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, ඩී.බී. ගංගොඩතැන්න, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්‍රීගේ, සුලෝචනා විතානාරච්චි, ප්‍රසාදිනී අතපත්තු, නිල්මිණි බුවනෙක රසික ඔබට මෙම චිත්‍රපටයේදී හමුවන සෙසු නළු නිළියෝ වෙති.

කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව විසින් ඉදිරිපත් කරනු ලබන මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ මීට පෙර රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කර තිබුණේ, මේ හරහා තමා "නව ආකාරයක පතිරාජයානු ආභාෂයක්" දකින බව ය.

එහි "සිනමා ඡායාරූපකරණයේදී කොළඹ නගරය රූපගත කර ආකාරය ඉතාමත් ම නිර්මාණශීලීයි," යැයි ද ඔහු පැවසීය.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ද 'බහුචිතවාදියා' පිළිබඳව අදහස් දක්වමින් වරෙක සඳහන් කර තිබුණේ, 1974 තිරගත වුණු සිය 'අහස් ගව්ව' චිත්‍රපටය සේ ම "මාලකගේ චිත්‍රපටය ද අසංවිධිත නූතන බවකින් යුක්ත බව ය.

එය "ජීවිතයේ ඕරාව (aura) හෙවත් ප්‍රභාව ආවරණය කරමින් සයිබර් මාධ්‍ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (texts), ආඛ්‍යාන (narratives) ව්‍යුහහ (Structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත.

ගමෙන් නගරයට සංක්‍රමණය වී තමන් අපේක්ෂා කරන අරමුණු කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමේ නිමග්නව සිටින ප්‍රධාන චරිතයක් හා තවත් චරිත කීපයක මානුෂික සබඳතා මෙහි දැක්වේ.

අජිත් තිලකසේන රචනා කළ 'පාර දිගේ' චිත්‍රපටයේ චන්දරේට පරස්පර වූ සූක්ෂම න්‍යාය පත්‍රයක් මෙම තරුණයාට ඇත. ඔහු කාන්තාවන් හයක් එක ම කාලයක ඇසුරු කරමින්, යහන් ගතවෙමින් තම අරමුණ හඹායයි," ධර්මසේන පතිරාජ 'බහුචිතවාදියා' ගැන එලෙස වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

5. මෝඩ තරිඳු

A scene of Moda Tharindu.

ඡායාරූප මූලාශ්‍රය, Moda Tharindu | Thisara Imbulana

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම හිතනවා අපේ චිත්‍රපටයත් මේ කාලවකවානුවේ තියෙන වෙන චිත්‍රපටවලට වඩා වෙන රහකින් ඕඩියන්ස් එක වෙන රහකින් ටච් කරන්න පුළුවන් පීස් එකක් කියලා"

'නිනෝ ලයිව්' චිත්‍රපටයෙන් වසර 10කට පමණ පසු මෙරට සිනමා රසිකයින්ට තිසර ඉඹුලානගේ දෙවන සිනමා නිර්මාණය ලෙස 'මෝඩ තරිඳු' චිත්‍රපටය මෙම වසරේදී නැරඹීමට අවකාශය ලැබේ.

Horror / Comedy ශානරයට අයත් චිත්‍රපටයක් වන 'මෝඩ තරිඳු' ආදර කතාවක් පදනම් වූ චිත්‍රපටයකි.

"දෙන්නෙක් ආදරය කරද්දී ඒ දෙන්නගේ තියෙන සම්බන්ධතාව ම නෙවෙයි ඇත්තට ම ඒ සම්බන්ධතාව පිට ඉඳන් බලන මිනිස්සුන්ට පේන්නේ. ඇත්ත මොකක් ද බොරු මොකක් ද කියලා ආදරේ කරන දෙන්නටත් සමහර වෙලාවට ප්‍රශ්නයක්. අන්න ඒ වගේ සිද්ධියක් පදනම් කරගෙන ඒකට පොඩි කොමඩි එලිමන්ට් එකතු කරලා තමයි මේ ෆිල්ම් එක ලියලා තියෙන්නේ," තිසර බීබීසී සිංහල සමග සිය චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳව අදහසක් දක්වමින් පැවසීය.

සූර්යා දයාරුවන් සහ කෞෂල්‍යා ප්‍රනාන්දු ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන 'මෝඩ තරිඳු' චිත්‍රපටයේදී ධනුක ඩිල්ශාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ෂෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක සහ නිල්මිණි කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ සහ ශාක්‍ය ශ්‍රීවර්ධන ආදී රංගන ශිල්පීන් ද රසික ඔබට හමුවේ.

මේ වන විට ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ ගයන එහි නිල ගීතය 'කෙහෙරැල්ලේ' නිකුත් කර තිබේ.

"මම හිතනවා අපේ චිත්‍රපටයත් මේ කාලවකවානුවේ තියෙන වෙන චිත්‍රපටවලට වඩා වෙන රහකින් ඕඩියන්ස් එක වෙන රහකින් ටච් කරන්න පුළුවන් පීස් එකක්," තිසර වැඩිදුරටත් 'මෝඩ තරිඳු' පිළිබඳව පැවසීය.

6. Father

Father film still image.

ඡායාරූප මූලාශ්‍රය, Chaminda Jayasuriya | Father

ඡායාරූප ශීර්ෂ වැකිය, "ගම්පහ ඉන්නවා ඔස්මන් කියලා චරිතයක්. ඒ ඔස්මන්ගේ කතාව තමයි මේකේ පාදක කතාව වෙන්නේ. Father කියන්නේ, මේ චරිතය සමාජයට අහිතකර ගොඩක් දේවල් අයින් කරලා දෙනවා තමන්ගේ දරුවෝ සහ සමාජයේ දරුවෝ වෙනුවෙන්"

ශ්‍රී ලංකාවේ 70-90 දශකයේ සිදු වූ සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කර ඇති 'Father' චමින්ද ජයසූරියගේ පළමු සිනමා නිර්මාණය යි.

නළු නිළියන් "104 දෙනෙකු පමණ" රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මෙම වසරේ මැයි-ජූනි කාලය තුළ තිරගත කිරීමට සැලසුම් කර තිබේ.

වර්තමානය දක්වා ද යම් කොටස් විහිදෙන 'Father' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඩෙස්මන්ඩ් ගුණවර්ධන ලෙස සෞම්‍ය ලියනගේ සිය රංග කාර්යයේ නියැලෙයි. ඩෙස්මන්ඩ් ගුණවර්ධනගේ තරුණ විය නිරූපණය කරනු ලබන්නේ පූජන දන්දෙණිය විසිනි.

ඔහුගේ බිරිඳ ලෙස දිල්හානි අශෝකමාලා රංගනයෙන් දායක වන අතර ඇයගේ තරුණ විය අනුෂ්කි ප්‍රේමරත්න විසින් නිරූපණය කරනු ලබයි.

ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ජනක රණසිංහ, සේවියර් කණිෂ්ක, සනත් විමලසිරි, මනෝජා ප්‍රනාන්දු, ෂ්‍යාම් ප්‍රනාන්දු, අංජන ප්‍රේමරත්න, සරත් කොතලාවල, ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද, සිසිර තඩිකාර සහ අකලංක ප්‍රභාශ්වර යනු මෙහි ඔබට හමුවන සෙසු රංගන ශිල්පීහු වෙති.

Crime / Drama කියන ශානරයට අයත් 'Father' චිත්‍රපටය Gangster චිත්‍රපටයක් ලෙස චමින්ද ජයසූරිය හඳුන්වයි.

Father චිත්‍රපටය පිළිබඳව බීබීසී සිංහල සමග සංවාදයට එක්වෙමින් ඔහු මෙලෙස පැවසීය:

"ගම්පහ ඉන්නවා ඔස්මන් කියලා චරිතයක්. ඒ ඔස්මන්ගේ කතාව තමයි මේකේ පාදක කතාව වෙන්නේ. Father කියන්නේ, මේ චරිතය සමාජයට අහිතකර ගොඩක් දේවල් අයින් කරලා දෙනවා තමන්ගේ දරුවෝ සහ සමාජයේ දරුවෝ වෙනුවෙන්.

මේ චරිතය, මුල් කාලයේ ෆාදර් කෙනෙක් වෙන්න, අර පල්ලියේ ඉන්නේ ඕල්ටර් බෝයි කියන්නේ... ඉතා ම ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ වෙලා හිටපු චරිතයක්, අහඹු ලෙස යම් සිද්ධියක් පදනම් කරගෙන, අර සමාජය කියන අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහෙනවා. සාමාන්‍යයෙන් අපි පාතාල නායකයෙක් හඳුන්වනවනේ 'ගෝඩ් ෆාදර් කියලා', අන්න ඒ 'ගෝඩ් ෆාදර්' කඩලා ඇවිල්ලා 'ෆාදර්' කියන එකෙනුත් මේක අර්ථ ගන්වන්න පුළුවන්."

Father චිත්‍රපටයේ දමිළ අනුවාදයක් ඉදිරියේදී නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද චමින්ද බීබීසී සිංහල සමග වැඩිදුරටත් පැවසීය.

*චිත්‍රපට අනුපිළිවෙළ තිරගත වීමේ අනුපිළිවෙළ නොවන බව සලකන්න