ඩබ්ලිව්. ජයසිරි: විශිෂ්ට රංගධරයා දිවි රඟ මඩලින් බැස යයි

ඡායාරූප මූලාශ්‍රය, Peter Jerome Thisarana Perera/Facebook
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ “ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ, විශිෂ්ට රංගධරයෙකු” වූ ඩබ්ලිව්. ජයසිරි සෙනසුරාදා (සැප්. 21) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විය ඔහු 77 වන වියේ පසු විය.
විශිෂ්ට රංගධරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වුව ද, ඔහු අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මෙන් ම සාහිත්‍යධරයෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවෙකි.
මුල් විය
1947 මැයි 1 වන දා වීරපුල්ලිගේ ජයසිරි හෙවත් ඩබ්ලිව්. ජයසිරි ගාල්ල, හිරිඹුර ප්‍රදේශයේදී උපත ලැබී ය.
ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ, කිතුලම්පිටිය මධ්‍ය විද්‍යාලයෙනි. පසුව මාතර, සුමංගල විද්‍යාලයෙන්, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය.
පසුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ආර්ථික විද්‍යාව, ඉතිහාසය සහ සිංහල විෂයයන් හැදෑරීය.
රංගන දිවියේ ඇරඹුම
විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ ඔහු නාට්‍ය උළෙල කිහිපයකට සහභාගී වූ අතර එහිදී සුගතපාල ද සිල්වා හැඳිනගෙන තිබිණි.
ඇතැමුන් පවසන්නේ, ඩබ්ලිව්. ජයසිරි සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි බව ය.
“මගේ මතකය නිවැරදි නම් එතුමා සහය අධ්‍යක්ෂවරයෙක් හැටියට තමයි මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්නේ. අපට පේන මානයේදී එතුමා ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා. ඒ වගේ ම රංගනයෙන් දායක වුණා,” ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් බීබීසී සිංහල සේවයට පැවසීය.
කෙසේ වෙතත්, ඔහු සහය අධ්‍යක්ෂණයට පිවිසීමට පෙර වේදිකා නාට්‍යවලට සම්බන්ධ වී සිටි බව ද පැවසේ.
ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍ය රංගනය සිදුවූයේ, 1966 දී ‘හරි ම බඩු හයක්’ දෙවන සංස්කරණය තුළිනි.
ඊට අමතරව, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනුගමුවේ, මුතු කුමාරි වැනි නාට්‍යවල සහ ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ නාට්‍යයේ ද රංගන ශිල්පියෙකු ලෙස දායක විය.
එච්.ඩී. ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද විසිදැල චිත්‍රපටය ඔහු සිනමා පටයක ප්‍රධාන චරිතයට පණ පෙවූ පළමු චිත්‍රපටය වේ.
‘ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ, විශිෂ්ට රංගධරයෙක්’
“ඩබ්ලිව්. ජයසිරි කියන්නේ අපට හිටිය ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ, විශිෂ්ට රංගධරයෙක්. එතුමත් එක්ක මට නිර්මාණ කිහිපයක ම වැඩ කරන්න ලැබුණා. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කියන ක්ෂේත්‍ර සියල්ලේ ම අපි ගනුදෙනු කළා. ඔහු රංගධරයෙක් වගේ ම විශිෂ්ට ගුරුවරයෙක්. රංගනයේදී ඔහු කියා දෙන පාඩම් අතිශය වැදගත් වුණා අපට චරිත ගොඩනගා ගැනීමට. එතුමාණන්ගේ පාඩුව පිරිමහන්නට නම් කෙනෙක් අපේ ක්ෂේත්‍රය තුළ නෑ කියල යි මට නම් හිතෙන්නේ,” ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසීය.
‘දුර්ලභ ගණයේ රංගන ශිල්පියෙක්’
ඩබ්ලිව්. ජයසිරි ලාංකික කලා ක්ෂේත්‍රයට බිහිවූ දුර්ලභ ගණයේ රංගන ශිල්පියෙකු බව චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි පවසයි.
“ඩබ්ලිව්. ජයසිරි අපේ රටේ බිහි වුණ ඉතා ම දුර්ලභ ගණයේ රංගන ශිල්පියෙක්. ඔහු අපේ වේදිකාවේ 60 දශකයේ සහ 70 දශකයේ ඔහු ඉතා ම වැදගත් නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා. ඒ වගේ ම, ඔහු 80 දශකයේ සුගතපාල ද සිල්වා මහතා නිර්මාණය කරපු ‘මරාසාද්’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළා,” ජයන්ත චන්ද්‍රසිරි බීබීසී සිංහල සේවයට පැවසීය.
ජයන්ත චන්ද්‍රසිරි වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන ආදී ඔහුගේ නිර්මාණ රැසකට ඩබ්ලිව්. ජයසිරි සම්බන්ධ කර ගත්තේ ය.
“මගේ නිර්මාණ බොහොමයකට ඔහුව යොදා ගත්තේ ඔහු තුළ තිබුණ සුවිශේෂී දක්ෂතා සහ ශරීර ස්වරූපය නිසා. ඔහු ඉතා ගැඹුරු චරිතාංග නිරූපණ ආයාසයකින් තොරව නිරූපණය කළා. යථාර්ථවාදී රංගන හැකියාවක් තිබුණා.”
‘සම්මානනීය ගීත රචකයා’
ඔහු සම්මානනීය ගීත රචකයෙකු වූ බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.
ඔහු ධර්මසේන පතිරාජයන්ගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ ‘හඳුනාගත්තොත් ඔබ මා’ ගීතයට 1980 වසරේදී ජනාධිපති සම්මාන හිමි විය.
ඊට අමතරව, චිට්ටි චිත්‍රපටයේ ‘ලොරෙන්සෝ ද අල්මේදා’ ගීතය, ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයේ ‘බොඳ වී බොඳ වී’ ගීතය මෙන් ම සංගීත් විජේසූරිය ගයන ‘නිවෙන හිනා’ ගීතය ද ඇතුළු ගීත කිහිපයක ගේය පද රචකයා ඔහු ය.
“ගීත රචකයෙක් වශයෙන් ඔහු ගැන කියන්න ම ඕන. ඔහු වඩාත් දීප්තියට පත්වෙන්නේ බඹරු ඇවිත් චිත්‍රපටයේ ‘හඳුනාගත්තොත් ඔබ මා’ ගීතය රචනා කිරීමෙන්. ඒ වගේ ම ඔහු මම මුලින් ම නිර්මාණය කරපු ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයේත් ඔහු ගීතයක් රචනා කළා. ‘බොඳ වී බොඳ වී’ කියලා. මගේ ඉල්ලීම මත කේමදාසයන්ගේ සංගීතයට ඒ ගීතය රචනා කළේ. ඒ ගීතය ගායනා කළේ රොස්කෝ විලියම්ස් කියන ඇමෙරිකානු ගායකයා. ඔහු ඉතා හොඳ සාහිත්‍යකරුවෙක්,” ජයන්ත චන්ද්‍රසිරි සඳහන් කළේ ය.
‘අනුර කරන්න යන වෙනස දකින තුරු ජීවත් වුණොත් ඇති’
ඔහු මෑතකදී සහභාගි වූ යූ ටියුබ් සාකච්ඡාවකදී පැවසුවේ, “අනුර කුමාර දිසානායක දිනනවා නම් හොඳ,” බව ය.
“රටේ මිනිස්සුන්ට වෙනසක් අවශ්‍ය යි. හැබැයි ඒක බලන්න අපි නාකි යි. අනුර කුමාර මේ වැඩේ කොහොම කරයි ද කියලා බලන්න පුළුවන් වුණොත් හොඳ යි කියලා මම ප්‍රාර්ථනා කරනවා,” එහිදී ඔහු පැවසීය.














