ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව: ෆේස්බුක් පරිශීලකයින්ට 'තර්ජනයක්'?

මෙරට මහජන සාමය, ආරක්ෂාව වෙනුවෙන් වගකියනු ලබන ප්‍රධාන ප්‍රමුඛතම ආයතනය වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවයි. එහි නිල ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් මෑත කාලයේදී බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

එම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේදී අසභ්‍ය වචන භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය ජූලි 2 දැනුම් දුන්නේ ය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ, එම දෙපාර්තමේන්තුව මහජනතාවගේ අදහස් සහ විවේචන සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගන්නා බැවින්, ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ අදහස් බෙදා ගැනීමට සභ්‍ය වචන භාවිත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ය.

අසභ්‍ය වචන භාවිත කිරීමෙන් අදහස් දක්වන පුද්ගලයාගේ චරිතයට ඉන් හානි සිදුවන බවත්, අනාගතයේදී එවැනි පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බවට ද පොලිසිය සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහනේ සඳහන් කර තිබිණි.

පොලිසියට ලැබුණු ප්‍රතිචාරය

පොලිස් දෙපාර්තමේන්තුව පළ කර තිබූ එම පෝස්ටුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් ද ප්‍රතිචාර දක්වා තිබිණි. එහිදී ඇතැම් පරිශිලකයින් සඳහන් කර තිබුණේ, ඇතැම් අවස්ථාවලදී පොලිස් නිලධාරීන් ද අසභ්‍ය වචන භාවිත කරන බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මහජනතාවට ද ක්‍රමයක් සලසා දිය යුතු බවයි.

ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහනට එක් පරිශීලකයෙකු මෙලෙස ප්‍රතිචාර දැක්වීය:

"ඒ වුණාට සමහර පොලිස් මහත්තුරු මිනිස්සුන්ට කතා කරන විදිහ සභ්‍ය නැහැ," යනුවෙනි.

"අනුන් හදන්න කලින් තමන්ගේ දෙපාර්තමේන්තුව හදාගන්න," යනුවෙන් ද ඇතැම් පරිශීලකයින් ප්‍රතිචාර දක්වා ඇති අයුරු නිරීක්ෂණය විය.

"පොලිසියේ නිලධාරීන්ටත් උගන්වන්න ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය. සැකකරුවන්ට අසභ්‍ය වචන, ගුටිබැට වගේ ම දාන බොරු නඩු මගින් හානි වන්නේ පොලිස් නිලධාරීන්ගේ චරිතයයි, පොලිසිය ගැන මහජනතාව තුළ තියෙන විශ්වාසයයි කියලා," නීතිඥවරයෙකු වන තිෂ්‍ය වේරගොඩ ද මෙහිදී අදහස් දැක්වීමක් සිදු කරමින් සඳහන් කර තිබිණි.

'පොලිස් ෆේස්බුක් පිටුවේ චර්යාධර්ම සංග්‍රහයක් නැහැ'

පොලිස් නිල ෆේස්බුක් පිටුවේ පරිශීලකයින්ට අදහස් දැක්වීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන සඳහන් වන චර්යාධර්ම සංග්‍රහයක් ඇතුළත් වී නොමැති බැවින් ඔවුන් පවසන ආකාරයට අසභ්‍ය වචන යනුවෙන් අදහස් කරන්නේ කුමන වචන ද යන්න පැහැදිලි නිර්වචනය කිරීමක් සිදුකිරීම අසීරු වන බව බිබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව පැවසුවේ ය.

"පොලිසියේ ෆේස්බුක් පිටුවේ චර්යා ධර්ම සංග්‍රහයක් පළ කරලා නැහැ. ඒ කියන්නේ මොකක් ද මේ අසභ්‍ය වචන කියන එක ගැන පැහැදිලි සඳහන් කිරීමක් කරලා නැහැ. සමහර අවස්ථාවලදී භාවිත කරන වචන තියෙනවා ඒ වචනය හරහා ඇතැම් විට පොලිසිය කරන දේ ඇගයීමක් කරා වෙන්න පුළුවන්,"

"ඒ නිසා පොලිසිය පළ කරලා තියෙන පෝස්ට් එක අනුව අසභ්‍ය වචන කියන්නේ මොකක් ද කියන එක ගැන ප්‍රශ්නයක් එනවා. පරිශිලකයින්ට උපදෙස් පිළිපදින්න හරි ඒ අසභ්‍ය වචන මොනවා ද කියලා සටහන් කරලා තියෙන්න ඕන. ඒ වගේ ම පොලිසියට පුළුවන් තමන්ගේ ෆේස්බුක් පිටුවේ මේ වගේ අදහස් පළ කරන්න පුළුවන්, ඒ වගේ ම මේ වගේ අදහස් පළ කිරීමක් කරන්න බැහැ කියන එක ගැන සඳහනක් කරලා තියන්න."

"ඒ වගේ ම ලංකාවේ වගේ සන්දර්භයක් තුළ පොලිසියේ නිල ෆේස්බුක් පිටුවට ගිහිල්ලා අසභ්‍ය වචන භාවිත කරලා කමෙන්ට්ස් දානවා කියන එක ගැන වෙන ම ම හිතන්න වෙනවා," යනුවෙන් ආචාර්ය සංජන හත්තොටුව තවදුරටත් පැවසීය.

'පොලිසිය ගන්න ක්‍රියාමාර්ගය මොනවා ද කියලා සඳහන් කරලා නැහැ'

අසභ්‍ය වචන භාවිත කරමින් අදහස් පළ කරන පුද්ගලයින්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය මොනවා ද යන්න පොලිසිය පැහැදිලිව සඳහන් කර නොතිබීම ගැටලුවක් බව ද මෙහිදී ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දුන්නේ ය.

"ෆේස්බුක් පෝස්ට් එකේ අන්තිම වාක්‍ය ඛණ්ඩය ගත්තා ම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ සන්දර්භය තුළ. ඒකෙ කියලා නැහැ ගන්න ක්‍රියාමාර්ග මොනවා ද කියලා. ඒ ගන්න ක්‍රියාමාර්ගය සමාජ මාධ්‍ය හරහා ගන්නා ක්‍රියාමාර්ගයක් ද, ඒ කියන්නේ පොලිසියේ ෆේස්බුක් පේජ් එකෙන් ඒ වගේ අදහස් පළ කරන අයගේ ගිණුම් බ්ලොක් කරනවා ද එහෙමත් නැත්නම් ගිණුම අත්හිටුවනවා ද කියලා හරියට කියලා නැහැ."

"එහෙමත් නැත්නම් ඒ වගේ අදහස් පළ කරන අයගේ ගෙවල්වලට පොලිසියෙන් හොයාගෙන ගිහිල්ලා අත්අඩංගුවට අරන් හිරේ දානවා කියලා සඳහනක් නැහැ."

"ඒ වගේ ම මේ වෙද්දී ලංකාවේ මාර්ගගත ආරක්ෂක පනත ක්‍රියාත්මක නිසා තමන්ට එරෙහිව අසභ්‍ය වචන පළ කරන අයට එරෙහිව ඒ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්න පොලිසියට හැකියාව තියෙනවා."

"'ඔබගේ අසභ්‍ය වචන භාවිතය මගින් හානි වන්නේ ඔබේම චරිතයයි,' කියන තැනින් මේක නතර කරලා සෝෂල් මීඩියා භාවිත කරන කොට අනුගමනය කරන්න ඕන මාර්ගෝපදේශ ගැන සඳහන් කිරීමක් කරලා තිබ්බා නම් වටිනවා."

"ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය එක්ක පොලිසිය මොකක් ද කරන්නේ කියලා හිතන්න බැහැ නේ. මේක යම් කිසි විදිහේ තර්ජනයක් ද කියලා පොඩි ඇඟවීමක් තියෙනවා. ඉතිහාසය එක්ක සම්බන්ධ කරලා බලද්දී ඒ ගැන යම් කියවීමක් තියෙනවා." ඔහු පැවසුවේ ය.

මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

මේ අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවෙන් තමන්ව අවහිර (block) කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස තමන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මානව හිමිකම් කඩ වූ බවට සඳහන් කරමින් රුක්ෂාන් ප්‍රියන්ත නමැත්තෙකු පසුගිය දා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ශක්තිමත් ඩිජිටල් අවකාශයක ආරම්භයක් වෙනුවෙනුත් පියවරක් තැබීම සඳහා තමන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

පොලිසියෙන් ලැබුණු ප්‍රතිචාරය

සිය ෆේස්බුක් පිටුවේ අසභ්‍ය වචන භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට දක්වා ඇති පෝස්ට්ටුව මගින් අදහස් කරන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්ගෙන් විමසීමක් කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි:

"සමහර අය ෆේස්බුක් එකේ අසභ්‍ය වචන භාවිත කරලා අදහස් පළ කරලා තියෙනවා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. පරිභවාත්මක වචනවලින්, අසභ්‍ය වචනවලින් මේ වගේ අදහස් පළ කිරීම හොඳ නැහැ. මොකද ගොඩක් දෙනෙක් මේ ෆේස්බුක් ගිණුම පාවිච්චි කරනවා. එහෙම කරන අයව එතනින් ඉවත් කරන්න අපි කටයුතු කරන්න ඕන. ඒක හොඳ නැහැ නේ," යනුවෙනි.