ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මිය යන සැකකරුවන්: 'කිසි ම කෙනෙකුට දඬුවමක් දෙන්න බැහැ අධිකරණයෙන් තොරව'

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පළා යමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරකින් මිය ගිය බව පොලිසිය පෙබරවාරි මස 22 දින නිවේදනය කළේ ය.

'පෙබරවාරි 21(ඊයේ) රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඝාතනය සිදු කළ අවස්ථාවේ දී ම හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණු බවත්; එහිදී එම සැකකරුවන් දෙදෙනා සඟවා ඇති බව කියන ආයුධ සොයා ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිස් ගිනිඅවි උදුරාගෙන ප්‍රහාර එල්ල කිරීමට තැත් කිරීමේදී එහි සිටි පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරවලින් මිය ගිය බව' පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසීය.

පොලිසිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් එල්ල කළ බව කියන වෙඩි ප්‍රහාර

"සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලිසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා. එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සහ කර තිබුණා. පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා," ඔහු පැවසීය.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ ය.

කෙසේ නමුත් සතියක් තුළ ආරක්ෂක අංශ භාරයේ සිටි සැකකරුවන් වෙඩි ප්‍රහාර වලින් මිය ගිය දෙවන අවස්ථාව ලෙස මෙම සිදුවීම වාර්තා වේ.

බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන 'ගණේමුල්ලේ සංජීව' හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළ පෙබරවාරි 19 වන දා ඝාතනයට ලක්වූයේ රට තුළ පවතින ආරක්ෂාව පිළිබඳව නව සමාජ කතිකාවක් නිර්මාණය කරමිනි.

දින කිහිපයක් තුළ රට පුරා සිදු වූ වෙඩි තැබීම්

මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් දෙදෙනෙකු මිය යාමේ සිදුවීමක් ද ඊට ඇතුළත් ය.

එමෙන් ම පෙබරවාරි 20 වන දා රාත්‍රීයේ ජා-ඇළ, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී වෙඩි තබා මරා දමන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ අතර පොලිසිය පැවුසුවේ එම පුද්ගලයා දණ ගස්සවා T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව යි.

මේ අතර මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට පෙබරවාරි 21 වන දා දහවල් කාලයේ වෙඩි තැබීමකට ගත් උත්සහය ව්‍යර්ථ වී තිබුණේ ගිනිඅවිය ක්‍රියාත්මක නොවිම නිසා බව පොලිසිය පැවසීය.

සමාජ ජාලා ඔස්සේ පැතිර ගිය වීඩියෝව

පෙබරවාරි 21(ඊයේ) රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බව කියන වීඩියෝ පට සමාජ ජාලා ඔස්සේ වේගයෙන් පැතිර ගිය අතර පුද්ගලයන් දෙදෙනෙකු අත් පා ගැට ගසා පළා යාමට නොහැකි ලෙස විලංගු දමා තිබෙන ආකාරය එම විඩියෝ දර්ශනවල දක්නට ලැබිණි.

පොලිස් නිලධාරින් යැයි කිව හැකි පිරිසක් එම සැකකරුවන් වට කර ගෙන පැන යාමට නොහැකි ලෙස රඳවා ගෙන සිටින ආකාරයත් පොලිස් පණිවුඩවල (Walkie Talkie) හඬ ද පසු බිමෙන් එහි ඇසෙන්නට විය.

කෙසේ වෙතත්, එදින රාත්‍රීයේ සඟවා ඇති ආයුධ පෙන්වීමට එලෙස රඳවා ගෙන සිටි සැකකරුවන් පොලිස් ගිනිඅවි උදුරා ගෙන ප්‍රහාර එල්ල කිරීමට ගත් බව කියන උත්සහයේදී පොලිස් නිලධාරීන් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කළ වෙඩි තැබිමෙන් තුවාල ලද සැකකරුවන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය සඳහන් කළේය.

'ආයුධ පෙන්වීමට යාම' ගැන අතීත සිදුවීමක්

පසුගිය කාලය පුරා ම ආරක්ෂක අංශ භාරයේ සිටි සංවිධනාත්මක අපරාධකරුවන් ලෙස හඳුන්වන පුද්ගලයන් 'ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මිය ගිය අවස්ථා' සහිත ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබේ.

එමෙන් ම සැකකරුවන් ආයුධ පෙන්වීමට රැගෙන ගොස් ඝාතනය කිරීමට යන බවට ලැබුණ තොරතුරු මත එම අවස්ථා වළක්වා ගත් උත්සහයන් ද ඉතිහාසයේ ඇත.

'පොඩි ලැසී' හෙවත් ජනිත් මධුසංඛ නමැති පුද්ගලයාගේ මව 2021 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා සිටින තම පුතුගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙසයි.

ඔහු කොළඹ අපරාධ විමර්ශන ඒකකයකට මාරු කරන බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවත් ඉන්පසු 'ආයුධ පෙන්වීමට ගෙන යන මුවාවෙන් සිය පුතු ඝාතනය කිරීමට ඉඩ ඇති බව' තමන්ට දැන ගන්නට ලැබී ඇති බවත් ඇය තවදුරටත් එම ලිපියෙහි සඳහන් කර තිබිණි.

රජයේ පාර්ශව විසින් පතාල අපරාධරකරුවන් ලෙස හදුන්වන ලද කිහිප දෙනෙකු ම පසුගිය කාලයේ අත්අඩංගුවේදී ඝාතනය කර ඇති බව ද එම ලිපියේ සඳහන් විය.

නීතිය පීලි පැනීමට පොලිසියේ ක්‍රියාකලාපය හේතුවක් ද?

'පසුගිය කාලය පුරා ම මෙරට නීතිය පීලි පැන තිබූ බවත් එයට හේතුව පොලිසියේ අත්තනෝමතික ක්‍රියාකලාපය බව ත්' සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා බීබීසි සිංහල සේවයට පැවසීය.

"මේ රටේ නීතියක් තියෙනවා. සියලු ම දෙනාට ක්‍රියාත්මක කළ යුතු නීතියක් තියෙනවා. අපරාධ නඩු විධි විධාන සංග්‍රහයක් තියෙනවා. ඒ අනුව කිසි ම කෙනෙකුට දඬුවමක් දෙන්න බැහැ අධිකරණයෙන් තොරව. නමුත් පහුගිය කාලය පුරා ම මේ සමාජයේ නීතියේ පාලනය, නීතිය පීලි පැනලා තිබුණේ. ඒවාට හේතු වුණා පොලිසිය හිතුමතේට, අත්තනෝමතිකව මේ ආකාරයෙන් කටයුතු කිරීම," ඔහු සඳහන් කළේ ය.

එම අනීතික කටයුතු තවදුරටත් පවත්වාගෙන නොයාමට වත්මන් රජයට ජනතාව සමග බැඳීමක් ඇති බව සඳහන් කළ නීතිඥවරයා මෙවැනි කටයුතු හරහා රජයට ජනතාව දුන් විශ්වාසය පළුදු වීමක් සිදුවන බව ද පැවසීය.

"ආයුධ පෙන්වන්න හෝ යම් කරුණක් අනාවරණය කරගන්න පුද්ගලයෝ එක්කන් යන්න බෑ කියන එක නෙමෙයි අපි කියන්නේ. නමුත් මේ ආයුධ සන්නද්ධ පොලිස් බල ඇණියක් යටතේ මේ විදියට අත්වල මාංචු දාලා අනිකුත් පාලන උපකරණ යොදාගෙන මේ පුද්ගයෝ අරන් යනකොට සාධාරණව කල්පනා කරලා බලන්න මේ පුද්ගලයන්ට වෙඩි තියන්න හෝ වෙනත් බෝම්බයකින් දමා ගහන්න ඉඩ කඩ තියෙනවා ද කියලා," යැයි නීතිඥ සේනක පෙරේරා පැවසීය.

මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

පොලිසියෙන් සිදුවන මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හා ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර පෙබරවාරි 18 වන දා සාකච්ඡාවක් පැවති අතර ඉන් දින කිහිපයකට පසුව මෙලෙස පොලිස් වෙඩි පහරින් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙක් මිය ගියහ.

මෙලෙස පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනා මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති අතර මෙම සිදුවීම සම්බන්ධව විමර්ශනයක් සිදුකරන බව එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා බීබීසි සිංහල සේවයට පැවසීය.

"මාධ්‍ය මගින් මේ ගැන වාර්තා වුණා. සමාන්‍යයෙන් මේ වගේ දෙයක් වුණා ම අපි විමර්ශනයක් ආරම්භ කරනවා," යැයි කොමසාරිස්වරයා කියා සිටියේ ය.

'ආයුධ පෙන්වීමට යන විට වීඩියෝ කරන්න' පොලිස්පති මාර්ගෝපදේශ

සැකකරුවන් ආයුධ පෙන්වීමට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් 2023 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

"එවැනි සෑම අවස්ථාවකදී ම වීඩියෝගත කිරීමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන් ද යොදා ගැනීමට හැකියාව පවතින අතර යම් සිදුවීමක් ඇති වුණහොත් එහි විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් වැදගත් වේ," යැයි එම මාර්ගෝපදේශවල සඳහන් වේ.

එමෙන් ම අත්අඩංගුවට පත් සැකකරුවෙකු මිය ගිය අවස්ථාවකදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ද එහි සඳහන් කර ඇත.