ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිබර් අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයින් 85 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල්
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් පරිගණක අපරාධ (Cyber Crimes) ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු අද (ජූනි 20 වන දා) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන ගොස් තිබේ.
මෙලෙස පිටුවහල් කර ඇත්තේ, මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව බන්ධනාගාරගත කර සිටි චීන ජාතිකයින් පිරිසකි.
චීන කාන්තාවන් 13 දෙනෙකු ද මෙම පිරිස අතර වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙම චීන ජාතිකයන් පිරිස මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් වීමෙන් අනතුරුව බන්ධනාගාරගත කරන ලද පුද්ගලයින් වන අතර පසුව ඔවුන් පිටුවහල් කිරීමේ තීරණය මත වැලිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබිණි.
බස් රථ 5කින් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර, ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ ගුවන් යානය වෙත ඇතුළු කර තිබිණි.
මෙම චීන ජාතිකයන් පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් ඇතුළුව පුද්ගලයින් 172 දෙනෙකු, මෙම ගුවන් යානයේ ගමන් ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේ ය.
මෙම විශේෂ ගුවන් යානය අද අලුයම (ජුනි 20 වන දා) 01.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරියා තහවුරු කළේ ය.
මේ සඳහා වන වියදම් දරා ඇත්තේ, චීන රජය විසින් බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.