ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවා ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති අර්බුදකාරී තත්ත්වය තවත් තිව්‍ර වී තිබෙන්නේ දිනෙන් දින ලැබෙන අධිකරණ නියෝග නිසාය.

ඡායාරූප මූලාශ්‍රය, WIJEYADASA RAJAPAKSHE|FACEBOOK

පක්ෂය තුළ පවතින බෙදීම් මෙන්ම, අධිකරණ නියෝග හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති අර්බුදකාරී තත්ත්වය තවත් තිව්‍ර වී තිබේ.

පාර්ශව දෙකකට බෙදී ඇති පක්ෂයේ නියෝජිතයින් ඒකිනෙකාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර වාරණ නියෝග ලබා ගැනීමේ නැඹුරුවක් මෙන්ම එම වාරණ නියෝග ඉවත් කර ගැනීමට දරණ උත්සාහයන් පසුගිය මාස දෙක පුරාවට දක්නට ලැබුණි.

පක්ෂයේ අර්බුදය තවත් තිව්‍රවුයේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ය.

එම ඉල්ලා අස්වීමෙහි යටි අරමුණ වූයේ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් කිරීම ය.

(මැයි 13) පස්වරුවේ කෝට්ටේදී පැවති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ විධායක සභා රැස්වීමේදී මෛත්‍රීපාල සිරිසේන සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, එහිදී ගත් ඒකමතික තීරණයකට අනුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධූරයට පත් කර ගැනිණි.

ඊට අමතරව, පක්ෂයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත පත් කෙරිණි.

පවතින පසුබිම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති නියෝග මොනවා දැයි බීබීසී සිංහල විසින් විමසා බලනු බැලීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවාද ?

Image copyright by PMD

ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්.

ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේනට කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක්

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්.

Image copyright by BBC

කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්.

කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ ස්ථිර අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේනගෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට අභියාචනයක්.

ශ්‍රීලනිප සභාපතිවරයා සහ වැඩබලන ලේකම් ලෙස තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට එම තනතුරේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්.

Image copyright by SLFP

ශ්‍රීලනිප සභාපති ලෙස තේරී පත් වූ විජයදාස රාජපක්ෂට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්.

ශ්‍රීලනිප සභාපතිවරයා හා සාමාජිකයෙකු වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්.

Image copyright by BBC

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් ජුලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන වෙත අභියාචනාධිකරණයෙන් නොතිසි.