ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානය භාරව සිටින්නේ කවුද?
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූයේ, එරට නව ජනාධිපතිවරණයකට මග පාදමිනි.
නමුත් මෙම දැඩි මතධාරී පූජකවරයාගේ හදිසි අභාවය ඉස්ලාමීය ජනරජයේ දේශපාලනයට සැලකිය යුතු ලෙස බලපානු ඇතැයි අපේක්ෂා නොකරන්නේ විශේෂයෙන් ඉරානයේ බලය අවසානයේ එරට උත්තරීතර නායකයා මත රඳා පවතින බැවිනි.
දැන් ඉරානයේ කුමක් සිදුවනු ඇති ද?
අසනීප තත්ත්වයකදී, මරණයකදී හෝ දෝෂාභියෝගයකදී සහ පාර්ලිමේන්තුව විසින් ඉවත් කරනු ලබන අවස්ථාවකදී ජනාධිපතිවරයෙකුට තම රාජකාරි ඉටු කළ නොහැකි වීම සම්බන්ධයෙන් ගත් කල, ගත යුතු පියවර ගැන ඉරාන ව්‍යවස්ථාවේ සරලව දක්වා තිබේ.
රයිසිගේ අභාවයෙන් පසු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් එරට කටයුතු මෙහෙයවීම සඳහා පළමු උපජනාධිපති මොහොමඩ් මොක්බර් පත් කරනු ලැබී ය.
මොක්බර් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ප්‍රධානීන් සමග කටයුතු කරමින් මැතිවරණයක් සංවිධානය කරනු ඇත. එය දින 50ක් ඇතුළත පැවැත්වීමට නියමිත ය.
පසුගිය මැතිවරණයේදී, ජනාධිපතිවරයාට බරපතළ අභියෝගයක් වූ සියලු අපේක්ෂකයින්ට තරග කිරීම තහනම් කරනු ලැබුවේ අඩු ඡන්ද සංඛ්‍යාවක් සමග රයිසිට ජනාධිපති ධූරය ලබා ගැනීමට මාර්ගය පැහැදිලි කරමිනි.
එය වංචාසහගත මැතිවරණයක් ලෙස දුටු බහුතරයක් එය වර්ජනය කළහ.
උත්තරීතර නායකයා සතු බලතල මොනවා ද?
ඉරානයේ බලවත්ම චරිතය වන්නේ, 1989 සිට එරට උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන අයතුල්ලා කමේනි ය.
ඔහු රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා වේ.
එරට ජාතික පොලිසියේ සහ සදාචාර පොලිසියේ බලය ද ඔහු සතු ය.
අයතුල්ලා කමේනි විසින් ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂාව භාරව සිටින ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) සහ ඉරානය තුළ සිදුවන විරෝධතා මැඩපැවැත්වීමට යොදා ගන්නා එහි ස්වේච්ඡා අංශය වන බසීජ් ප්‍රතිරෝධක බළකාය (Basij Resistance Force) පාලනය කරනු ලබයි.
ජනාධිපතිවරයා සතු බලතල මොනවා ද?
ජනාධිපතිවරයා යනු, මැතිවරණයකින් තේරී පත් වන ඉහළ ම නිලධාරියා වන අතර නිලයෙන් ගත් කල ඔහු දෙවන වන්නේ උත්තරීතර නායකයාට පමණි.
ඔහු රජයේ එදිනෙදා කටයුතු සඳහා වගකිව යුතු අතර දේශීය ප්‍රතිපත්ති සහ විදේශ කටයුතු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඔහුට ඇති කළ හැකි ය.
කෙසේ වෙතත්, ඔහුගේ බලතල, විශේෂයෙන් ම ආරක්ෂක කටයුතුවලදී සාපේක්ෂව සීමිත ය.
ජාතික පොලිස් බළකාය පාලනය කරන්නේ ජනාධිපතිවරයාගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මගිනි. කෙසේ වෙතත්, එහි අණදෙන නිලධාරියා උත්තරීතර නායකයා විසින් පත් කරනු ලබන අතර ඔහුට ඔහු ඍජුව ම වගකිව යුතු ය.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියා සහ බසීජ් සම්බන්ධයෙන් ද එය එසේ ම වේ.
ජනාධිපතිවරයාගේ බලතල නව නීති හඳුන්වා දෙන පාර්ලිමේන්තුවට ද කපා හැරිය හැක.
ඒ අනුව, උත්තරීතර නායකයාගේ සමීප සගයන්ගෙන් සමන්විත භාරකාර කවුන්සිලයට නව නීති අනුමත කිරීම සහ ඒවා ප්‍රතික්ෂේප කිරීමේ කාර්යය පැවරේ.
ඉරානයේ රාජ්‍ය බලය අභියෝගයට ලක්ව ඇත්තේ කෙසේ ද?
ඉරානයේ ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඇති දැඩි නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සදාචාරත්මක පොලිසිය විසින් රඳවා ගනු ලැබූ 22 හැවිරිදි මහ්සා අමිනීගේ මරණයෙන් පසු 2022 වසරේදී ඇති වූ විශාල විරෝධතා රැල්ලකින් ඉස්ලාමීය ජනරජය දෙදරා ගියේ ය.
මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ, මර්දනයේදී සිය ගණනක් මිය ගිය අතර දහස් ගණනක් රඳවා තබා ගත් බව ය.
ඇඳුම් පැළඳුම් නීති පිළිබඳව වූ අතෘප්තියේ සිට සමස්ත පාලන තන්ත්‍රය සමග කෝප වීම දක්වා කාලයත් සමග විරෝධතා පුළුල් විය.
සදාචාරත්මක පොලිසිය යනු කුමක් ද?
සදාචාරත්මක පොලිසිය හෝ මාර්ගෝපදේශ මුර සංචාර යනු එරට ජාතික පොලිසියේ කොටසකි.
1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව හඳුන්වා දුන් "ශිෂ්ට" ඇඳුම් පැළඳුම් පිළිබඳ ඉස්ලාමීය සදාචාරය සහ නීති ආරක්ෂා කිරීම සඳහා 2005 වසරේදී මෙම බළකාය පිහිටුවන ලදී.
7,000ක් පමණ වන එහි පිරිමි සහ කාන්තා නිලධාරීන්ට අවවාද නිකුත් කිරීමට, දඩ නියම කිරීමට හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලය ඇත.
2022 ගිම්හානයේ ඇති වූ නොසන්සුන්තාවට සති කිහිපයකට පෙර, ජනාධිපති රයිසි ඉරානයේ "හිජාබ් සහ පතිව්‍රතා නීතිය" දැඩි කිරීමට නියෝග කළ අතර එමගින් කාන්තාවන්ට විනීතව හැසිරීමට සහ විනීත ඇඳුම් ඇඳීමට අනිවාර්ය කෙරිණි.
හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දුන් අතර සමාජ මාධ්‍යවල හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයින් සඳහා අනිවාර්ය සිර දඬුවමක් හඳුන්වා දෙන ලදී.
විප්ලවවාදී ආරක්ෂකයින් කවු ද?
IRGC යනු, ඉරානයේ අභ්‍යන්තර ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ වගකීම දරන ප්‍රධාන සංවිධානය වන අතර එය දැන් 150,000කට අධික සාමාජිකයින් පිරිසක් සිටින එරට බලවත් මිලිටරි, දේශපාලන හා ආර්ථික බලවේගයකි.
තමන්ගේ ම ගොඩබිම්, නාවික සහ ගුවන් හමුදාව සමග එය ඉරානයේ උපායමාර්ගික ආයුධ අධීක්ෂණය කරයි.
මැදපෙරදිග පුරා සිටින තම මිත්‍ර රාජ්‍යයන්ට රහසිගතව මුදල්, ආයුධ, තාක්‍ෂණය සහ පුහුණුව ලබා දෙන කුඩ්ස් බළකාය (Quds Force) නම් විදේශීය අංශයක් එය සතුව ඇත.
එය බසීජ් ප්‍රතිරෝධක බළකාය ද පාලනය කරයි.
බසීජ් යනු කුමක් ද?
පීඩිතයන් බලමුලු ගැන්වීමේ සංවිධානය (Organisation for the Mobilisation of the Oppressed) ලෙස මීට පෙර හැඳින්වූ බසීජ් ප්‍රතිරෝධක බළකාය 1979 වසරේදී ස්වේච්ඡා පැරාමිලිටරි සංවිධානයක් ලෙස පිහිටුවන ලදී.
ඉරානයේ සෑම පළාතක ම සහ නගරයක ම මෙන් ම රටේ බොහෝ නිල ආයතන තුළ එහි ශාඛා ඇත.
"බසීජිස්" ලෙසින් හැඳින්වෙන එහි පිරිමි සහ කාන්තා සාමාජිකයෝ විප්ලවයට සහ IRGCහි නියෝගවලට පක්ෂපාතී අය වෙති.
එහි 100,000ක් පමණ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරිවල නිරත බවට විශ්වාස කෙරේ.
2009 වසරේදී මතභේදයට තුඩු දුන් ජනාධිපතිවරණයේ සිට ඔවුන් රාජ්‍ය විරෝධී විරෝධතා මැඩපැවැත්වීමට දැඩි ලෙස සම්බන්ධ වී ඇත.