මහ මැතිවරණයේදී ඡන්ද විශාල ගණනක් ප්‍රතික්ෂේප වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, LOKESH SHARMA | BBC
- Author, ස්වාති ජෝෂි
- Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
යුරෝපීය රටක් වන ලක්සම්බර්ග්හි 2024 වන විට ජනගහනය ආසන්න වශයෙන් ලක්ෂ 6.7ක් විය. එය ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවට ආසන්න වශයෙන් සමාන ගණනකි. ඉකුත් දා පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළ ම අනුපාතය සනිටුහන් කරයි. වැඩි ම ප්රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.
සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.
ඡන්ද විශාල සංඛ්‍යාවක් ප්‍රතික්‍ෂේප වූයේ ඇයි?
සරල බහුතර මැතිවරණ ක්‍රමයේ සිට සමානුපාතික නියෝජන ක්‍රමය දක්වා වෙනස් කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ මැතිවරණ ක්‍රමයට වෙනසක් හඳුන්වා දුන්නේ ය. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන පරිදි සමානුපාතික නියෝජන ක්‍රමය බොහෝ දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් සංකීර්ණ කරයි. දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ලකුණු පමණක් නොව මනාප ඡන්දය ලබා දීම සඳහා තෝරා ගැනීමට අවශ්‍ය අපේක්ෂකයින් ද මතක තබා ගැනීමට ඡන්ද දායකයින්ට පරිශ්‍රමයක් දැරීමට සිදුවේ.
ශ්‍රී ලංකාව 2024දී ඉතා කෙටි කාල රාමුවක් තුළ මැතිවරණ කිහිපයක් ම පැවැත්වීය. උදාහරණයක් ලෙස, සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වුණු අතර ඉන් අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් මාසයේදී ද මහ මැතිවරණය නොවැම්බර් මාසයේදී ද පැවැත්විණි.
එලෙස එක ළඟ මැතිවරණ පැවැත්වීමේදී ඡන්ද දායකයින් වෙහෙසට පත් කර අධෛර්යමත් කළ හැකි බව ගජනායක මහතා සඳහන් කළේ ය. "මිනිස්සුන්ට එපා වෙලා ඡන්දේ නොදී ඉන්න හිතෙන්න පුළුවන්," ඔහු පැවසීය.
මෙම මනෝභාවය ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතවලින් පිළිබිඹු විය: ජනාධිපතිවරණයේදී 79%ක සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 69% දක්වා පහත වැටිණි.
ඡන්ද පත්‍රිකාවේ ආකෘතිය ද මෙම ව්‍යාකූලත්වයට හේතු වූ බව ඔහු පැවසීය. ඡන්ද පත්‍රිකාවේ ඉහළින් දේශපාලන පක්ෂ, මැද ස්වාධීන කණ්ඩායම් සහ පහළින් මනාප ඡන්ද සලකුණු කිරීමට ඉඩ දී තිබේ. තව ද, සියලු ම දිස්ත්‍රික්ක එක ම ඡන්ද පත්‍රිකා ආකෘතියක් භාවිත කළේ නැත. මෙම නොගැලපීම් ඡන්ද දායකයින් තවදුරටත් ව්‍යාකූල කිරීමට හේතු වූ බවට ඔහු විශ්වාස කරයි.

ප්‍රතික්ෂේපිත ඡන්ද වැඩියෙන් ම වාර්තා වූ දිස්ත්‍රික්ක මොනවා ද?
දිස්ත්‍රික්ක අනුව ඡන්ද ප්‍රතිශත දෙස බැලීමේදී පෙනී යන්නේ, දිස්ත්‍රික්ක අතර ප්‍රතික්ෂේප වූ ඡන්දවල පුළුල් විෂමතාවක් පවතින බව ය. ඒවා 3.58% (පොළොන්නරුව) සිට 9.82% (නුවරඑළිය) දක්වා පරාසයක පවතී.
පසුගිය මහ මැතිවරණයේදී වැඩි ම ප්රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනි ම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩි ම ප්රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින් ම පැවතිණි.
1989 සිට 2024 දක්වා පැවති මැතිවරණ දෙස බැලීමේදී පෙනී යන්නේ, නුවරඑළිය, යාපනය සහ වන්නි වැනි දිස්ත්‍රික්කවල ප්‍රතික්ෂේප වූ ඡන්ද ගණන සැලකිය යුතු නොවෙනස්ව පැවති බව ය.
පසුගිය මැතිවරණ නවයෙන් හයකදී ම වැඩි ම ප්රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩි ම ප්රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය-මස්කෙළිය, සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන්පසුව වැඩි ම ප්රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.
ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රතික්ෂේපිත ඡන්ද වැඩි වශයෙන් වාර්තා වන්නේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නුවරඑළිය සහ යාපනය වැනි ප්‍රදේශ වෙත රජයේ නිලධාරීන් පැමිණෙන්නේ කලාතුරකින් බව ත්, බොහෝ දෙනෙකුට පුවත්පත් සඳහා ප්‍රවේශය නොමැති බවත්, මැතිවරණ තොරතුරු ඵලදායී ලෙස බෙදාගැනීම සඳහා විකල්ප ක්‍රම ඇත්තේ සීමිතව බවත් ගජනායක පැහැදිලි කළේ ය.
දේශපාලඥයින් බොහෝ විට මෙම ප්‍රදේශ නොසලකා හරින අතර, ඡන්ද දායකයින්ට දැනුවත්භාවයක් නොමැති බව ඔහු පැවසීය. "කයිට්ස් වගේ ප්‍රදේශවල මිනිසුන්ට දේශපාලන සිදුවීම් ගැන දැනගන්න ක්‍රමයක් නැහැ. ඒ අය පුවත් දැනගන්න ශ්‍රී ලංකාවේ සිදුවීම් ගැන එතරම් ආවරණයක් නොලැබෙන ඉන්දියානු මාධ්‍ය මත යැපෙනවා." මෙම තොරතුරු නොමැතිකම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වාසීන්ට ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් නොමැති බව ඔහු පැවසීය.
2023 ශ්‍රම බල සමීක්ෂණයට අනුව වැඩි ම ප්රතික්ෂේප වූ ඡන්ද සහිත ප්‍රධාන දිස්ත්‍රික්ක තුන අතර සිටින යාපනයේ සාක්ෂරතා අනුපාතය ඉහළ ය. වයස අවුරුදු 10ට වැඩි අයගෙන් 98.4%කට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමට සහ ලිවීමට හැකි බව දත්ත පෙන්වා දෙයි. කෙසේ වෙතත් ගජනායක මහතාට අනුව මැතිවරණ සහ දේශපාලන සාක්ෂරතාව හාත්පසින් ම වෙනස් ය. "කියවීමට සහ ලිවීමට හැකිවීම ඡන්දය දෙන ආකාරය අවබෝධ කර ගැනීමට හෝ දේශපාලන ක්‍රියාවලීන් සමග සම්බන්ධ වීමට සමාන වෙන්නේ නැහැ," ඔහු පැහැදිලි කළේ ය.
විශේෂයෙන් ම යාපනය වැනි උතුරු ප්‍රදේශවලට ඵලදායී ලෙස ළඟා වීමේ හැකියාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තුළ ඇති සැලකිය යුතු අභියෝග ද ඔහු පෙන්වා දුන්නේ ය. එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ එහි කාර්ය මණ්ඩලයේ භාෂා ප්‍රවීණතාව නොමැතිකම ය. සේවකයින් 800කට අධික සංඛ්‍යාවක් සිටිය ද, දෙමළ භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි සහ මෙම ප්‍රදේශවල ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා සම්පත් දායකයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණි, ඔහු සඳහන් කළේ ය.
ඉදිරි ගමන් මග
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන පරිදි මැතිවරණ ක්‍රමය අනවශ්‍ය ලෙස සංකීර්ණ වී ඇති බව ය. එය සරල විය යුතු අතර, ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය - තම ඡන්ද ප්‍රකාශ කරන ආකාරය, ඒවා ගණන් කරන ආකාරය සහ එම ඡන්ද අවසානයේ වෙනසක් ඇති කරන්නේ කෙසේ ද යන්න ජනතාවට අවබෝධ විය යුතු ය.
"පුදුමයට කරුණ තමයි, ඇතැම් දේශපාලනඥයන්ට පවා ක්‍රමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති වීම. පහුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ මැතිවරණ ක්‍රියාවලිය ගැන ඇහුවා නම් 20-30%ක් ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද කියලා දන්නේ නැති බව මට විශ්වාසයෙන් කියන්න පුළුවන්," ඔහු අවධාරණය කළේ ය. එහි බැරෑරුම්කම නොදැනීම මහ ජනතාවට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට පහසුවෙන් තේරුම් ගත හැකි සරල හා විනිවිද පෙනෙන මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බව පෙන්වා දෙයි, ඔහු සඳහන් කළේ ය.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළුව සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඡන්ද දායකයින් වෙත මැතිවරණ පිළිබඳ දැනුම ලබා දීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, එක ළඟ මැතිවරණ පැවැත්වීම හේතුවෙන් සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලට සිය වැඩසටහන් සඳහා අරමුදල් ලැබීම අඩුවීමකට මුහුණ දුන් ඇති බව ගජනායක පැවසීය.
"අපේ සංවිධානයට (IRES) ජනාධිපතිවරණය සඳහා තානාපති කාර්යාලවලින් ප්‍රමාණවත් අරමුදල් ලැබුණත්, මහ මැතිවරණය සඳහා සහයෝගය ලැබුණේ අඩුවෙන්. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අපේ ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික්ක 15කට පමණක් සීමා වුණා," ඔහු පැහැදිලි කළේ ය.
ක්‍රමානුකූල ඡන්ද දායක අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ නොවන කාලසීමාවන් යොදා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේ ය. මෙම ක්‍රියාකාරී ප්‍රවේශයෙන් ඉදිරි මැතිවරණවලට පෙර ඡන්ද දායකයින්ගේ අවබෝධය වැඩිදියුණු කළ හැකි ය. කොමිෂන් සභාවේ සහයෝගය සහ අනුමැතිය ඇතිව එවැනි වැඩසටහන් මගින්, පවතින බොහෝ හිඩැස් පිරවිය හැකි ය.
ඡන්දය ප්‍රකාශ කිරීම සහ ගණන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මංජුල ගජනායක එය විශ්වාසදායක සහ විනිවිදභාවයෙන් යුක්ත බව තහවුරු කළේ ය. මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස ඔහු ප්‍රකාශ කළේ, සුළු වැරදි පමණක් වාර්තා වී ඇති බව ත්, ඒ කිසිවකින් ක්‍රියාවලියේ අඛණ්ඩතාව හෝ රහස්‍යභාවයට හානි නොවන බව ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පුද්ගල ශ්‍රමය යොදා ගන්නා වර්තමාන ක්‍රමය සැලකිය යුතු ගැටලුවලින් තොරව ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවට විද්‍යුත් ඡන්ද යන්ත්‍ර භාවිත කිරීමට අවශ්‍ය නොවන බව ඔහු තර්ක කළේ ය.














