2024 ජනාධිපතිවරණය: 'දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර'

Presidential Election Sri Lanka 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය.

ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව බීබීසී සිංහල සිදුකළ විමසීමකදී ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පැවසුවේ ය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් සැප්තැම්බර් 21 වන දින, එනම් අද දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, තැපැල් ඡන්ද ගණනය කිරීම සවස 5.00ට ආරම්භ වන බවත් පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

ඡන්ද විමසීම ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) උදෑසන 7.00ට ආරම්භ විය.

BBC සිංහල ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේ වනවිට ඡන්දදායකයින් අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බවයි.

ජාත්‍යන්තර සහ දේශීය මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ රාජකාරි සඳහා එක්ව සිටියි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වන අතර, එයින් එක් අපේක්ෂයෙකු ජනාධිපතිවරණයට පෙර මිය ගිය නමුත් ඔහුගේ නම ද ඡන්ද පත්‍රිකාවේ සඳහන් වේ.

ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාව මෙවර ජනාධිපතිවරණය සඳහා මුද්‍රණය කළ නිල ඡන්ද පත්‍රිකාවයි.

Election Demographics

'පළමු පැය කිහිපය තුළ පැමිණිලි 85ක්'- මැතිවරණ කොමිෂන් සභාව

අද (සැප් 21) දින පෙරවරු 10.00 වන විට 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 85ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

මැතිවරණ ක්‍රියාවලිය පුරා විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සෑම පැමිණිල්ලක්ම හොඳින් සමාලෝචනය කරන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

'පළමු පැය කිහිපය සාමාකාමියි'- IRES

ජනාධිපතිවරණයේ පළමු පැය කිහිපය ඉතා සාමාකාමී එකක් වූ බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති සාමකාමී ම මැතිවරණය මේක වෙන්න පුළුවන්. පළමු පැය කිහිපයේදී බරපතල සිදුවීම් කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ.''

''මැතිවරණයට අදාළව පැමිණිලි 40ක් වගේ ලැබිලා තියෙනවා. හැබැයි ඒවා සුළු සිදුවීම්," ඔහු පැවසීය.

'ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක'- පැෆ්රල්

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ අද දහවල් 12.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක පැවති බවය.

"අද දහවල් 12.00 වෙද්දී දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ථ මට්ටමක පැවතුණා.''

''ජනතාව උනන්දුවෙන් ඡන්දය භාවිත කරන බව පෙනෙන්න තියෙනවා.''

''අපට දැනට බිම් මට්ටමෙන් ලැබෙන තොරතුරු අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සීයයට 50කට ආසන්නයේ පවතිනවා," ඔහු පැවසුවේය.