රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයින්ගෙන් 59ක් මිය ගිහින්: විදේශ ඇමතිගෙන් අනාවරණයක්

Russian and Ukrainian war

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යුක්‍රේනයට එරෙහිව යුද වැදීමට රුසියානු හමුදාව සමග එක්වූ ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (පෙබරවාරි 07) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.

අමාත්‍යවරයා ඒ බව අනාවරණය කළේ, ඉලංකෙයි තමිල් අරසු කට්චි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රුසියානු හමුදාවට එක්වූ මුළු ශ්‍රී ලාංකිකයින් ගණන

ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු රුසියානු හමුදාවට එක්වී සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මෙහිදී අනාවරණය කළේ ය.

''විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යාංශයට ලද තොරතුරුවලට අනුව රුසියානු හමුදා සේවයට බඳවා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 554 දෙනෙකු බව වාර්තා වී ඇත. එසේ වුව ද රුසියානු හමුදා සේවයට කිසිවෙකු බලහත්කාරයෙන් බඳවා ගත් බවට තහවුරු කරන ලද වාර්තා ලැබී නැහැ.''

''රුසියාවේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය හරහා ලබා ගත් වාර්තාවලට අනුව 2025 ජනවාරි මස 20 වන දා වන විට ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත. ඒ මිය ගිය 59 දෙනාගේ නාම ලේඛනය මා හැන්සාඩ් ගත කරනවා.''

''දෙරට අතර පවත්වන ලද සන්නිවේදන ඔස්සේ අදාළ තරුණයින් මුදවා යළි දිවයිනට රැගෙන ඒමට උත්සාහයන් ගණනාවක් දරමින් තිබෙනවා වගේ ම තවත් සිදුකරමින් යනවා.''

''එමෙන් ම රුසියානු හමුදාවට එක්වූ බවට සඳහන් වන පිරිසට මෙරට සිටින තම ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී තිබෙනවා,' අමාත්‍යවරයා පැවසුවේ ය.

රුසියානු හමුදා සේවයට බඳවා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් ගේ සංඛ්‍යාව 554 දෙනෙකු බව වාර්තා වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වන විට රුසියානු හමුදා සේවයට බඳවා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 554 දෙනෙකු බව වාර්තා වී ඇත.

උතුරෙන් රුසියා යුද්ධයට එක්වූ පිරිස් ගැන අනාවරණයක්

උතුරු පළාතේ පදිංචි පවුල් කිහිපයක පුද්ගලයින් කිහිප දෙනෙකු රුසියානු හමුදාවට එක්වී සිටින බවත්, ඔවුන් මුදා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ඉලංකෙයි තමිල් අරසු කට්චි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.

එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස යි. ඒ අනුව අවශ්‍ය කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

බීබීසී සිංහල විමර්ශනයෙන් හෙළි වූ තොරතුරු

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රුසියානු - යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ වීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ, 2023 වසරේ අග භාගයේදී ය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු කපිතාන්වරයෙකු වන රනිෂ් හේවගේ ඇතුළු තිදෙනෙකු යුක්රේනයේදී මිය යාමත් සමග ඒ පිළිබඳව අවධානයට ලක් විය.

අනතුරුව 2024 වසරේ මුල් කාර්තුවේදී රුසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග ඒ පිළිබඳව යළිත් කතාබහක් ඇති විය.

ඒත් සමග රුසියානු - යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ වීම පිළිබඳව බීබීසී සිංහල සිදු කළ විමර්ශනයකදී ඔවුන් අතරින් එක් අයෙකු, සම්බන්ධ කර ගැනීමට හැකි විය.

එහිදී ඔහු අනාවරණය කළේ, කොළඹ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් විසින් රුසියානු හමුදාවේ සිවිල් රැකියා සඳහා ඔවුන් එරටට පිටත් කර හරිනු ලැබූ බව ය.

කෙසේ වෙතත්, ඔවුන් සිවිල් රැකියා සඳහා නොව යුද්ධ කටයුතු සඳහා බඳවා ගන්නා බව එහිදී පැහැදිලි වූ බව ඔහු බීබීසී සිංහල වෙත පැවසීය. ඊට අදාළව රුසියානු බසින් සඳහන් වුණු, ඔවුන්ට ලබා දෙන බව කියන ආකර්ෂණීය ප්‍රතිලාභ ඇතුළත් රුසියාවේදී ඔවුන්ට ලබා දුන් අත්පත්‍රිකා ද නිරීක්ෂණය කිරීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

එහෙත්, හමුදාවට බැඳෙන ලෙස තමන්ට කිසිදු බලපෑමක් එල්ල නොවූ බවත් ඔවුන් හමුදාවට සම්බන්ධ කරවීමට රැගෙන ගිය පුද්ගලයා සතුව ඊට අදාළ ලියකියවිලි ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ඔවුන්ට ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉඩ ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අවස්ථා කිහිපයකදී ම රුසියානු - යුක්රේන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට විවිධ පාර්ශව අත්අඩංගුවට ගැනීම සිදු විය.

මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාගෙන් ද ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ඒ පිළිබඳව විමර්ශනය කිරීමට "ඉඩ ලබා දෙන ලෙස" ය.

2024 වසරේ මැයි මස ශ්‍රී ලාංකික පුරවැසියන් රුසියා-යුක්රේන යුද්ධය සඳහා යෙදවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගත්තේ ය.

පැවති රජයේ විදේශ කටයුතු ඇමති ලෙස කටයුතු කළ අලි සබ්‍රි එවකට සඳහන් කළේ, රුසියාවේ කුලී හමුදාවලට බැඳී තිබෙන ශ්‍රී ලාංකික පිරිස බේරා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නමුත් ඒ සඳහා සෑම උත්සහයක් ම ගනිමින් සිටින බව ය.