යුක්රේන යුද්ධය: පොළොවේ ගෑවී නොගෑවී හෙලිකොප්ටරයක් පියාසර කරමින් සටන් වදින කීර්තිමත් ගුවන් භටයා

- Author, ඔර්ලා ගේරින්
- Role, BBC News
දිවි රැක ගෙන නැවත පැමිණීමට ඇති හොඳ ම ක්‍රමය නම්, අන් අයට නොපෙනෙන සේ පහළින් ගමන් කිරීම, පොළොවට ඉතා සමීපව සිටීම සහ ගස් මුදුන්වල ගෑවී නොගෑවී ඉක්මනින් ගමන් කිරීමයි. ඕනෑවට වඩා පහතින් ගමන් කළහොත් ඔබ මැෂින් තුවක්කු ප්‍රහාරයකට ලක් විය හැකි අතර ඕනෑවට වඩා ඉහළින් පියාසාර කළහොත් ඔබව සතුරන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතියට හසුවනු ඇත.
යුක්රේනයේ යුද වදින හෙලිකොප්ටර් නියමුවන්ට වරදක් කිරීමට ඉඩක් නොමැති තරම් ය.
නිකමට රෝමන්ගෙන් අසා බලන්න.
ඔහු ගිණිය නොහැකි තරම් වාර ගණනක් යුක්‍රේනයේ සිකෝර්ස්කි සේනාංකයේ සටන් මෙහෙයුම් වෙනුවෙන් පියාසර කර ඇති අතර ඔහුගේ වීරත්වය වෙනුවෙන් පදක්කම්වලින් ද පිදුම් ලබා ඇත. ඔහු අපට ඔහුගේ වයස 34ක් යැයි පැවසුව නමුත් ඔහුගේ අවසාන නම සඳහන් නොකළේ ය.
"ඉලක්කයට ළං වෙද්දී අපි පියාසර කරන්නේ පහතින්. පොළොවෙ ඉඳලා මීටරයක් හෝ දෙකක් විතර උඩින්," ඔහු බීබීසියට පවසයි. "ඉලක්කයට පහර දෙන එක විතරක් මදි. ඊළඟ මෙහෙයුමට ඔයාට ඔයා ඒවගේ ම කාර්ය මණ්ඩලය සහ හෙලිකොප්ටරය ආරක්ෂිතව අරගෙන එන්න සිද්ධ වෙනවා."
පසුගිය වසර තුළ ඔහුගේ සහෝදර ගුවන් නියමුවන්ගෙන් කිහිප දෙනෙකුට ආපසු පැමිණීමට තරම් භාග්‍යයක් නොවීය.
යුක්රේන යුද්ධයේ ගුවන් මෙහෙයුම් සඳහා භාවිත කෙරෙන විවෘත භූමියක බිම් කැබැල්ලක් මත වූ ගුවන් පථයකට ප්‍රවේශ වීමේ විරල අවස්ථාවක් අප වෙත උදාවිය. එය කොහේදැයි අපට කිව නොහැක්කේ රුසියාවට එම ස්ථානය හඳුනාගත හැකි වුවහොත් එය ප්‍රධාන ඉලක්කයක් වීමට ඉඩ ඇති බැවිනි.

යුක්රේනයේ නැගෙනහිර ඉදිරි ආරක්ෂක වළල්ලේ රෝමන් සිදු කිරීමට යන ඔහුගේ නවතම පියාසර සැසිය සඳහා නියමු කුටියේ ඇති අපගේ කැමරාව ද සමග පිටත්ව යන ආකාරය අපි බලා සිටිමු. ඔහුගේ හෙලිකොප්ටරය පසු පසින් තවත් හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන්නේ අඳුරු අහසේ වූ වාතය ඒවායේ තලවලින් තියුණු ලෙස කපා දමමිනි.
ඔවුන්ට පහළින් යුක්රේන අගලක් දර්ශනය වන අතර පාළුවට ගිය ගමක් ද දිස්වෙයි.
අධික සීතල නිසා මිදුණු විලක් හරහා අයිස් මත ලිස්සා යන ආකාරයට ඔවුහු වේගයෙන් ගමන් කරති. පැය භාගයකට පසුව ඔවුහු මිසයිල 80ක් මුදා හැර නැවත පැමිණෙති.
ඔහුගේ Mi-8 හෙලිකොප්ටරය ඔහු තරම් ම පැරණි වන අතර එහි බර සන්නාහ හෝ යානයට එල්ල වන මිසයිල ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීමේ නවීන පද්ධති නොමැත. සෑම මෙහෙයුමක් ම ඔහුගේ අවසාන මෙහෙයුම විය හැකි ය.
"ඇත්තට ම, යම් අවදානමක් තියෙනවා,” ඔහු සිය යානය ගොඩබෑමෙන් පසු පවසයි. "මම ඒ ගැන හිතන්නේ නෑ. එහෙම වුණත් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක මගේ ඥාතීන්ට ඇති වෙන ප්‍රශ්නයක්". එය විහිළුවක් ලෙස පෙනුන ද, ඔහුගේ මුහුණේ ඇඳි හැඟීම ඔහුගේ මුහුණු ආවරණය විසින් සඟවනු ලැබ ඇත.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු තම ඉලක්කය කුමක් දැයි හෙළි නොකරනු ඇති නමුත් එය බොහෝ විට රුසියානුවන් සටන් කරන නැගෙනහිර බක්මූත් නගරයට සමීප විය හැකි ය.
"ඒක සාමාන්‍ය මෙහෙයුමක් විතරයි. ඔයා 100%ක් ම ඔයාගේ කාර්යය ගැන අවධානය යොමු කරනවා," ඔහු පවසයි. "ඔයා සිතන්නේ ඔයාගේ මිනිස්සු ඔයා එනකම් බලා ඉන්නවා කියලා. එයාලට ගුවන් සේවා සඳහා කතා කළහොත් එයාල ඇත්තට ම ලොකු පරිශ්‍රමයක් දරාවි."
ඔහු නොසිතන දෙය නම් රුසියානු හමුදාවලට අත්විඳීමට සිදුවන දෑ පිළිබඳවය.
"එයාලා මෙහෙට ආවේ යුද්ධයක් එක්ක නම්," ඔහු මට පවසන්නේ, "අපි අපේ රට ආරක්ෂා කරනවා කියලා විතරයි. අපි ආක්‍රමණිකයන් නෙවෙයි. අපි තමයි වින්දිතයෝ. ඒ වගේ ම මේ යුද්ධය දිනන්න නම් අපි රුසියානු සොල්දාදුවන් මරා දාන්න ඕන, අපි ඒ සියල්ලන් ම මරා දාන්න සූදානම්."
හෙලිකොප්ටරය ගොඩබැස්සූ විගස, නඩත්තු කාර්ය මණ්ඩලය එක්රැස් වී, ඉන්ධන පිරවීම සහ ඊළඟ ගුවන් ගමන සඳහා සූදානම් වීම සඳහා යානය නැවත සන්නද්ධ කරති.
මිසයිල පටවන්නේ අතිනි. ඉන් එකක රුසියානු හමුදාවන් වෙත අසැබි වදනින් පණිවිඩයක් ලියා ඇත.
මිනිත්තු කිහිපයකින් රෝමන්ට නව ඉලක්කයක් සඳහා විධාන ලැබෙන අතර ඔහු නැවතත් පියාසර කරයි.
ඔහු පවසන්නේ යුක්රේනය සතුව ඇති සෝවියට් උපකරණවලින් මෙම යුද්ධය ජයගත නොහැකි බව ය.

ඔහුගේ සේනාංකයේ ප්‍රකාශකයෙක් එය හඬ නගා කියයි.
"අපට නැවිගේෂන් උපකරණ, අධිනිරවද්‍ය ආයුධ සහ පතොරම් සහිත අලුත් හෙලිකොප්ටර් ඕන," ඔහු අපට පවසයි. "අපට හැමදේ ම ඕන.
"ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි දැනටමත් ඉල්ලා ඇති ප්‍රහාරක ජෙට් යානාවලට අමතරව මේවාත් අවශ්‍යයි. දීර්ඝ කාලයක් පැවතිය හැකි යුද්ධයක් සඳහා අවශ්‍ය දෑ අඩංගු දිගු ලැයිස්තුවක් මේක."
පසුගිය වසරේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ආක්‍රමණය කරන විට රෝමන්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ යුක්රේන සාමසාධක මෙහෙයුමකට සම්බන්ධ වී සිටියේ ය. දැන් මෙම හිටපු සාමසාධක නිලධාරියා රුසියාව සමග පවතින නිමක් නැති ගැටුමේදී සිදුවිය හැකි අනතුරක පෙරනිමිති දකිමින් සිටියි.
"අපේ ඉතිහාසය දෙස ආපසු හැරිලා බලන්න," ඔහු පවසයි. "අපේ අසල්වැසියා එක්ක අපට නිතර ම ප්‍රශ්න තිබුණා. අපි මේක [යුද්ධය] දිනුවාට පස්සෙත් එයාලා වෙනස් වෙන්නේ නැත්නම්, වසර කිහිපයකින් හෝ දශක කිහිපයකින් එයාලා නැවත අපට පහර දේවි."












