සුනඛයෙකු එල්ලා මැරීම: සත්ව හිංසනවලට එරෙහිව ශ්‍රී ලංකාවේ ඇති නීති මොනවා ද? ඒවා ප්‍රමාණවත් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, හරිනි දිසානායක
- Role, බීබීසී සිංහල
පසුගිය දිනක පවුල් දෙකක ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක විසින් සුනඛයෙකුගේ ගෙළ සිරකර මරා දමනු ලැබූ සිදුවීමක් පිළිබඳ පුවතක් වාර්තා විය.
එම සිද්ධියට අදාළ ඡායාරුප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග, මිනිසා ප්‍රමුඛත්වයේ ලා සලකමින් සාදන ලද නීති පද්ධතියක, ශ්‍රී ලංකාවේ සත්ව හිංසනය සහ සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳව කතාබහක් මතු වී තිබේ.
1907 වසරේදී බලාත්මක කළ සත්ව හිංසන ආඥා පනත, අවසන් වරට සංශෝධනය කර ඇත්තේ, 1955 වසරේදීය. ඉන්පසුව 2006 වසරේ සිට මේ වනතෙක් ම නව පනතක් ගෙන ඒමට උත්සහ කරන බව පෙනුණ ද, එතැන් සිට මේ දක්වා නව පනතක සම්මත කරගෙන නැත.
මේ වන විටත් සත්ත්ව ශුභසාධනය වෙනුවෙන් 1907 සිට එන සත්ව හිංසන ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත තිබුණ ද, වර්තමාන තත්ත්වයට ගැලපෙන අයුරින් යාවත්කාලීන වූ පනතක අවශ්‍යතාව මතු වන්නේ, සත්ත්වයන් සම්බන්ධ සිද්ධිවලදී ඇතැම් මිනිසුන්ගේ ක්‍රියාකලාප ද සංකීර්ණ වෙමින් පවතින නිසා ය.
දැනට ඇති සත්ව හිංසන ආඥා පනතේ අඩංගු කරුණු මොනවා ද?


ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආඥා පනතට අනුව (1907 සිට බලාත්මක):
ගෘහාශ්‍රිතව ඇති කරන හෝ රඳවාගෙන තබාගෙන සිටින සතෙකුට හිංසා කළහොත් රු. 100ක දඩයක් හෝ තුන් මසක් දක්වා වූ සිරගත කිරීමක් නියම කළ හැකි ය.
සත්වයෙකු ඝාතනය කර ඇත්නම් සිරගත කරන කාලය සය මසක් දක්වා දීර්ඝ වන අතර, දඩ මුදල රු. 100 ම වේ.
මෙම ආඥා පනතට 1955දී සුළු සංශෝධනයක් සිදු කළ අතර, 2006 වසරේදී වගන්ති 70කින් යුතු කෙටුම්පතක් ඉදිරිපත් කෙරිණි., 2022 වසරේදී, 2006 වසරේදී ඉදිරිපත් කළ කෙටුම්පත ම වගන්ති 44කට සීමා කර, රු. 125,000ක් දක්වා උපරිම දඩ මුදලක් සහ වසර 3ක අවම සිරගත කාලයක් සමග යාවත්කාලීන වූ නව කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද, එකල රට තුළ තිබූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය ද සමග එය රටේ ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පහළට ගියේ ය. දැන් 2025 පෙබරවාරි මාසය ද එළඹ තිබේ. 2006 සිට නව පනතක් ගෙන ඒමට ගන්නා උත්සහයට වසර 19ක් සපිරී අවසන් ය.
දැනට පවත්නා සත්ව හිංසන ආඥා පනත අදාළ වන්නේ කාට ද?
1907 සිට පැවතෙන සත්ත්ව හිංසන වැළැක්වීම සඳහා වූ ආඥා පනතට අදාළ වන්නේ ගෘහාශ්‍රිතව ඇති කරන හා කූඩු කර තබාගෙන සිටින සතුන් වන අතර, පශූ සම්පත් කාණ්ඩයට අයත් වන සතුන්ගේ මරණ හා ඝාතන සම්බන්ධයෙන් ද, යම්තාක් දුරකට මෙම පනතෙන් ආවරණය වේ.
ඒ හැරුණු විට, වන සතුන් වෙනුවෙන් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇත. නමුත්, මින් මඟහැරී ඉතිරි වී ඇති කොටස නම් අයාලේ සැරිසරන, අයිතිකරුවෙකු නැති සතුන් පිළිබඳව ආවරණය වන නීති මේ පනත් දෙකින් ම ආවරණය වන්නේ නැත.
සත්වයින්ට සිදුවන හිංසන හා සතුන්ගෙන් සිදුවන හිංසන සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී ඇති සිද්ධි මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2018 වසරේදී නිකුත් කළ ශ්‍රී ලංකා පොලිස් කාර්ය සාධන වාර්තාවට අනුව, 2018 වසරේදී වත්මන් සත්ව ශුභසාධන නීති යටතේ නඩු 772ක් වාර්තා ගොනු කර ඇත. නිසි පරිදි දත්ත රැස්කිරීමක් දැනට සිදුනොවුණත්, සමාජ අවධානය යොමුවන ආන්තික සිදුවීම් හැරුණු විට, නිල නොවන ලෙස දෛනිකව අවම සිද්ධි 10කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙයි.
තව ද, නාගරික හා ග්‍රාමීය මට්ටම් ගත් විට, නාගරික මට්ටමට සාපේක්ෂව ග්‍රාමීය මට්ටමෙන් සත්ව හිංසනය සම්බන්ධව වන සිදුවීම් සාපේක්ෂව වැඩි අගයක් ගත්ත ද, ඒවා වාර්තා වීම, නාගරික මට්ටමට සාපේක්ෂව අඩු බව සත්ව ශුභසාධනය සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ අදහස යි.
"මගේ පෞද්ගලික අත්දැකීම්වලට අනුව, මම අද වෙනකොට දකින නරක ම ඒකකය හා නරක ම තැන ගම සහ ගැමියා කියන එක. මොක ද සත්ව හිංසනය බරපතළ ලෙස ම වෙන තැනක් ඒක. මාන්කුලම සිද්ධියත් සමාජගත නොවුණා නම්, ඔය සිද්ධිය ගැනත් අද වෙනකන් දන්නෙත් නෑ," සත්ව හිංසන පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන උදය විජේසිංහ පවසයි.
වාර්තා වූ සිද්ධි අතරින්, මෑතක සිදුවූ මාන්කුලම සිද්ධිය හැරුණු විට සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස සංසරණය වූ සිද්ධියක් ලෙස 2019 වසරේදී මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ, අවුරුදු දෙකක් වයසැති චාලි නම් ලැබ්‍රඩෝර් වර්ගයේ සුනඛයාගේ සිද්ධිය සිහිපත් කළ හැකි ය. චාලි බුරන ශබ්දය නිසා කෝපයට පත් අසල් වැසියෙකු විසින් භූමිතෙල් වත් කර එම සුනඛයා අගුළු දැමූ කූඩුව තුළ පණපිටින් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති විය.
ශ්‍රී ලංකාවේ බල්ලන් බිරීම මහජන කරදරයක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ, බල්ලන් බිරීම අවට වෙසෙන පුද්ගලයන්ගේ සාමයට සහ සුවපහසුවට සැලකිය යුතු ලෙස බාධා කරන්නේ නම්, ඇතැම් නීතිමය විධිවිධාන යටතේ එය මහජන කරදරයක් ලෙස සැලකිය හැකි ය. මහජන කරදරය තීරණය කිරීම වාර ගණන, කාලසීමාව, තීව්‍රතාව සහ බුරන ස්ථානය වැනි සාධක මත රඳා පවතී.
ශ්‍රී ලංකාවේ නීති රාමුව:
- ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය (XIV වන පරිච්ඡේදය - මහජන සෞඛ්‍යය, ආරක්ෂාව, පහසුව, විනීතභාවය සහ සදාචාරයට බලපාන වැරදි)
ඉහත සඳහන් පරිච්ඡේදයේ 261 වගන්තිය මගින් මහජන කරදරයක් යනු මහජන සුවපහසුව හෝ පහසුව අනතුරේ හෙළන ක්‍රියාවක් ලෙස අර්ථ දක්වයි.
අසල්වැසි ප්‍රදේශයක අධික ලෙස සුනඛයින් බිරීම බාධාවක් නම්, මෙම විධිවිධානය යටතේ එය මහජන කරදරයක් ලෙස තර්ක කළ හැකි ය.
- මහ නගර සභා ආඥා පනත සහ පළාත් පාලන ආයතන අතුරු නීති
පළාත් සභා ඔවුන්ගේ මහජන සෞඛ්‍ය සහ කරදර පාලන රෙගුලාසි යටතේ ශබ්ද බාධා නියාමනය කරයි.
ඇතැම් පළාත් පාලන ආයතන තම බල ප්‍රදේශයේ වෙසෙන සුනඛයින් අධික ශබ්දයක් ඇති කරන්නේ නම්, අසල්වැසියන්ට පීඩාවක් ඇති කරන්නේ නම් එම සතුන්ගේ හිමිකරුවන්ට දඩ නියම කරයි.
- පරිසර ආරක්ෂණ නීති
1980 අංක 47 දරන ජාතික පරිසර පනත යටතේ, නේවාසික ප්‍රදේශවල අධික ශබ්දය සඳහා ශබ්ද දූෂණ රෙගුලාසි අදාළ වේ.
ප්‍රධාන වශයෙන් කාර්මික සහ යාන්ත්‍රික ශබ්දය ඉලක්ක කර ගත් නමුත්, සමහර අර්ථකථන බල්ලන්ගේ බුරන ශබ්දය ඇතුළුව අඛණ්ඩ ඝෝෂාකාරී ශබ්ද දක්වා විහිදේ.
- ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික පිළියම්
බල්ලන් බුරන විට සැලකිය යුතු බාධාවක් ඇති වුවහොත්, බලපෑමට ලක්වූ පාර්ශ්වයන්ට කළ හැක්කේ:
පළාත් පාලන ආයතනයට (නගර සභාව/ප්‍රාදේශීය සභාව) වාර්තා කරන්න: විධිමත් පැමිණිල්ලක් ප්‍රාදේශීය කරදර පාලන අතුරු නීති යටතේ පියවර ගැනීමට හේතු විය හැක.
පොලිස් පැමිණිල්ල: දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය යටතේ, ශබ්දය මහජන සාමයට දැඩි ලෙස බලපාන්නේ නම් පොලිස් පැමිණිල්ලක් ගොනු කළ හැක.
සිවිල් නඩුව: බලපෑමට ලක්වූ පුද්ගලයින්ට තමන්ට පීඩාවක් සිදුවන බවට දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනු කළ හැකි අතර, බාධාව සඳහා වාරණ නියෝගයක් හෝ වන්දි ඉල්ලා සිටිය හැක.
නිගමනය -
ශ්‍රී ලංකා නීතිය අනුව බල්ලන් බිරීම මහජන කරදරයක් ලෙස පැහැදිලිව සඳහන් කර නොමැති අතර, දණ්ඩ නීති සංග්‍රහය, නාගරික ආඥා පනත සහ පාරිසරික නීති යටතේ පවතින පීඩාවන්ට අදාළ නීති මගින් මෙය ආවරණය වෙයි. අධික ලෙස බල්ලන් බුරන විට අසල්වැසි ප්‍රදේශයේ සාමකාමීබවට බාධාවක් ඇති වුවහොත්, පැමිණිල්ල අනුව බලධාරීන්ට මැදිහත් විය හැකි අතර, කරදරය අවම කිරීම සඳහා මහේස්ත්‍රාත්වරුන්ට නියෝග නිකුත් කළ හැකි ය.
චාලි වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වූයේ කෙසේ ද?
ඊට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු රු. 5,000ක ඇපයක් මත නිදහස් කරන ලද අතර, වැඩිදුර ක්‍රියාමාර්ගයක් නොගන්නා ලදී.
සත්ව හිංසනය පිටුදැකීමට සහ සත්ව ශුභසාධනය වෙනුවෙන් නව පනතක් අවශ්‍ය ද?
සත්ව හිංසන හා මරණ සම්බන්ධයෙන් ලංකාවේ වාර්තා වන සිද්ධි ගෘහාශ්‍රිත සුනඛයාගේ සිට වනගත අලියා තෙක් ම විහිදෙයි.
"මුලින් ම ලංකාවට සත්ව ශුභසාධන නීති ගෙනාවේ බ්‍රිතාන්‍යය. ඔවුන් ඒ වගේ නීති ගෙනාවේ සමාජයේ යහපත ගැන හිතලා. අපි ශිෂ්ට සම්පන්න සමාජයක් විදියට සතුන්ට සලකන විදිය පිළිබඳව යම්කිසි සීමා නීර්ණයක්, මග පෙන්වීම් පද්ධතියක් තියෙන එක හොඳ යි. සත්ව හිංසන ආඥා පනතේ තිබුණේ නිගාමී ප්‍රවේශයක්. නමුත් මේ කෙටුම්පත් කරපු සත්ව ශුභසාධන පනතේ තියෙන්නේ උද්ගාමී ප්‍රවේශයක්. එහෙම නැත්නම් කළ යුත්තේ කුමක් ද කියන එක තමයි අවධාරණය කරන්නේ. ඒක මගපෙන්වීම් පද්ධතියක් විදියට ගොඩක් වටිනවා," නීතීඥ පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ අතර, නීතිඥවරියක සහ සත්ව නීති පිළිබඳ පර්යේෂිකා දුල්කි සීතාවක පෙන්වා දුන්නේ, "අපේ රටේ දැනට dog breeding සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් backyard breeding සම්බන්ධයෙන්, කිසි ම නීතියක් නැහැ. එන්න තියෙන සත්ව ශුභසාධන පනතෙත් ඒ ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒත්, දැනට තියෙන පනත් කෙටුම්පතේ අඩුපාඩු තිබුණත් මුලින් ඒක ක්‍රියාත්මක කරගෙන, පසුව ඒකට වෙනස්කම් කරමින් ඉහළට ඔසවා තබන්න පුළුවන් නම්, දැනට අපිට ගන්න පුළුවන් හොඳ ම ක්‍රියාමාර්ගය ඒක යි. ආරම්භයක් විදිහට මොනවත් නොකර ඉන්නවාට වඩා යමක් කරන එක හොඳ යි," යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නව පනතකින් යහපත් වෙනසක් වෙයි ද?
නව පනතක අවශ්‍යතාව සතුන් සම්බන්ධයෙන් පමණක් ම සීමා නොවිය යුතු අතර, සතුන්ට මිනිසුන්ගෙන් වන බලපෑම් මෙන් ම, මනුෂ්‍ය පාලනයෙන් තොර සත්ව ක්‍රියාකලාපයන් නිසා මිනිසුන්ට සිදුවන පීඩා සම්බන්ධයෙන් ද, පිළියම් ඇති ක්‍රමානුකූල මධ්‍යස්ත පිළිවෙතක් සකසා ගත යුතු බව සත්ව හිංසන පිළිබඳ ක්‍රියාකාරී උදය විජේසිංහ පවසයි.
"හැදියාව කියන දේ, ප්‍රාථමික ආධ්‍යාපනයේ සිට හැදිය යුතු දෙයක්. පරිසරය පිළිබඳව පාසල් හා ආගමික ස්ථානවලින් දැනුවත් කළ යුතු යි. වැදගත් ම කාරණය, නීතිය ක්‍රියාත්මක විය යුතු යි. අනිවාර්යෙන් ම සත්ව හිංසනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු යි. ඒ වගේ ම පනවන නීතිය හුරතල් නීතියක් නොවිය යුතු යි. නීතිය හරි විදියට කීපවරක් හෝ ක්‍රියාත්මක වුණොත්, මිනිසුන් ඒ සම්බන්ධයෙන් නැවත වරක් හිතන්න පුරුදු වේවි."
ඒ පිළිබඳව සත්ව නීතී පිළිබඳ පර්යේෂිකා දුල්කි සීතාවක පවසන්නේ, "වෙනසක් අනිවාර්යෙන් ගේන්න පුළුවන් අපෙන් පසු පරම්පරාවෙන්. සතුන්ගේ ආරක්ෂාව සඳහා නීතිමය තත්ත්වය හැරුණු විට යම් වෙනසක් කරන්න පුළුවන් නම්, ඒ තමයි ආකල්පවල ඇති කරන වෙනස. ඒ සම්බන්ධයෙන් අපිට ඉලක්කගත පිරිස විය යුත්තේ පෙර පාසල් සහ පාසල්වල ඉගෙන ගන්න දරුවන්. අපිට එයාලගේ විෂය නිර්දේශයට ඇතුළු කරන්න පුළුවන් නම්, සතුන් කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන මිනිසුන් වගේ ම තවත් සත්ව කොට්ඨාසයක්, එයාලටත් දුක සතුට වේදනාව බිය වගේ හැඟීම් දැනෙනවා, ඒ සතුන් අපි මත යැපෙනවා, එයාලගේ ආරක්ෂාව ගැන සහ එයාලගේ එදිනෙදා ජීවත් වීමේදී තියෙන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගේ දේවල්වලට ඒගොල්ලෝ අපි මත යැපෙනවා වගේ දේවල් එක්ක, සතුන්ටත් සමව සලකන්න කියල උගන්නන්න පුළුවන් නම් හොඳ ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒ වගේ ම සුරතල් සතුන් ඇති කිරීම හා සම්බන්ධ වගකීම්සහගත සුරතල් සතුන් හිමිකාරිත්වය ගැන ස්විට්සර්ලන්තය වගේ රටවල ඇති ක්‍රියා විධිවිධාන ආදර්ශයට අරගෙන, එයාලගේ ආරක්ෂාව, එයාලට ලබාදෙන්න පුළුවන් හොඳ ජීවිතයක් ගැන අපිට වගකීමක් තියෙනවා වගේ පැති ගැන කතා කරන එකෙන්, අපේ දරුවන්ගේ ආකල්ප වර්ධනය කරන්න පුළුවන්," බව ය.
"කොතැනක හරි වැරැද්දක් වුණොත් ඒක පෙන්නන්න මැදිහත් වෙන්න ඕන. මේ සමාජයේ වෙනසක් කර, නව තැනක් නිර්මාණය කරනවා කියන එක ආණ්ඩුවටවත්, පොලිසියටවත් විතරක් කරන්න බැහැ. ජනතාවගේ හැදියාවේ වෙනසක් විය යුතු යි. ජනතාව වැරැද්දට විරුද්ධ විය යුතු යි," මානුෂික ක්‍රම මගින් සත්වගහන කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර පැවසීය.
සත්ව ශුභසාධන පනත සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි පියවර හා අනාගත සැලසුම් පිළිබඳව විමසීමට පරිසර අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී ම උත්සහ කළ ද, මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් එය සාර්ථක නොවී ය.














