නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ නිධන් හෑරූ බව කියන සිද්ධියේ විමර්ශන CIDයට පවරයි

නීතියේ දෙවඟන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

නිධන් ලබා ගැනීමේ අරමුණින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් අනවසරයෙන් අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ කැණීම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සිදු කෙරෙන සියලු විමර්ශන ඉන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (අගෝ. 20) නියෝග කළේ ය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මෙලෙස නියෝග කළේ, මෙම සිද්ධියට අදාළ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් යළි කැඳවා අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

එමෙන් ම, සැකකරුවන් කැණීම් කර ඇති ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ද යන්න පරීක්ෂා කර බලා ඊට අදාළ පුරා විද්‍යා වාර්තාව ෆැක්ස් මගින් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කළේ ය.

තව ද සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන්ගෙන් අනුරාධපුර බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ලබා දෙන ලෙස ත් ඊට අවශ්‍ය පහසුකම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සලසා දෙන ලෙස ත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලකට තවදුරටත් නියෝග කළේ ය.

අදාළ පිරිස විසින් මෙම ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක් ඇතුළත අනවසරයෙන් කැණීම් කර නිධන් ලබා ගැනීමට තැත් කරනු ලැබ තිබේ.

පොලිස්පතිවරයාගෙන් ලැබුණු උපදෙස

එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තම දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලෙසට පොලිස්පතිවරයා දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව ය.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයනේ දැනට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සිදු කෙරෙන සියලු විමර්ශන තම දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දේවාලයේ අඩි 4ක් ගැඹුර වළක්

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ප්‍රසාද් ධර්මසේන පැවසුවේ, අදාළ දේවාලය ඇතුළත අඩි 4ක් පමණ ගැඹුරට කැණීම් කර වළක් හාරා ඇත්තේ පුද පූජා පවත්වන අවස්ථාවන්වලදී ආතුරයා එම වළ තුළට බැස්සවීම සඳහා බව ය.

එමෙන් ම, මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට හේතුව සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරියෙකුගේ බිරිය සිටීම නිසා බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසිල් සිරිවර්ධන පැවසුවේ ය.

සැකකරුවන් මුදා හරින ලෙස බලපෑමක් සිදු වූවා ද?

මේ අතර, නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් එම අවස්ථාවේදී මුදා හරින ලෙසට නියෝජ්‍ය පොලිස්තිපතිවරයෙකු බව කියන පුද්ගලයෙකු අනුරාධපුර පොලිස් නිලධාරීන්ට දුරකතනයෙන් බලපෑම් කර ඇතැයි ද යන්න අනාවරණ කර ගැනීමට සැකකරුවන්ගේ දුරකතන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලිසියට ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාවරයා සියලු දුරකතන සාමාගම්වල කළමනාකාරිත්වයට මීට පෙර නියෝග කර තිබිණි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවෝ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති