නෙතන්යාහු, ගැලන්ට් සහ හමාස් සන්නද්ධ නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

    • Author, ඩේවිඩ් ග්‍රිටන්
    • Role, බීබීසී පුවත්

ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා, එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සහ හමාස් සන්නද්ධ අංශයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) විනිසුරුවන් වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම අධිකරණයේ අධිකරණ බලයට ඊශ්‍රායලය කළ අභියෝග කිරීම ප්‍රතික්ෂේප කෙරුණු අතර බෙන්ජමින් නෙතන්යාහු සහ යොඅව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කෙරුණි.

මොහමද් ඩෙයිෆ් ජූලි මාසයේදී ගාසා තීරයේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළද ඔහු අත්අඩංගුවට ගැනීමට ද වරෙන්තු නිකුත් කර තිබේ.

ඊශ්‍රායලය සහ හමාස් අතර පැවති යුද්ධයේදී සිදු වූ බව කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් තිදෙනා “සාපරාධී වගකීම”දැරීම ට “සාධාරණ හේතු” ඇතැයි විනිසුරුවරු පැවසූහ. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

වරෙන්තු බලාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කිරීම දැන් ICC හි සාමාජික රටවල් 124 වෙත පැවරෙනු ඇත - ඊට ඊශ්‍රායලය හෝ එහි මිත්‍ර පාර්ශවීය රාජ්‍යයක් වන එක්සත් ජනපදය ඇතුළත් නොවේ.

මැයි මාසයේදී අයි.සී.සී නීතිඥ කරීම් ඛාන් නෙතන්යාහු, ගැලන්ට්, ඩෙයිෆ් සහ මීට පෙර මරා දැමූ හමාස් නායකයින් දෙදෙනෙකු වන ඉස්මයිල් හනියේ සහ යාහියා සින්වාර් වෙනුවෙන් වරෙන්තු ඉල්ලා සිටියේය. ඩෙයිෆ් මරා දමා ඇතැයි ඊශ්‍රායලය විශ්වාස කළත්, ඔහුගේ මරණය තහවුරු කිරීමට නොහැකි වූ බව අධිකරණය ප්‍රකාශ කළේය.

2023 ඔක්තෝබර් 7 වැනි දින හමාස් තුවක්කුකරුවන් දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 1,200ක් පමණ මරා දමා තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරය වෙත රැගෙන යාම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා නඟා තිබේ.

ඊශ්‍රායලය එම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූයේ හමාස් සංවිධානය තුරන් කිරීම සඳහා හමුදා මෙහෙයුමක් දියත් කරමිනි, එම කාලය තුළ ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 44,000 ක් මිය ගොස් ඇති බව ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඛාන් විසින් හමාස් නායකයින්ට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ සමූහඝාතන, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය සහ වධහිංසා පැමිණවීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා කළේය.

සිවිල් වැසියන්ට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම සහ සාගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම මෙන්ම සමූහඝාතන සහ මිනීමැරුම් චෝදනා ඊශ්‍රායල නායකයින්ට එරෙහිව එල්ල වී තිබේ.