ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන් විය හැකි ද?
ජුනි 28 වැනිදා ඉරානයේ ජනාධිපතිවරණය පැවැත්වේ. මැයි මාසයේදී හෙලිකොප්ටර් අනතුරකින් ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මිය යාමෙන් පසුව, මැතිවරණය බලාපොරොත්තු වූවාට වඩා වසරකට පෙර පැමිණ තිබේ.
දැඩි මතධාරී පූජකයෙකු සහ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතමයෙකු වන රයිසි එරට ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීම ඉස්ලාමීය ජනරජයේ සෑම ප්‍රදේශයක ම පාහේ සිටින කොන්සර්වේටිව් දේශපාලනඥයින්ගේ පාලනය තව ත් ශක්තිමත් කළේ ය.
ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරයා මිය ගොස් දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු වන්නේ, පක්ෂවලට තම අපේක්ෂකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කෙටි කාලයක් පමණක් ඉතිරි කරමිනි.
ප්‍රබල කොන්සර්වේටිව් දේශපලනඥයින් අතර කුඩා කණ්ඩායම්වලින් ඉදිරිපත් වන අපේක්ෂකයෝ ද සිටිති.
එහෙත් මීට පෙර පැවති මැතිවරණවලදී අපේක්ෂකයින් වැඩි දෙනෙකු නුදුසුස්සන් වීම සහ මෑතකදී පැවති විරෝධතා සහ විරෝධතාකරුවන්ට එරෙහිව රජය ගෙන ගිය දැඩි මර්දනකාරී වැඩපිළිවෙළින් පසුව බොහෝ ප්‍රමුඛ පෙළේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම් සහ පුද්ගලයින් [මැතිවරණය සඳහා] සහභාගී නොවන බවට නිවේදනය කර ඇත.
තරගයේ සිටින්නේ කවුද?
අපේක්ෂකයින් සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලියේදී බලවත් ආයතනවලට සිදු කළ හැකි බලපෑම හේතුවෙන් ඉරානයේ මැතිවරණ නිදහස් හෝ තරගකාරී නොවන බවට නිරීක්ෂකයින් බොහෝ දෙනෙක් සලකති.
පාර්ලිමේන්තුවට, ජනාධිපති ධූරයට සහ විද්වත් සභාවට සුදුසු පුද්ගලයින් කවුරුන් ද යන්න තීරණය කරන ඉරාන දේශපාලනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන භාරකාර කවුන්සිලය දැන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් 80 දෙනාගෙන් හය දෙනෙකු සඳහා අනුමැතිය ලබා දී ඇත.
1. මොහොමඩ් බාගර් ගලිබාෆ්: 62 හැවිරිදි ඔහු පසුගිය වසර හතර තුළ ඉරාන පාර්ලිමේන්තුවේ කතා නායකවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු තෙවරක් ජනාධිපති ධූරයට තරග කර ඇති අතර, දෙවරක් පරාජය වී 2021 වසරේදී රයිසිට සහය පළ කරමින් මැතිවරණයෙන් ඉවත් විය. ඔහුට උසස් හමුදා තනතුරු සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති අතර වසර 12ක් සේවය කරමින් ටෙහෙරාන් අගනුවර නගරාධිපති ලෙස දීර්ඝතම කාලයක් එම ධූරය හෙබ වූ නගරාධිපතිවරයා ලෙස වාර්තාවක් ද තබා ඇත.
2. අමිර්හුසේන් ගාසිසදේ හෂේමි: 53 හැවිරිදි ඔහු උගුර, කන, නාසය සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඉරාන කොන්සර්වේටිව් දේශපාලනඥයෙකු වන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වාර හතරක් සේවය කර ඇත. ඉතා මෑතකදී ඔහු ජනාධිපති රයිසිගේ රජයේ නියෝජ්‍ය නායකයා [උප ජනාධිපති] ලෙස කටයුතු කළේ ය. ඔහු 2021 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්ද මිලියනයකට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් සිව්වන ස්ථානයට පත් විය. එය මිලියන හතරකට ආසන්න වලංගු නොවන ඡන්ද ගණනක් ප්‍රකාශ කෙරුණු මැතිවරණයක් විය.
3. සයීඩ් ජලීලී: 58 හැවිරිදි ඔහු යෝග්‍යතා අධීක්ෂණ කවුන්සිලයේ (Expediency Discernment Council) සාමාජිකයෙකු වෙයි. ඔහු මීට පෙර උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් වූ අතර වසර හතරක් ඉරානයේ න්‍යෂ්ටික සාකච්ඡා සිදු කළ කණ්ඩායමට නායකත්වය දුන්නේ ය. ඔහු ජනාධිපති ධූරය සඳහා දෙවරක් තරග කළ අතර 2021 වසරේ මැතිවරණයේදී ඊබ්‍රහිම් රයිසිට සහය පළ කරමින් ඉන් ඉවත් විය.
4. මසූද් පෙසෙෂ්කන්: 70 හැවිරිදි ඔහු හෘද සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වාර පහක් සේවය කර ඇති අතර වසර හතරක් සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය. අවංක හා ඍජු චරිත ස්වභාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ඔහු ඉරානයේ දේශපාලන වාතාවරණය සහ දූෂණය විවෘතව විවේචනය කර ඇත. 2022 වසරේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ මහ්සා අමිනීගේ මරණය සම්බන්ධයෙන් ඉරාන රජය කටයුතු කළ ආකාරය ගැන ඔහු ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළේ ය. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායමේ එක ම නිල අපේක්ෂකයා ඔහු ලෙස සැලකෙන අතර, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙසෙෂ්කන් ලද අනුමැතිය කැපී පෙනෙන දියුණුවක් ලෙස ඇතැම්හු සලකති.
5. මුස්තාෆා බර්මහාමද්: භාරකාර කවුන්සිලය විසින් අනුමත කරන ලද අපේක්ෂකයින් හය දෙනා අතර සිටින එක ම පූජකවරයා 65 හැවිරිදි ඔහු ය. දිවංගත ජනාධිපති රයිසි ද සාමාජිකයෙකු වූ 1988 වසරේදී දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීම අධීක්ෂණය කළ ඊනියා ‘මරණ කමිටුව’ තුළ තම භූමිකාව සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලද ඔහු කොන්සර්වේටිව් (ගතානුගතික) දේශපාලනඥයෙකි.
6. ඇලිරේසා සකානි: 59 හැවිරිදි ඔහු පසුගිය වසර තුනක කාලය තුළ ටෙහෙරානයේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. මෙම කොන්සර්වේටිව් (ගතානුගතික) දේශපාලනඥයා විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ බසීජ් හරහා දේශපාලනයට පිවිසි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වාර හතරක් සේවය කර ඇත.
ප්‍රතික්ෂේප වුණු ප්‍රබල පුද්ගලයින් කවුද?
ඉස්ලාමීය ජනරජයේ මීට පෙර සැලකිය යුතු තනතුරු දැරූ ඇතැම් ප්‍රසිද්ධ දේශපාලන චරිත නුසුදුස්සන් වීම ඉරාන දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වන්නේ පළමු වතාවට නොවේ.
මිසූරි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කලා, විද්‍යා හා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ඉරානය පිළිබඳ විශේෂඥයෙකු වන මෙර්සෝද් බෝරොෂර්දි (Mehrzad Boroujerdi) පවසන්නේ, හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් සහ හිටපු කතානායක අලී ලරියානි බැහැර කිරීම විශේෂයෙන් මතභේදාත්මක බව ය.
වසර අටක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීම සහ උත්තරීතර නායකයා වෙත උපදෙස් ලබා දෙන යෝග්‍යතා කවුන්සිලයේ (Expediency Council) මේ වන විට තනතුරක් තිබියදීත් අහමදිනෙජාඩ්ට අනුමැතිය නොලැබිණි.
අහමදිනෙජාඩ් වරක් අයතුල්ලා කමේනිගේ ප්‍රියතමයෙකු ලෙස සලකනු ලැබුව ද, ඔහුගේ දෙවන ධූර කාලය අවසන් වන විට ඔහු කෙරෙහි උත්තරීතර නායකයා තුළ වූ ප්‍රසාදය අහිමි විය.
"ඒ හා සමානව, හිටපු අමාත්‍යවරයෙක්, කතානායකවරයෙක් සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයෙක් ලෙස සැලකිය යුතු දේශපාලන පසුබිමක් ඇති තවත් යෝග්‍යතා කවුන්සිලයේ සාමාජිකයෙක් වන අලී ලරියානි ත් නුසුදුස්සෙක් වුණා," බෝරොෂර්දි (Boroujerdi) පවසයි.
"දිගින් දිගට ම ඔවුන් නුසුදුස්සන් වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ ගතානුගතිකත්වයේ (conservatism) සන්නාමය තවදුරටත් උත්තරීතර නායකයා සහ භාරකාර කවුන්සිලය අනුමත කරන්නේ නැහැ කියලා."
පෙර මැතිවරණවලට සාපේක්ෂව මෙම ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා භාරකාර කවුන්සිලයේ ප්‍රවේශයේ වෙනසක් ඇතැයි බොහෝ විශේෂඥයෝ නොදකිති.
කවුන්සිලය සාමාන්‍යයෙන් ප්‍රතිසංස්කරණවාදී-මධ්‍යස්ථ කඳවුරෙන් ඉදිරිපත් කෙරෙන නම් එකක් හෝ දෙකක් අනුමත කරයි. නමුත් බහුතරයක් හිමි වන්නේ ගතානුගතික කඳවුරට ය.
"මධ්‍යස්ථ කඳවුරේ එක ම අපේක්ෂකයා මසූද් පෙසෙෂ්කන් ය. ඔහුගේ මූලික අභියෝගය වන්නේ, කලකිරුණු මහජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට පොළඹවා ගන්න එක", බෝරොෂර්දි පැහැදිලි කරයි.
"සාර්ථක වුණොත්, ප්‍රධාන තරගය ඔහු සහ වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක සහ රෙජීමයේ අනුග්‍රහය ලබන ප්‍රමුඛ දේශපාලන චරිතයක් වන මොහොමඩ් බාකර් කාලිබාෆ් අතර තියේවි කියලා අපේක්ෂා කරනවා."
ඉරානයේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපති අපේක්ෂකයින් "ඉරාන සම්භවයක් ඇති ආගමික සහ දේශපාලන චරිත" විය යුතු අතර ඉස්ලාමීය ජනරජයේ සහ රටේ නිල ආගමේ මූලධර්මවලට අනුගත විය යුතු ය.
කෙසේ වෙතත්, ඉස්ලාමීය ජනරජය පිහිටුවීමෙන් පසු දශක කිහිපය තුළ, උත්තරීතර නායකයාගේ ක්‍රියාකලාපයට සහ ප්‍රතිපත්තිවලට පරිබාහිරව කටයුතු කළ හැකි පුද්ගලයින් නුසුදුස්සන් කිරීමට රජය නැවත නැවතත් භාරකාර කවුන්සිලය භාවිත කර ඇත.
පූජකවරුන් හය දෙනෙකු සහ නීතිවේදීන් හය දෙනෙකුගෙන් සමන්විත කවුන්සිලය ඍජුව සහ වක්‍රව පාලනය කරනු ලබන්නේ, පූජකවරුන් හය දෙනා පෞද්ගලිකව පත් කරන උත්තරීතර නායකයා විසිනි. නීතිවේදීන් හය දෙනා තෝරා ගැනීම සඳහා, අධිකරණ ප්‍රධානියා (ඔහු ද උත්තරීතර නායකයා විසින් පත් කරනු ලබයි) තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
ඉරානයේ මැතිවරණ "කල් තියා සැලසුම් කරන ලද" මැතිවරණ ලෙස විස්තර කරන මැතිවරණ නිරීක්ෂකයෝ අපේක්ෂකයින් අනුමත කිරීමේ ක්‍රියාවලියේ අත්තනෝමතික ස්වභාවය පෙන්වා දෙති.
කාන්තාවන්ට තරග කිරීමට අවසර තිබේ ද?
දින පහක් පුරා පැවති ලියාපදිංචි කාලය තුළ කාන්තාවන් හතර දෙනෙක් ජනාධිපති තරගය සඳහා තම අපේක්ෂකත්වය ප්‍රකාශ කළහ.
පළමු වතාවට ඔවුන්ගෙන් දෙදෙනෙකු කොන්සර්වේටිව් පාර්ශවය නියෝජනය කරමින් ඉදිරිපත් වුණු අතර, එක් අයෙකු ප්‍රතිසංස්කරණවාදී කඳවුරෙන් සහ සිව්වැන්නා ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ලියාපදිංචි වූවා ය.
මෙම කාන්තාවන් සිව්දෙනා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ලියාපදිංචි වී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ "ආගමික සහ දේශපාලනික පිරිමින්" (එම අවශ්‍යතාව 'රිජල්' යන අරාබි යෙදුමේ සම්ප්‍රදායික අර්ථකථන මත පදනම්ව ඇත) අතරින් යන කරුණ තිබියදී ය.
ඉස්ලාමීය ජනරජය පිහිටුවීමෙන් පසු පැවති ජනාධිපතිවරණ 13 සඳහා ඉදිරිපත් වීමට කිසිදු කාන්තාවකට අනුමැතිය ලැබී නොමැත. එය ක්‍රියාකාරීන් අතර මතභේදයට තුඩු දෙන කාරණයකි.
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන බොහෝ දෙනෙකු තර්ක කරන්නේ, අරාබි භාෂාවෙන් ‘රිජාල්’ යන්නෙහි තේරුම ‘පිරිමි’ වන අතර, ෆාර්සි භාෂාවෙන් ඉන් ‘ප්‍රමුඛ පුද්ගලයෙකු’ යන ද අදහස් කළ හැකි බව ය. එබැවින් ක්‍රියාකාරීන් තර්ක කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියූ අය විශේෂයෙන් පිරිමි චරිතයකට වඩා "දේශපාලන චරිතයක්" යන්න අදහස් කරන්නට ඇති බව ය.
මෑත කාලීන විරෝධතා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට බලපාන්නේ ද?
වත්මන් ජනාධිපතිවරණය පැමිණෙන්නේ 2022 සැප්තැම්බර් මාසයේදී ඉරානයේ සදාචාරාත්මක පොලිසියේ අත්අඩංගුවේ සිටියදී සිදුවූ මහ්සා අමිනීගේ මරණයෙන් ඉක්බිතිව ඇති වුණු පුළුල් විරෝධතාවලින් වසර දෙකකට පමණ පසුව ය.
ඉරානයේ සිදුවුණු 'කාන්තාව, ජීවිතය, නිදහස' යන සටන් පාඨය ප්‍රමුඛ කර ගත් විරෝධතා ව්‍යාපාරයේදී විරෝධතාකරුවන් 551ක පමණ පිරිසක් ආරක්ෂක අංශ විසින් මරා දමන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මරණයට පත් වූයේ වෙඩි තැබීම්වලිනි.
ඉරාන රජය විරෝධතාකරුවන් විශාල ගණනකට මරු කැඳවූ සහ විශාල ගණනක් අත්අඩංගුවට ගත් මෙම දැඩි මර්දනකාරී වැඩපිළිවෙළේ වගකීම භාර ගැනීමට අපොහොසත් වූවා පමණක් නොව, පසුව එය හිජාබ් නීතිය නොතකා ප්‍රසිද්ධියේ පෙනී සිටින කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සහ දඬුවම් කිරීම ද නැවත ආරම්භ කළේ ය. අමිනී මුලදී රඳවා ගත්තේ එම චෝදනාව යටතේ ය.
ඉස්ලාමීය ජනරජය ඒ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය, රජය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණ ඇතිව, මීට පෙර මැතිවරණවලට සහභාගී වූ බොහෝ පුද්ගලයන් සහ කණ්ඩායම්, කුමන හෝ දේශපාලන සහභාගීත්වයක් වර්ජනය කිරීම වෙනුවෙන් පෙනී සිටීමට පොළඹවන ලදී.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සුදුසුකම් ලත් ඡන්ද දායකයින්ගෙන් 41%ක් පමණක් ඡන්ද පොළට ගිය, පසු ගිය මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙම දේශපාලන වර්ජනය තහවුරු විය. එය ඉස්ලාමීය ජනරජය පිහිටුවීමෙන් පසු වාර්තා වුණු අඩු ම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වේ.
රජය විසින් සපයන ලද ඡන්ද දායකයින්ගේ පැමිණීම පිළිබඳ සංඛ්‍යාලේඛන යථාර්ථය පිළිබිඹු නොකරයි. ජාතික හැඳුනුම්පත් භාවිතයෙන් විද්‍යුත් ලෙස ඡන්දය භාවිත කිරීමට අවසර දුන් පාර්ලිමේන්තු සහ විද්වතුන්ගේ සභා මැතිවරණවලදී, තමන් සහභාගි නොවූ බව ප්‍රකාශ කළ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බවට බොහෝ වාර්තා පළ විය.
නව ජනාධිපතිවරයෙකුගෙන් වෙනසක් අපේක්ෂා කළ හැකි ද?
අත්දැකීම්වලින් පෙනී යන්නේ, ඉරානයේ පාලන තන්ත්‍රයේ සමස්ත ප්‍රතිපත්ති තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් නොව, උත්තරීතර නායකයා සහ ඔහුගේ පාලනය යටතේ පවතින බලවත් ආයතන විසින් බව ය. එබැවින් අයතුල්ලා කමේනිගේ අවසරයකින් තොරව දේශීය හා විදේශීය ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇත.
බොහෝ නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ, උත්තරීතර නායකයා නිරන්තරයෙන් වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔහුගේ බලය භාවිත කිරීම සහ අවසානයේ සිදු කරන්නේ කුමක් ද යන්න තීරණය කරන බැවින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සමාලෝචනය කිරීම හෝ ඉරානය විසින් ඊශ්‍රායලය පිළිගනු ලැබීම වැනි විදේශ ප්‍රතිපත්තියේ වෙනස් වීම්, නව ජනාධිපතිවරයාට පමණක් තනිව තීරණය කළ නොහැකි බව ය.
ඒ හා සමානව, කමේනිගේ අනුමැතිය නොමැතිව කාන්තාවන් සඳහා හිජාබය පැළඳීම අනිවාර්ය කිරීම වැනි ගෘහස්ථ ප්‍රතිපත්තිවල වෙනස්කම් කිරීමට ද කිසිදු ජනාධිපතිවරයෙකුට නොහැකි වනු ඇති බව පෙනේ. එපමණක් නොව, භාරකාර කවුන්සිලය විසින් අනුමත කරන ලද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව සැලකිල්ලට ගැනීමේදී, බොහෝ දෙනෙකුට එවැනි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇත.
"ඊළඟ ජනාධිපතිවරයා ගන්නා ඕනෑ ම තීරණයක් අත්‍යවශ්‍යයෙන් ම පාලන තන්ත්‍රය විසින් ගනු ලබන තීරණයක්," යැයි දේශපාලන විශ්ලේෂක මසූඩ් සෆීරි පවසයි.
මීළඟ උත්තරීතර නායකයා තෝරා ගන්නේ කවුද?
ඉරානයේ අනාගතය ඇත්තේ නව ජනාධිපතිවරයා අතේ ද?
අයතුල්ලා කමේනිගේ වයස අවුරුදු 85කි. එබැවින් ඔහුගේ අනුප්‍රාප්තිකයා පිළිබඳ නැගෙන ප්‍රශ්න වඩ වඩා ත් අදාළ වේ.
ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, උත්තරීතර නායකයා තෝරා ගැනීමේ වගකීම පැවරෙන්නේ විද්වතුන්ගේ සභාවට ය.
එහෙත්, නිල වශයෙන් හෝ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේදී ජනාධිපතිවරයාට කිසිදු කාර්යයක් නොපැවරෙන නමුත් උත්තරීතර නායකගේ අභාවයෙන් පසු ඇති වන අස්ථාවර කාලය තුළ, දේශපාලන වේදිකාවට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට බොහෝ අවස්ථාවන් තිබේ.
කෙසේ වෙතත්, අවසාන වශයෙන්, පසුගිය දශක හතර තුළ ජනාධිපතිවරයා සතුව පැවති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට පවරා ඇති වගකීම් සමග කිසි විටෙකත් නොගැළපෙන බව පැහැදිලි ය.
"අයතුල්ලා කමේනි පසුගිය වසර 35 තුළ ඉරානයේ නායකත්ව ක්‍රමය හැඩගස්වා ඇත්තේ ඔහුගේ මරණයෙන් පසු, ජනාධිපතිවරයා කවුරුන් වුව ත්, මෙම පාලන තන්ත්‍රයට තමන්ගේ ම ආකාරයෙන් රට පාලනය කිරීමට හැකි වන පරිදි," සෆීරි පවසයි.
"එය නැගෙනහිර කොටසේ තියෙන කොමියුනිස්ට් පක්ෂවලට සමාන වනු ඇත."