පෘථිවියේ අභ්‍යන්තර හරයේ හැඩය වෙනස් වීම නිසා ඉදිරියේදී කුමක් සිදුවෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජෝර්ජිනා රන්නාඩ්
- Role, දේශගුණික හා විද්‍යා වාර්තාකරු
පසුගිය වසර 20ක කාලය තුළ පෘථිවියේ අභ්‍යන්තර හරය (The inner core) වෙනස් වී ඇතැයි උපකල්පනය කළ හැකි බව විද්‍යාඥයින් කණ්ඩායමක් පවසති.
අභ්‍යන්තර හරය සාමාන්‍යයෙන් බෝලයක හැඩයකින් යුක්ත වන බවට සැලකෙන නමුත්, එහි දාර ඇතැම් ස්ථානවලින් මීටර් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ස්වභාවික ස්වරූපයේ වෙනසක් වී ඇති බව පර්යේෂණයට නායකත්වය දුන් මහාචාර්ය ජෝන් විඩේල් පවසයි.
පෘථිවි හරය ග්‍රහලෝකයේ හදවත මෙන් ක්‍රියා කරන අතර, සූර්යයාගේ හානිකර විකිරණවලින් ජීවය ආරක්ෂා කරන චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය කරයි.
අභ්‍යන්තර හරය බාහිර හරයෙන් සහ පෘථිවියේ සෙසු කොටස්වලින් වෙන්ව තනිව භ්‍රමණය වේ. එය භ්‍රමණය වීම නැවතුණහොත්, වසර බිලියන ගණනකට පෙර අඟහරු ග්‍රහයා මෙන් පෘථිවියට එහි චුම්බක ක්ෂේත්‍රය අහිමි වී නිසරු වනු ඇත.
ඝන අභ්‍යන්තර හරය ඉතා උණුසුම් ද්‍රව ලෝහ බාහිර හරය හමුවන විට හැඩය වෙනස් වීම සිදු විය හැක..
මෙම පර්යේෂණය Nature Geoscience සඟරාවේ පළ විය. පෘථිවි භ්‍රමණය හා සසඳන විට අභ්‍යන්තර හරය මන්දගාමී වී 2010 දී නැවතත් වේගවත් වූ හේතුව කුමක් දැයි විද්‍යාඥයෝ මුලින් සොයා බැලීමට උත්සහ කළහ.
චුම්බක ක්ෂේත්‍රය ග්‍රහලෝකය ආරක්ෂා කරන ආකාරය සහ එය දුර්වල වීම හෝ අතුරුදන් විය හැකි ද යන්න දැන ගැනීමට පෘථිවි හරය ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
පෘථිවියේ අභ්‍යන්තරය ඉතා අද්භූත ය. හරය මතුපිට සිට සැතපුම් 4,000ක් පමණ දුරින් පිහිටා ඇති අතර, ඔවුන්ගේ උත්සාහයන් නොතකා, විද්‍යාඥයින්ට මේ දක්වා ඒ වෙත ළඟා වීමට නොහැකි වී තිබේ.
එබැවින්, හරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා, ඇතැම් පර්යේෂකයන් පෘථිවිය හරහා නිරීක්ෂණය වන විට භූමිකම්පාවලින් ඇති වන කම්පන තරංග අධ්‍යයනය කරති.
තරංග ගමන් කරන ආකාරය අභ්‍යන්තර හරය ඇතුළුව ඒවා හරහා ගමන් කළේ කුමන ආකාරයේ ද්‍රව්‍ය හරහා ද යන්න හෙළිකරන අතර, අපට යටින් ඇති දේ විද්‍යාඥයින්ට තේරුම් ගැනීමට උපකාරී වේ.
නව අධ්‍යයනයෙන් 1991 සහ 2023 අතර කාලයේදී එක ම ස්ථානයේ ඇති වූ භූමිකම්පාවලින් භූ කම්පන තරංග රටා පරීක්ෂා කරන ලදී. මෙය අභ්‍යන්තර හරය කාලයත් සමග වෙනස් වන ආකාරය පෙන්වීමට උපකාරී විය.
දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පෘථිවි විද්‍යාඥයෙකු වන මහාචාර්ය විඩේල්, 2010 දී පමණ අභ්‍යන්තර හරය මන්දගාමී විය යන අදහසට තවත් සාක්ෂි සොයා ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නමුත් අභ්‍යන්තර හරය හැඩය වෙනස් වන බවට ඔහුගේ කණ්ඩායම ද සාක්ෂි සොයා ගත්තේ ය.
අභ්‍යන්තර හරයේ ද්‍රවාංකයට ආසන්නව පවතින අභ්‍යන්තර හා පිටත හරය අතර මායිමේ මෙය සිදු වන බව පෙනේ. බාහිර හරයේ ගලායාම සහ අසමාන ගුරුත්වාකර්ෂණය හැඩය වෙනස් වීමට හේතු විය හැක.
අධ්‍යයනයට සම්බන්ධ නොවූ ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හර්වොජේ ට්කාල්සික් පැවසුවේ, මෙම විද්‍යාත්මක පත්‍රිකාව "තවදුරටත් ගවේෂණය කළ යුතු සිත්ගන්නාසුලු අදහසක්" සපයන බව ය.
එය විද්‍යාවේ අඩුවෙන් ම තේරුම් ගත් දේවල්වලින් එකක් වන අභ්‍යන්තර හරයේ ඝනකම වැනි වැදගත් ගුණාංග ගැන වඩා හොඳ අනුමාන කිරීමකට විද්‍යාඥයින්ට උපකාර කළ හැකි බව ඔහු පැවසීය.
ද්‍රව බාහිර හරය, ඝන අභ්‍යන්තර හරය වෙත සෙමෙන් මිදෙමින් පවතින නමුත් සම්පූර්ණ ඝන බවට පත්වීමට වසර බිලියන ගණනක් ගත වනු ඇත.
එය නිසැකව ම පෘථිවියේ ජීවය අවසන් කරනු ඇත, නමුත් ඒ වන විට දැනටමත් සූර්යයා විසින් පෘථිවිය ගිල දමා ඇත.
මහාචාර්ය විඩේල්ගේ කාර්යය ප්‍රවීණයන්ගේ ගෝලීය ප්‍රයත්නයක කොටසක් වන අතර, එය පෘථිවි හරය තුළ සිදුවන්නේ කුමක් ද යන්න විවාදාත්මක් ලෙස අධ්‍යයනය කරයි.
"විද්‍යාවේදී, අපි සාමාන්‍යයෙන් උත්සහ කරන්නේ ඒවා තේරුම් ගන්නා තෙක් ඒවා දෙස බැලීමට යි", මහාචාර්ය විඩේල් පවසයි.
"මෙම සොයා ගැනීම අපගේ දෛනික ජීවිතයට අංශු මාත්‍රයකට හෝ බලපාන්නේ නැහැ, නමුත් අපට සැබවින් ම අවශ්‍ය වන්නේ, පෘථිවියේ මැද සිදුවන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම යි," ඔහු තවදුරටත් පවසයි.
එම වෙනස්කම් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්කම්වලට සම්බන්ධ වී ඇති බව සිතිය හැකි ය.
"පසුගිය දශක කිහිපය තුළ චුම්බක ක්ෂේත්‍රය විවිධ අවස්ථාවලදී කම්පනයට පත් වී ඇති අතර, එය අභ්‍යන්තර හරයේ මායිමේ අප දකින දෙයට සම්බන්ධ දැයි දැන ගැනීමට අප කැමති යි," ඔහු පැවසීය.
ඕනෑ ම වේලාවක පෘථිවිය භ්‍රමණය වීම නතර වනු ඇතැයි වැනි සොයාගැනීම් අතිශයෝක්තියට නැංවීමට එරෙහිව මහාචාර්ය විඩේල් අනතුරු ඇඟවීය.
තවමත් අවිනිශ්චිතතා රැසක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
"අපි මෙම වෙනස්කම් නිවැරදිව අර්ථකථනය කරන බව අපට සම්පූර්ණයෙන් ම විශ්වාස නැහැ," ඔහු පැවසුවේ, විද්‍යාත්මක දැනුම සෑම විට ම වෙනස් වන බවත්, බොහෝ පර්යේෂකයන් මෙන්, ඔහු මීට පෙර වැරදි කර ඇති බවත් ය.














