කොඩ්‍රන්ටිඩ්ස්: 2025 වසරේ 'හොඳ ම උල්කා වර්ෂාව' සිදුවන්නේ කවදා ද? සහ එය නරඹන්නේ කෙසේ ද?

A cluster of antennas silhouetted against the Quadrantid meteor shower

ඡායාරූප මූලාශ්‍රය, Cheng Luo/NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, නාසා ආයතනයට අනුව, පෘථිවි වායුගෝලයට තත්පරයට කිලෝමීටර 40ක වේගයෙන් ඇතුළු වන අංශු සමග පැමිණෙන "දීප්තිමත් ගිනිබෝල වැනි උල්කා" පැයකට 120ක් පමණ එහි උච්චතම අවස්ථාවේදී සහ සුදුසු තත්ත්වයන් යටතේ දැක ගත වනු ඇත

ජනප්‍රවාදවලට අනුව, ඔබ කඩා වැටෙන තාරකාවක් දෙස බලා ප්‍රාර්ථනා කළහොත් එය සැබෑ වනු ඇත. නමුත් ඔබ එවැනි මිථ්‍යා විශ්වාස ගැන විශ්වාස කෙනෙකු වුව ද තාරකා විද්‍යාත්මක සංසිද්ධි නැරඹීමෙන් සතුටක් ලබන කෙනෙකු වුව ද ඔබ වාසනාවන්ත වනු ඇත.

2025 වසරේ පළමු උල්කා වර්ෂාව, කොඩ්‍රන්ටිඩ්ස් (Quadrantids), ජනවාරි 3-4 දිනවල එහි උච්චතම අවස්ථාවට පැමිණෙන අතර එය පියවි ඇසින් දැකීමට ද අවස්ථාව උදාවනු ඇත. දෙසැම්බර් 28 වන දා සිට සක්‍රියව පැවති එය ජනවාරි 12 දක්වා පවතිනු ඇත.

ජාත්‍යන්තර උල්කාපාත සංවිධානයට (IMO) අනුව, මෙය "වසරේ හොඳ ම" උල්කා වර්ෂාව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයට අනුව, පෘථිවි වායුගෝලයට තත්පරයට කිලෝමීටර 40ක පමණ වේගයකින් ඇතුළු වන අංශු සමග පැමිණෙනම, "දීප්තිමත් ගිනිබෝල වැනි උල්කා" පැයකට 120ක් පමණ එහි උච්චතම අවස්ථාවේදී සහ සුදුසු තත්ත්වයන් යටතේ දැකිය හැකි වනු ඇත.

කෙසේ වෙතත්, "ඒක බලාපොරොත්තු වෙන තරම් හොඳට බලා ගන්න පුළුවන් වෙන්නේ නැත්තේ ඒකෙ උච්චතම අවස්ථාව (පැය 6ක්) පොඩි කාලයක් පවතින නිසා සහ ජනවාරි මුල තියෙන අයහපත් කාලගුණික තත්ත්වය නිසා," ජාත්‍යන්තර උල්කාපාත සංවිධානය සඳහන් කළේ ය.

18 වන සියවසේ අගභාගයේදී නිර්මාණය වුණු පැරණි තාරකා මණ්ඩලයක් වන කොඩ්‍රන් මුරාලිස්හි (Quadrans Muralis) නම ඇසුරින් කොඩ්‍රන්ටිඩ්ස් (Quadrantids) යන නම තබා ඇත.

අහසේ එම කොටසින් පැමිණෙන උල්කා නිරීක්ෂණය කරමින් සිට ඉතාලි තාරකා විද්‍යාඥ ඇන්ටෝනියෝ බෲකලාසි විසින් ඒවා 1825 දී මුල් වරට දකිනු ලැබ ඇති බවට විශ්වාස කෙරේ.

"කඩා වැටෙන තරු විදිහට හඳුන්වන දීප්තිමත් වස්තූන් රාශියක් වායුගෝලය හරහා ගමක් කළා," ඔහු සඳහන් කළේ ය.

කොඩ්‍රන්ටිඩ් යනු, ග්‍රහකයක (පාෂාණවලින් සැදුණු) සුන්බුන් නිසා ඇති වන උල්කා වර්ෂා කිහිපයෙන් එකකි. අනෙක් ඒවා ධූමකේතු (අයිස් සහ දූවිලිවලින් සෑදී ඇති) නිසා ඇති වේ.

කොඩ්‍රන්ටිඩ් උල්කා වැස්ස දැකගන්නේ කෙසේ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොඩ්‍රන්ටිඩ්ස් උල්කා වැස්ස හොඳින් දැකගත හැක්කේ, ක්ෂිතිජයට ඉහළින් ඇති ඒවා පැමිණෙන ආකාශ ප්‍රදේශය දිස්වන උතුරු අර්ධගෝලයේ වෙසෙන ජනතාවට ය.

ජාත්‍යන්තර උල්කාපාත සංවිධානය පවසන පරිදි කණගාටුවට කරුණ නම්, "සමකයට දකුණින් දෙසින් සිටින ජනතාවට දැක ගත හැක්කේ මෙම ක්‍රියාකාරකම්වලින් ස්වල්පයක් පමණි. මන්ද උල්කා පැමිණෙන ප්‍රදේශය ඉතා පහතින් දිස්වීම හෝ ගිම්හාන ඍතුවේ රාත්‍රී කාලය කෙටි වන බැවිනි.

මෙම උල්කා අහසේ ඕනෑ ම තැනකදී දිස්විය හැකි නමුත් හොඳ ම නැරඹුම් ස්ථානය වන්නේ වායුගෝලය තුනී වන ක්ෂිතිජයෙන් තුනෙන් දෙකක් පමණ ඉහළ අහස ය.

වඩා ත් දර්ශනීය උල්කා සමහරක් විටින් විට නගර මධ්‍යයේ සිට දැකගත හැකි නමුත් එහි හොඳ ම අත්දැකීම නාගරික ප්‍රදේශවල ඇති ආලෝකයෙන් වැසී යනු ඇත.

"අහස අඳුරු වන තරමට ඔබට එතරම් දීප්තියක් නැති උල්කාත් දකින්න පුළුවන්," ලන්ඩනයේ Natural History Museumහි ග්‍රහලෝක විද්‍යාඥ සහ උල්කාපාත විශේෂඥ ආචාර්ය ඈෂ්ලි කිංග් පවසයි.

චන්ද්‍රයා පූර්ණ ලෙස පෑයූ විට උල්කා දැකීම දුෂ්කර විය හැකි බැවින් හොඳ ම අවස්ථාව උල්කා වැස්ස අමාවක දිනක නැරඹීම ය.

උල්කා ඉතා හොඳින් දිස්වන දිනවල, එනම් එහි උච්චතම අවස්ථාව වන විට සඳ වැඩිකල් යන්නට මත්තෙන් බැස යන්නේ එම සිදුවීමට ආලෝකයෙන් සිදුවන බාධා ඉවත් කරමිනි.

මෙම උල්කා වැස්ස නැරඹීම සඳහා විශේෂ උපකරණ අවශ්‍ය නොවන නමුත් ඉවසීම අත්‍යවශ්‍ය වේ.

එබැවින්, නගර ආලෝකයෙන් ඈත අඳුරු ප්‍රදේශයක් සොයාගෙන, ඔබේ දෙපා ඊසාන දෙසට යොමු කර බිම මත වැතිරී විනාඩි 15 සිට 20ක පමණ කාලයක් ඔබේ දෑස්වලට අඳුරට හැඩගැසීමට ඉඩ දෙන්න.

"ඔබට පළමු විනාඩි 10දි මුකුත් දකින්න පුළුවන් වෙන එකක් නැහැ," ආචාර්ය කිංග් පවසයි.

"නමුත් ඔබ අඩු ආලෝකයට හුරුවත් ම ඔබට වැඩි වැඩියෙන් දේවල් නිරීක්ෂණය වෙන්න පටන් ගනීවි. ඒ නිසා ඉක්මනින් අත ඇරලා දාන්න එපා."

උල්කා වර්ෂාවක් ඇතිවීමට හේතුව කුමක් ද?

Quadrantid meteor streaks across a night sky. Silhouette of trees and hills in the foreground.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොඩ්‍රන්ටිඩ්ස් උල්කා වර්ෂාව ජනවාරි 12 දක්වා දර්ශනය විය හැක

"කඩා වැටෙන තරු" ලෙස හැඳින්වුව ද, උල්කා තාරකා නොවේ. ඒවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ උපතේදී ඉතිරි වී පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විට දැවී යන කුඩා අවශේෂ වේ.

බොහෝ උල්කා, වැලි කැටවලට වඩා විශාල නොවන, ඇදහිය නොහැකි වේගයකින් ගමන් කරන කුඩා දූවිලි අංශු වේ.

"අභ්‍යවකාශයේ රික්තකයෙන් පිටතට පැමිණ පෘථිවි වායුගෝලයට පැමිණෙන විට, එම කුඩා දූවිලි අංශු වායුගෝලයේ තියෙන අනෙක් අංශු සහ අයන සමග අන්තර්ක්‍රියා කරනවා. ඒත් සමග ඇතිවන ඝර්ෂණයෙන් ඒවා රත්වෙලා අපි දකින ආලෝකය ඇති වෙනවා," ආචාර්ය කිංග් පවසයි.

උල්කා වර්ෂා ඇති වන්නේ පෘථිවිය ධූමකේතු සහ ග්‍රහක මගින් ඉතිරි කර යන උල්කාෂ්ම ලෙස ද හැඳින්වෙන කුඩා සුන්බුන් කැබලි හරහා ගමන් කරන විට ය.

උල්කාපාත වර්ෂාවක උච්චතම අවස්ථාව සිදුවන්නේ පෘථිවිය මෙම සුන්බුන් ප්‍රවාහයේ ඝනත්වයෙන් ඉහළ ම කොටස හරහා ගමන් කරන විට ය. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි උල්කා සංඛ්‍යාවක් දිස්වීම සිදුවේ.

ඔබට කොඩ්‍රන්ටිඩ්ස් උල්කා වර්ෂාව මග හැරුණහොත් කරදර නොවන්න; තවත් උල්කා වර්ෂා මේ වසරේ සිදුවනු ඇත. ඒවා එතරම් ප්‍රබල නැතත් ඇතැම් ඒවා දක්ෂිණ අර්ධගෝලයට වඩා හොඳින් නිරීක්ෂණය වනු ඇත.