අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙන මව සහ දියණිය

Keisha Schahaff and Anastatia Mayers

ඡායාරූප මූලාශ්‍රය, Virgin Galactic

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙයිෂා ෂාහෆ්, වම් පස සහ ඇගේ දියණිය ඇනස්ටේෂියා මේයර්ස්, එක්ව අභ්‍යවකාශය තරණය කරන පළමු මව සහ දියණිය බවට පත් වනු ඇත

අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන Virgin Galactic විසින් ක්‍රියාත්මක කරනු ලබන සිය දෙවන වාණිජ අභ්‍යවකාශ ගමන සඳහා සහභාගි වීමට අවස්ථාවක් දිනූ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යාවක සහ ඇගේ මව මෙම සතිය අග අභ්‍යවකාශය තරණය කිරීමට නියමිත ය.

ඇනස්ටේෂියා මේයර්ස් සහ ඇගේ මව කෙයිෂා ෂාහෆ් අභ්‍යවකාශය තරණය කරන පළමු මව සහ දියණිය බවට පත් වනු ඇත.

කැරිබියන් දූපත්වල සිට එවැනි සංචාරයක යෙදෙන පළමු පුද්ගලයින් බවට ද ඔවුන් පත් වනු ඇත.

ඔවුන් දෙදෙනා බ්‍රහස්පතින්දා නිව් මෙක්සිකෝවෙන් පිටත් වීමට නියමිත ය.

තරගයට පිවිසෙන අවස්ථාවේ කෙයිෂා සිටියේ, තම දියණියගේ වීසා සම්බන්ධ කටයුත්තක් සඳහා එක්සත් රාජධානිය බලා යමින් ය.

ඇය ඇන්ටිගුවා සිට ලන්ඩන් දක්වා වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවයට අයත් යානයක ගමන් කරමින් සිටියදී හදිසියේ ම දැන්වීමක් මතු විය.

"මම මේ ලොතරැයිය පුරවලා, එක පාරක මාසෙකට විතර පස්සේ මට දැනුම් දීමක් කරනවා, ජයග්‍රාහකයෙක් වෙන්න මම අවසන් 20 දෙනා අතරට තේරිලා, පස්සේ අවසන් පස් දෙනා අතරට තේරිලා කියලා," ඇය පවසයි.

"ඒත් එක්ක ම වගේ, කවුද මගේ මිදුලේ හිටියේ? රිචඩ් බ්‍රැන්සන්. මුළු කණ්ඩායම ම මගේ ගෙදරට ඇවිල්ලා කියනවා, 'ඔයා තමයි ජයග්‍රාහකයා, ඔයා අභ්‍යවකාශයට යන්න ඉන්නේ,' කියලා."

Top of climb

ඡායාරූප මූලාශ්‍රය, Virgin Galactic

ඡායාරූප ශීර්ෂ වැකිය, Galactic 1 යානය ජූනි මාසයේදී අඩි 279,000ක (කිලෝමීටර් 85) උසකට ළඟා විය

කැරිබියන් දූපත්වල සිට ස්කොට්ලන්තයට ගොස් අධ්‍යාපන කටයුතුවල නියැළීමට තමන් ගත් තීරණය නිසා අභ්‍යවකාශයට යාමට අවස්ථාව උදා වූ බව ඇනස්ටේෂියා පවසයි.

"මම අහඹු ලෙස ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය තෝරා නොගත්තා නම් සහ මගේ වීසා බලපත්‍රය ලබා ගන්න අපට වෙනත් රටකට යාමට සිදු නොවුණේ නම් - අපි අභ්‍යවකාශයට යන එකක් නැහැ." ඇය පවසයි.

"අපිට මෙතනට එන්න, මට දැනෙන විධියට ඒ ඒ විශේෂ අවස්ථාවලදී ගොඩක් දේවල් සිද්ධ වුණා."

දර්ශනය සහ භෞතික විද්‍යා විෂයයන් හදාරන මෙම දෙවන වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව පවසන්නේ, ස්කොට්ලන්තයට අධ්‍යාපනය ලැබීමට පැමිණීම ඇය ජීවිතයේ ගත් වැදගත් ම තීරණයක් වූ නමුත් එය "විශිෂ්ට දේවල් සිදු වීමට හේතු වූ" බව ය.

Galactic 2 ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම ඇමෙරිකානු අභ්‍යවකාශ සමාගම විසින් සිදු කරනු ලබන දෙවන වාණිජ අභ්‍යවකාශ පියාසැරිය වන අතර, ගනුදෙනුකරුවන් මුදල් ගෙවා ගමන් කරන පළමු ගමන ද වෙයි.

රොකට් යානයේ ගමන් කිරීම සඳහා ප්‍රචාරණය කරන ලද මිල ඇමෙරිකානු ඩොලර් 450,000 (පවුම් 350,000) තරම් ඉහළ අගයක් ගෙන ඇත.

Galactic 1 මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ ජූනි මාසයේදී ය. එය අඩි 279,000ක (කිලෝමීටර් 85) උන්නතාංශයකට ළඟා විය. දෙවන මෙහෙයුම ද එම ගමන් මගේ ම ක්‍රියාත්මක කරවීමට උත්සහ ගනු ඇතැයි විශ්වාස කෙරේ.

'මහත් සතුටක්'

අභ්‍යවකාශය තරණය කරන දෙවන ලාබාලතම පුද්ගලයා බවට පත්වන ඇනස්ටේෂියා පවසන්නේ, තමාට මෙම අත්දැකීම අන් අය ප්‍රබෝධමත් කිරීමට භාවිත කළ හැකි වෙතැයි බලාපොරොත්තු වන බව ය.

"ඒක මට ඉතා වැදගත් වේවි, ස්කොට්ලන්තයේ සහ ඇන්ටිගුවාවේ සහ අනෙක් තැන්වල ඉන්න මට සම්බන්ධකම් තියෙන අයට ත්," ඇය පවසයි.

"මිනිසුන් නරඹමින් සහය දක්වාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

"මගේ අභිප්‍රාය තමයි, අප අපිට ම පනවා ගෙන ඉන්න, එහෙමත් නැත්නම් ලෝකය අපිට පනවලා තියෙන සීමා මායිම් බිඳ දැමීම."

"මට මිනිස්සුන්ට කියන්න තියෙන්නේ, ඔයා කොහේ ද? ඔයා කවු ද? ඒ කියන කිසි දෙයක් වැඩක් නැහැ. ඔයාගේ සිහිනය ඔයාගේ. අනිත් අය මොනවා කිව්වත්, ඔයාට ඒක හැබෑ කර ගන්න පුළුවන්."

කෙයිෂා සඳහන් කළේ: "මට සහ මගේ දුවට, මේක හීනයක් හැබෑ වුණාට වඩා වැඩි දෙයක්."

"මේ මගේ දරුවා, මම ඇයට මගේ මුළු හදවතින් ම ආදරය කරනවා. ඒ වගේ ම, අපි දෙන්නට ම තියෙන්නේ එක ම ඉලක්කයක්, එක ම හීනයක් කියලා දැනෙන එක, හරි ම සතුටක්."

ඔවුන් දෙදෙනා නිව්කාසල්හි වෙසෙන මහා බ්‍රිතාන්‍යයේ හිටපු ඔලිම්පික් ක්‍රීඩක ජෝන් ගුඩ්වින් සමග එක්වනු ඇත. ඔහු අභ්‍යවකාශය තරණය කරනු ලබන පාකින්සන් රෝගයෙන් පෙළෙන දෙවන පුද්ගලයා මෙන් ම, පළමු ඔලිම්පික් ක්‍රීඩකයා ද බවට පත් වනු ඇත.