ඇමසන් නිර්මාතෘ අභ්‍යවකාශ චාරිකාවකට සැරසෙයි

ජෙෆ් බෙසොස්

ඡායාරූප මූලාශ්‍රය, EPA

බ්ලු ඔරිජින් (Blue Origin) නම් තම අභ්‍යවකාශ සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන මගීන් රැගත් පළමු අභ්‍යවකාශ ගමනට තම සහෝදරයා සමග එක්වන බව ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් පැවසීය.

ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් බෙසොස් කියා සිටියේ "මගේ මුළු ජීවිතය" පුරාම අභ්‍යවකාශ ගමනක යෙදීමේ අවශ්‍යතාව පැවති බවය.

මිනිසුන් සහිත සිය මංගල අභ්‍යවකාශ චාරිකාව සඳහා බෙසොස් සහෝදරයින් සමග එක්වීමට කැමති අයෙකු වෙනුවෙන් තවත් ආසනයක් වෙන්දේසි කිරීමට ද බ්ලු ඔරිජින් සමාගම පියවර ගෙන තිබේ.

ජෙෆ් බෙසොස් ලොව ධනවත්ම පුද්ගලයින් අතරින් කෙනෙකි.

ෆෝර්බ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 186.2ක ශුද්ධ වත්කමක් ඔහු සතුය.

"ජූලි 20 වෙනිදා මගේ සහෝදරයා එක්ක මා මේ ගමන යනවා," යැයි ඉන්ස්ටග්‍රෑම් හි සටහනින් ඔහු පවසා ඇත. "විශිෂ්ටතම ත්‍රාසජනක ක්‍රියාවේ යෙදෙන්නේ මගේ හොඳම මිතුරා එක්කයි" ඔහු කියා සිටියේය.

මෙය "විශිෂ්ට අවස්ථාවක්" යැයි ජෙෆ් බෙසොස් ගේ සොයුරු මාර්ක් පවසා තිබිණි.

බ්ලු ඔරිජින් සමාගම දියත්කරන අභ්‍යවකාශ යානය 'නිව් ෂෙපර්ඩ්' නමින් හැඳින්වේ.

ජෙෆ් බෙසොස් මෙම ගමනට එක්වීමේ සිය සැලසුම නිවේදනය කිරීමත් සමග, යානයේ වෙන්දේසියට එක් කළ ආසනයට ලංසු තැබීම ඩොලර් මිලියන 2.8 තෙක් ළඟාවී ඇත.

ආසන ලංසු තැබීම ජුනි 12 වෙනිදා දක්වා විවෘතව පවතී.

අභ්‍යවකාශයෙන් යළි පැමිණීමේදී 'නිව් ෂෙපර්ඩ්' හි බූස්ටරයට සිරස්ව පොළොවට ගොඩ බැසිය හැක. යානයට 'නිව් ෂෙපර්ඩ්' යන නම තැබුණේ අභ්‍යවකාශයට ගිය දෙවෙනි පුද්ගලයා මෙන්ම පළමු ඇමෙරිකානුවා වූ ඇලන් ෂෙපර්ඩ් සිහිවීම සඳහා ය.

බ්ලු ඔරිජින් සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 100 (සැතපුම් 62) ට වැඩි ඉහළකට ගෙන ගොස් මගීන්ට ක්ෂුද්‍ර ගුරුත්ව අත්දැකීමේ ඉඩකඩ මෙම ගමනින් සලසා දෙයි.

එම සමාගම මිනිසුන් සහිත පළමු අභ්‍යවකාශ ගමන දියත් කෙරෙන්නේ ජෙෆ් බෙසොස් සැලසුම් කර ඇති පරිදි ඔහු ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත්වී සති දෙකකින් අනතුරුවය.

වසර තිහකට පෙර තම නිවසේ ගරාජය තුළ ආරම්භකළ ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත්වන ඔහු එහි විධායක සභාපතිවරයා ලෙස සේවය කිරීමට අපේක්ෂා කරයි. ඒ මහින් ඔහුට වෙනත් ව්‍යාපාර වැඩකටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම බෙසොස්ගේ කාලය සහ ජවය ලැබේ.

මේ ගැනත් දැනගන්න: