ජෙෆ් බෙසෝස්: ලොව ධනවත් ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් (Jeff Bezos) සහ ඔහුගේ බිරිඳ වන මැකෙන්සි බෙසෝස් වසර 25 ක විවාහ දිවිය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කර තිබේ.

ඔවුන් දෙදෙනා ට්විටර් ඔස්සේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බදාදා (09) ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"දීර්ඝ කාලයක් ආදරයෙන් බැඳී සිටි අපි දික්කසාද වී මිතුරන් ලෙස ජීවිතය බෙදා ගැනීමට තීරණය කළ," බව ඔවුන් දෙදෙනා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වසර 25 කට පෙර ඇරඹුණු ඇමසෝන් සමාගම මේ සතියේදී මයික්‍රොසොෆ්ට් සමාගම අභිබවා යමින් 'ලොව වටිනා ම ලේඛනගත සමාගම' බවට පත්විය.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය අනුව ලොව ධනවත් ම පුද්ගලයා වන ඇමසෝන් සමාගමේ නිර්මාතෘ 54 හැවිරිදි ජෙෆ් බෙසෝස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137 කි. දෙවන ස්ථානයේ පසුවන බිල් ගේට්ස්ට වඩා ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45 කින් වැඩිය.

කියවන්න:

48 හැවිරිදි ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ වන මැකෙන්සි නවකතා ලේඛිකාවකි. ඇය 2005 වසරේදී The Testing of Luther Albright නමැති නවකතාව ද, 2013 වසරේදී Traps නවකතාව ද පළ කළාය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන් දෙදෙනා 1993 වසරේදී විවාහ වූහ.

"අපි දෙදෙනා එක්ව ගත කළ කාලය අතිශයින් වාසනාවන්ත වන අතර එම කාලය තුළ ගත කළ ජීවිතය පිළිබඳව එකිනෙකාට ගරු කරනවා," ඔවුන්ගේ නිවේදනයේ සඳහන් වේ.

"ඉදිරියේදී අපේ නාමයන් වෙනස් වෙන්න පුළුවන් වුණත්, අපි පවුලක් විදිහට ඉන්නවා. ඒ වගේ ම ආදරණීය මිතුරන් ලෙස සිටිනවා."

නිවාස අහිමි පවුල්වලට උපකාර කිරීම සහ අඩු ආදායම් සහිත ප්‍රජාවන් සඳහා පෙර පාසල් ඉදිකිරීම සඳහා ඔවුන් දෙදෙනා එක්ව පසුගිය වසරේ පුණ්‍ය ව්‍යාපෘතියක් ද ආරම්භ කළහ.

ඔවුන් දෙදෙනාට දරුවන් සිව් දෙනෙකු සිටින අතර ඉන් තිදෙනෙක් පිරිමි දරුවන් වෙති.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජෙෆ් බෙසෝස් ෆොක්ස් රූපවාහිනියේ නිවේදිකාවක වන ලෝරෙන් සොන්ෂේ (Lauren Sánchez) සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බවය.

2013 වසරේදී Vogue සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මැකන්සි පවසා තිබුණේ, තමන් ජෙෆ් බෙසෝස් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවක තමන්ට ඔහු පළමු වරට මුණ ගැසුණු බවය.

පසුව ඔවුන් දෙදෙනා 1993 වසරේදී විවාහ වූහ.

ජෙෆ් බෙසෝස් ඇමසෝන් නමැති පොත් අලෙවි කිරීමේ වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ, ඉන් වසරකට පසුවය.

එසේ ආරම්භ කළ සමාගම අතිශයින් දියුණු වෙමින් ව්‍යාප්ත විය.

පසුගිය සඳුදා නිකුත් වූ ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ දත්තවලට අනුව ඇමසෝන් සමාගමේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 797ක් ලෙස සටහන් විය.