ශ්‍රී ලංකා ප්‍රහාර: සිකුරාදා යාච්ඤාව පැවැත්වීමෙන් 'වැළකී සිටින්න'

සිකුරාදා යාඤ්ඤාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් සිකුරාදා (අප්‍රේල් 25) සාමූහිකව පවත්වන ජුම්මා යාච්ඤාව පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එම් අබ්දුල් හලීම් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරන අමාත්‍යවරයා, පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරු වී දුකට පත්වී සිටින කතෝලික ජනතාව සමග සියලුම මුස්ලිම් ජනතාව ශෝකය බෙදාගන්නා බවත් සඳහන් කරයි.

ජාතික තව්හිත් ජමා'අත් සංවිධානය මගින් තම මතයට විරුද්ධව කටයුතු කරන ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි කිහිපයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම පල්ලිවල ආරක්ෂාව තර කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ. කොළඹ එවැනි පල්ලියක භාරකරුවකු බීබීසි සිංහල සේවයට පැවසුවේ තම පල්ලියට ඒ හේතුවෙන් විශේස පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසන්නේ, ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම්වලට සම්බන්ධවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සිරුරු ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථානවල මිහිදන් කිරීම සඳහා භාරනොගන්නා බවය.

"අහිංසක ජිවිත බිලිගත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය කළ අය අපේ අයෙක් නොවේ. අපි ඔවුන්ගේ සිරුරු බාරගන්නේ නැහැ," ජමියතුල් උලමා සංවිධානයේ සභාපති මවුලවි එම් අයි එම් රිස්‌වි බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු පාස්කු ඉරුදින (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම්වලට සම්බන්ධවී තිබුණු අතර ඔවුන් ප්‍රහාරයට වගකිව යුතු බවට සැකකෙරෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව පොලිසිය පවසා තිබේ.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය

ඡායාරූප මූලාශ්‍රය, Twitter

"ඉස්ලාම් තමයි තිබිය යුතු එකම ආගම" යන පදනම මත ඔවුන් මෙම මරාගෙන මැරෙන ප්‍රාහාර එල්ල කර ඇති බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේදී මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය පැවසුවේ "අහිංසක මිනිසුන්ට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාර දියත් කළ මෙම පිරිස" තම කොටසක් ලෙස පිළිනොගන්නා බවය.

මෙහිදී ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ගැන ද අදහස් පළවූ අතර ඔහුගේ සැකකටයුතු හැසිරීම ගැන වසර කිහිපයකටම පෙර ආරක්ෂක අංශ දැනුවත් කළ බවද එහිදී මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

අන්තවාදී සියළු සංවිධාන තහනම් කිරීමට සිය විරෝධයක් නොමැති බව ද ජමියතුල් උලමා සංවිධානය පැවසීය.

මියගියේ "253ක් පමණයි"

මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් පමණ වන අතර "මාධ්‍යයේ පළ වූ ආකාරයට මළ සිරුරු සංඛ්‍යාව 359 නොවෙයි," යනුවෙන් ද සඳහන් කරයි.

පසුගියදා පොලිසිය විසින් මාධ්‍ය වෙත තොරතුරු නිකුත් කර තිබුණ, පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන බවට සැක කරන WP-DAE 4197 අංක දරණ, සඟවා තිබූ මෙම ලොරිය කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබා දුන් තොරතුරු අනුව සොයා ගත් මෙම ලොරිය පොලීසිය භාරයට ගෙන තිබෙන අතර, එහි පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.

මේ අතර, ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ වගකීම භාරගනිමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පදවියෙන් ඉල්ලා අස්විය.

පාකිස්තාන අනාථයෝ

සරණාගතව ලංකාවට පැමිණ මීගමුවේ සහ පස්යාල යන ප්‍රදේශවල පදිංචිව සිටින පාකිස්තාන ජාතිකයෝ තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මීගමුවේ සහ කටාන යන ප්‍රදේශ වල තාවකාලික කුලී නිවාස වල පදිංචිව සිටි ඔවුන්ට නොයෙකුත් බලපෑම් එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව පතා බදාදා (අප්‍රේල් 24) මිගමුව පොලිස් ස්ථානය වෙත ගෙන එනු ලැබිණ.

පාකිස්තාන අනාථයෝ
විරෝධතා පෝස්ටර්

ඉන් අනතුරුව 575 කට ආසන්න පාකිස්තාන ජාතිකයන් පිරිසක් පස්යාල ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක පදිංචි කරවීමට කටයුතු කෙරිණ. මේ සඳහා තාවකාලික කුඩාරම් කීපයක් හා දේවස්ථානයක් යොදා ගැණින.

කුඩා දරුවන් 150ක් ද අයත් මේ පිරිසට අයත් වේ.

කෙසේ වුවත් මෙලෙස පදිංචි කරන ලද පිරිසට බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) පස්වරුවේ ගම්වැසියන් පිරිසකගේ විරෝධය එල්ල වූ අතර, ගම්වැසියන් කියා සිටියේ වහාම මොවුන් ලංකාවෙන් පිටුවහල් කළ යුතු බවය. තුන්සියයකට ආසන්න පිරිසක් මේ අවස්ථාවට එක්වූ බව පස්යාල අහමදියා මුස්ලිම් සංවිධානයේ සභාපති හෆිස් අහමඩ් පැවසීය.

"මේ ජනතාව ලංකාවට ඇවිල්ල තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් සරණාගතයන් ලෙස ලියාපදිංචි වෙලා. පසුගිය ඉරිදා ඇතිවූ අවසානාවන්ත සිදුවීමෙන් පසු මේ ජනතාවට මීගමුවේ ජිවත් වෙන්න සුදුසු පරිසරයක් තිබුනේ නැහැ . ඒ නිසා ජාත්‍යන්තර ව හා පොලිසියේ ඉල්ලීම මත කෙටි කාලයක් මේ ජනතාවට නවාතැන් ලබා දෙන්න අපි කටයුතු කළා. නමුත් අද පස්වරුවේ මේ ස්ථානයට පැමිණි පිරිසක් මේ ජනතාව පලවා හරින ලෙස ඉල්ලා තර්ජන කළා," ඔහු පැවසීය.

මෙහිදී අදහස් පල කළ සරණාගතයෙකු වන ජාන් මොහොමඩ් ප්‍රකාශ කළේ තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ සාමකාමී ජනතාවක් සිටින බව විශ්වාස කළ නිසා බවය. එහෙත් මේ වන විට තමන් හා තම පවුලේ සාමාජිකයන් විශාල තැති ගැන්මකට ලක්ව ඇති බවද ඔහු පැවසීය.

"අපි ලංකාවට ආවේ පකිස්ථානයේ අපිට ජිවත් වෙන්න බැරි නිසයි .එහෙත් පසුගිය ඉරිදා ප්‍රහාරයෙන් පසු 1500 කට ආසන්න පිරිසක් පැමිණ මගේ නිවසට හානි කළා. මේ නිසා මම මෙන්ම මගේ පවුලේ සාමාජිකයන්ද බියට පත් වෙලා සිටිනවා. මීගමුවේ ඉඳලා පස්යාලට ආවේ පස්යාලේ ජනතාව ගැන විශ්වාස කරලා නමුත් දැන් අපිට මෙහිත් ජිවත් වෙන්න බැහැ ."

මේ සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදු නොවුයේ පොලිසිය හා ආරක්ෂක අංශ ඉතා ඉක්මනින් කටයුතු කිරීම හේතුවෙනි.