විසඳුමක් නැති වෛද්‍ය වර්ජනය

වීඩියෝ ශීර්ෂ වැකිය, වෛද්‍ය වර්ජනය: රෝගියා සහ වෛද්‍යවරයා

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නැවත වතාවක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරමින් මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බව අවධාරණය කරයි.

අද (සැප් 21) පෙරවරු 8.00 ආරම්භ වූ මෙම වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල කරා පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවකට පත්වී සිටින ආකාරය බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබුණි.

"බලන්න කොච්චර අමාරුවෙන්ද අපි මෙතනට එන්නේ. ඉන්න ගෙවල් දොරවල් නැතුවද? ගෙවල් දොරවල් තියෙනවා. ඉන්න තැන ලස්සනට තියෙනවා. මෙතෙන්ට එන්නේ ලෙඩේ අමාරුවට. නමුත් ගණන් ගන්නේ නැහැ. ටිකට් එක දෙන්නේ නැහැ හරියට, ඔක්කොම හොරු." යැයි කොළඹ ජාතික රෝහලට පැමිණ සිටි එක් රෝගී කතක් ඉතා උද්වේගයෙන් කියා සිටියාය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ සමයේ වෛද්‍යවරුන් මෙසේ වර්ජනය කළේනම් අද වන විට මෙවැනි තත්වයක් උදා නොවනු ඇතැයි, එහි පැමිණ සිටි තවත් රෝගියෙක් ප්‍රකාශ කළේය.

ඔහුගේ චෝදනාව වුයේ දේශපාලන අරමුණක් තකා වෛද්‍ය වැඩ වර්ජනය දියත්වන බවය.

වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳව ආණ්ඩුව වගකිය යුතු බව එහි පැමිණ සිටි රෝගියෙක් ප්‍රකාශ කළේය.

"මම කියන්නේ මේ උගත් දොස්තර මහත්තුරුන්ගේ ක්‍රමය හරි. රජය දැනගන්න ඕන මේකට පියවරක් ගන්න." යනුවෙන් ඔහු පැවසීය.

"උදේ පාන්දර පහට ගෙදරින් ආවේ. පෝලිමේ ඉඳල දැන් ඉතින් ගෙදර යනවා. බෙහෙත් ගන්න විදියක් නැහැ" යනුවෙන් රෝහලට පැමිණ සිටි තවත් රෝගී කතක් පැවසුවාය.

"ඊයේ රෑ ඉඳල පපුවේ මහන්සිය හැදිලා බෙහෙත්ටික ගන්න ආවේ. බෙහෙතක් දෙන්න කවුරුත් නැහැ. මොකක්ද මේකෙ තේරුම? මහ එවුන්ගේවත් ඇස් ඇරෙන්නේ නැහැනේ මේවට." එක් රෝගී කතක් එසේ පැවසුවේ දැඩි කෝප සහගත ස්වරයකිනි.

මේ අතරතුර එහි සිටි මැදිවිය පසුකළ රෝගී කාන්තාවක් කතා කරමින් මෙම වෛද්‍ය වැඩවර්ජනය සර්ව සාධාරණ බව කියා සිටියාය.

"අපි නම් වයසක මිනිස්සු මැරිලා යයි බෙහෙත් නැතුව හරි. අපේ ඉදිරි පරම්පරාව හොඳ දොස්තර මහත්වරුන්ගෙන් බෙහෙත් ගන්න ඕන කියල අපි විශ්වාස කරනවා." යැයි ය ප්‍රකාශ කළාය.

මෙම වැඩ වර්ජනය පිළිබඳව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසාගෙන් කළ විමසීමකදී ඔහු අවධාරණය කර සිටියේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බව ය.

"හෙට දවසේ උපදින්න ඉන්න දරුවට ගුණාත්මක සේවයක් ලබා දෙන්න කියල තමයි මේ වර්ජනය දියත් වෙන්නේ... සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි. සයිටම් ආයතනයේ ඉන්න සිසුන්ට විසඳුමක් ලබා දිය යුතුමයි." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.