කොරියානු උණුසුම මැද චීනයෙනුත් ප්‍රහාරක යානා නැවක්

චීනය තුළදී නිපදවන ලද පළමු ප්‍රහාරක යානා නෞකාව මෙය වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය තුළදී නිපදවන ලද පළමු ප්‍රහාරක යානා නෞකාව මෙය වේ.

කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කළේය.

මේ තත්වය සමග කලාපය තුළ චීනයේ හමුදාමය නියෝජනය තවදුරටත් ඉහළ නංවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි එරට ඊසාන දිගින් පිහිටි ඩාලියාන් වාරයේදී නෞකාව මුහුදට දියත් කර ඇත. මීට පෙරදී වාර්තාවල කියැවුනේ එය 2020 වසරේදී ක්‍රියාත්මකවීම අරඹන බවය.

line
line

උණුසුමට චීනයේ මැදිහත්වීම

කෙසේවෙතත්, චීනය මෙම නෞකාව දියත් කළේ මෑතක සිට ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර ඉහළ නගිමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේය.

නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය

මේ දක්වා චීනය සතුව පැවතියේ එක් ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවක් පමණි. 'ලියාඔනිං' නම්වූ එය යුක්‍රේනයෙන් මිලට ගත් නවීකරණය කරන ලද්දකි.

තවමත් නම් කර නොමැති නව ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය. එහෙත්, ඇමෙරිකාව සතු ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකා 10 ට වඩා තාක්ෂණික වශයෙන් අඩු මට්ටමක ඇති බව යුද විශ්ලේෂකයින් සිතන බව චීනයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් මක්ඩොනෙල් පවසයි.

පසුගිය දිනවල ඇමෙරිකාව විසින් කොරියානු අර්ධද්වීපය වෙත යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) ප්‍රමුඛ යුද නෞකා මෙන්ම යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) මිසයිල සන්නද්ධ සබ්මරිනය යැවීම උතුරු කොරියාවේ කෝපයට හේතුවිණි. මතුව ඇති තත්වය හමුවේ සන්සුන්ව ක්‍රියා කරන්නැයි චීනය ඉල්ලා සිටියේය.

කෙසේවෙතත්, මේ තත්වය මධ්‍යයේ චීනය විසින් දියත් කරන ලද යානා ප්‍රවාහන නෞකාව එරට මේ වනවිට සතු වසර 25 ක් පැරණි 'ලියාඔනිං' නැවට වඩා සුවිශේෂ වැඩිදියුණු කිරීමකින් යුතු නෞකාවක් ලෙස සැළකේ. යුක්‍රේනයෙන් මිලදී ගෙන තුබුණු ලියාඔනිං නව නවීකරණය කරන ලද, පැරණි සෝවියට් සමුහාණ්ඩුවට අයත්වූ එකකි.

චීනයේ පළමු ප්‍රහාරක යානා නෞකාව වූ 'ලියාඔනිං', නවීකරණ කරන ලද පැරණි සෝවියට් නැවකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ පළමු ප්‍රහාරක යානා නෞකාව වූ 'ලියාඔනිං', නවීකරණ කරන ලද පැරණි සෝවියට් නැවකි

චීනයේ ෂින්හුවා පුවත් සේවය පෙන්වාදෙන පරිදි අභිනව නෞකාව ඉදිකිරීම ඇරඹුණේ 2013 වසරේදීය.

එය දියත් කිරීමේ අවස්ථාවට චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපතිවරයාද එක්විය.

චීන ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුනේ එරට J-15 ප්‍රහාරක යානා සමග වෙනත් ගුවන් යානා ගෙන යා හැකි මෙම නෞකාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන්නක් නොවන බවය.