කොරියානු උණුසුම : මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් ළඟාවේ

යුඑස්එස් මිචිගන් සබ්මැරීනය කාල් වින්සන් ප්‍රමුඛ නෞකා සමුහය සමග එක්වීමට නියමිතය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යුඑස්එස් මිචිගන් සබ්මැරීනය කාල් වින්සන් ප්‍රමුඛ නෞකා සමුහය සමග එක්වීමට නියමිතය

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලනු ඇතැයි යන සැකය පැතිර යද්දී ඇමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා විය.

කලාපය වෙත යාත්‍රා කරමින් පවතින යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) නෞකාව ප්‍රමුඛ යුද නැව් සමුහය සමග එම සබ්මරීනයද එක්වීමට නියමිතය.

උතුරු කොරියානු යුද හමුදාවේ 85 වෙනි සංවත්සරය අද (අප්‍රේල් 25) සැමරෙන අතර මීට පෙර මෙවැනි අවස්ථාවලදී එරට මිසයිල අත්හදාබැලීම්වල යෙදී තිබීම නිසා යළි එවැන්නක් සිදුවිය හැකි බවට සක පලවී තිබිණි.

උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර පළවූ උණුසුම් ප්‍රතිචාර හමුවේ කොරියානු අර්ධද්වීපය තුළ යළි නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.

උතුරු කොරියාව සිය හමුදාවේ 85 වෙනි සංවත්සරය සමරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාව සිය හමුදාවේ 85 වෙනි සංවත්සරය සමරයි

යුඑස්එස් මිචිගන් (USS MICHIGAN)

දකුණු කොරියානු චෝසුන් ඉබෝ පුවත් පත වාර්තා කරන පරිදි එහි ළඟාවූ න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වෙන යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) සබ්මැරීනය ටොමහෝක් මිසයිල 154කින් සන්නද්ධය. විශේෂ කාර්ය භට කණ්ඩායම් 60ක් මෙන්ම කුඩා සබ්මැරීන ද එහි වේ.

එය, කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බලඇණිය සමග යුද අභ්‍යාසවල යෙදීමටද අපේක්ෂිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව දිගින් දිගටම ක්‍රියාත්මක කළ මිසයිල අත්හදාබැලීම් හමුවේ ඇමෙරිකාව චීනයට දන්වා සිටියේ ඔවුන් සිය අසල්වැසියා හසුරුවා නොගන්නේනම්, ඊට තමන් තනිව මැදිහත්වන බවය.

කාල් වින්සන්ට තර්ජනයක්

ඒ අනුව, මීට දින කිහිපයකට පෙර ඇමෙරිකානු නාවික හමුදාවට අයත්, ප්‍රහාරක ගුවන් යානා ගෙනයන යූඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බලඇණියක් කොරියානු අර්ධද්වීපය වෙත යැවිණි.

යුඑස්එස් කාල් වින්සන් කොරියානු අර්ධද්වීපයට ඒමට පෙර ඔස්ට්‍රේලියාව සමග ද අභ්‍යාසයක යෙදිණි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යුඑස්එස් කාල් වින්සන් කොරියානු අර්ධද්වීපයට ඒමට පෙර ඔස්ට්‍රේලියාව සමග ද අභ්‍යාසයක යෙදිණි

ඊට ප්‍රතිචාර දැක්වූ උතුරු කොරියාව කියා සිටියේ තමන් "කාල් වින්සන් මුහුදුබත් කිරීමට සුදානම්" බවය.

මේ අතර, පසුගිය බදාදා ඇමෙරිකාවේ සමස්ත සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයම අසාමාන්‍ය ලෙස ධවල මන්දිරය වෙත කැඳවා උතුරු කොරියාව සමග ඇති අර්බුදය පැහැදිලි කෙරුණු බව වාර්තා විය.

තත්වය එසේ තිබියදී, මීට පෙර ප්‍රකාශ වී තිබු පරිදි කාල් වින්සන් ප්‍රමුඛ නෞකා බලඇණිය කොරියානු අරධ්ද්වීපය වෙත නොයාම මත යම් කුකුසක් මතුවී තිබුනද, ඊට දී තිබු අණ පරිදි දැන් එම නෞකා සමුහය කොරියානු කලාපය වෙත යාත්‍රා කරමින් පවතින බව ඇමෙරිකානු නාවික බලධාරීහු පවසති.

මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් දුන් චීන ජනාධිපති සී ජින් පින් "ඉවසීමෙන් ක්‍රියාකරන්න, තත්වය තවත් උණුසුම් කරන ක්‍රියාවල නොදෙන්න" යැයි ඉල්ලා සිටියේය.