ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිලමේ සහ පොලිස්පති: 'යහපාලනය එළිපිටම හොරු රකිනවා'
අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවකදී ප්‍රතිඥා දුන් 'නිලමේ' නම් පුද්ගලයාට එරෙහිව බරපතල දූෂණ චෝදනා යටතේ පොලිස් විමර්ශන පැවැත්වෙන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.
එදින පොලිස්පතිවරයා 'සර්' නමින් ආමන්ත්‍රණය කරමින් දුරකථනයෙන් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකට යයි විශ්වාස කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කළේය.
පොලිස්පතිවරයා 'නිලමේගේ කේස් එක' නමින් හැඳින්වුයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර පිළිබඳව බව සඳහන් කරන දූෂණ විරෝධී පෙරමුණ, ඔහු අත්අඩංගුවට නොගන්නා මෙන් බලපෑම් එල්ලවීම මගින් 'යහපාලන රජය එළිපිටම හොරු රකින බව' හෙළිවී ඇතැයි අවධාරණය කරයි.
රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සඳහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් 'නිලමේට' එරෙහිව විමර්ශන සිදුවෙමින් පවතින බවත් දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.
රාජපක්ෂ පාලනයේ 'ඉහලම පවුලක' සමීපම ඥාතියකු වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ලංකා ඛනිජ වැලි (ලංකා මිනරල් සෑන්ඩ්) සමාගමේ සභාපති සහ ක්‍රියාකාරී අධුක්ෂ ධුර හෙබැවූ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.
ඔහුට එරෙහි විමර්ශන පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන්, "මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතායි. හදපු බීච් පාක් එකක් නෑ. මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ," යනුවෙන්ද පැවසීය.
දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරන පරිදි, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට, ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ලබාගැනීම 'නිලමේට' එරෙහි තවත් චෝදනාවකි.
"මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සඳහා යොදවා ඇති බවට චෝදනාවක් තිබෙනවා," කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය.
"සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්කේ ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ."
'මහා පරිමාණ හොරු' රැකීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවටද උලපනේ සුමංගල හිමියන්, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සහ චමීර පෙරේරාද සහභාගි වූ මාධ්‍ය හමුවේදී දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කළේය.
කෙසේ නමුත් අදාළ 'නිලමේ' අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නොපැකිලෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.
මෙම චෝදනා පිළිබඳව කරුණු විමසීම පිණිස බීබීසී සංදේශය කිහිපවතාවක්ම ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර ඇමතූ නමුත්, ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.