ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෛත්‍රීට මඟ හෙළි කළ 'දූෂිත ප්‍රාදේශීය නායකයෝ'
ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා පැවති ආණ්ඩුවේ ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ අයහපත් දූෂිත ක්‍රියා කලාපය රුකුලක් වූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
තමා සතු බලතල සහ සීමා පිළිබඳ අවබෝධයක් නොමැතිව කටයුතු කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය ආණ්ඩුවක ඉදිරි පැවැත්මට බලපෑමක් ඇති කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
පාලන ආයතනවල වර්තමාන කාර්යභාරය සහ ඒ හමුවේ ඇති අභියෝග පිළිබඳ පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පැවති ආණ්ඩුව ජනතාව අතර පිරිහීමට ලක් වූ බවයි.
''එක්තරා සභාපතිවරයෙක් තමන් පරිහරණය කරපු සිය වෙනි කාන්තාව පිළිබඳ සමරු උත්සවයක් තිබ්බා.''
''විදේශීය කාන්තාවක් දූෂණය කරලා ස්වාමියා මරා දැමූ තවත් සභාපතිවරයකු පක්ෂයෙන් අස් කරලා ලිපියක් යැවූ විට සුසිල්ටත් මටත් රජ ගෙදරට එන්න කියලා ඇහුවා කාගෙන් අහලද මගේ සභාපතිවරයා අස් කළේ කියලා, වහාම අස්වීමේ ලිපිය ආපසු ගෙන්වා ගන්න කිව්වා'
'ප්‍රතිපත්තිමය ගැටුම්'
''එකතරා පළාත් පාලන ආයතනයක සභාපතිවරයකු ගැන විනය පරීක්ෂණයක් කළ යුතු බව මම ඒ කාලේ නායකතුමාට කිව්වහම මට දුන්න උත්තරේ තමයි, පිස්සුද? ගෙදරකට ගලක්වත් ගහන්න ඉන්නේ මට ඔය මනුස්සයා විතරයි කිව්වා''
අගමැති ධුරය නොලැබුණු බැවින් තමා පැවති ආණ්ඩුවෙන් ඉවත් වූ බව ඇතැමුන් පැවසුවත් පැවති ආණ්ඩුවේ නායකත්වය හා ඇති වූ ප්‍රතිපත්තිමය ගැටුම් හේතුවෙන් තමා ඉන් ඉවත් වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනාධිපතිවරයා එහිදී ඉඟි කොට සිටියේ ලබන වසර ආරම්භයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි.
'අපිට රජයක් වශයෙන් තිබෙන කාර්යය තමයි යහපත්, ගුණවත් දේශපාලනඥයන් පිරිසක් පළාත් පාලනයෙන් බිහි කර ගැනීම සහ දූෂණයෙන් වංචාවෙන් තොරව එම ආයතනවල සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමයි.' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය.