ස්ටීවන් ජේ රැප් සංචාරයට එරෙහිව

යුද අපරාධ චෝදනා පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකානු විශේෂ නියෝජිත, ස්ටීවන් ජේ රැප් මේ දිනවල නිරත වෙමින් සිටින සංචාරයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුවට පක්‍ෂපාත කණ්ඩායමක් අද බ්‍රහස්පතින්දා කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටියහ.

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ජාතික සංවිධාන එකමුතුව විසින්.

එම විරෝධතාවාදීන් කියා සිටින්නේ, ඇමෙරිකාව ඔවුන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නො තකා හරිමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට අත පොවන බවයි.

ජාතික නිදහස් පෙරමුණේ සංවිධායකයකු වූ ගුණදාස අමරසේකර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ස්ටීවන් ජේ රැප් සංචාරය ශ්‍රී ලංකා ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා ඇමෙරිකාව ගෙන යන වැඩ පිළිවෙලක එක් අදියරක් පමණක් වන බවයි. <link type="page"><caption> ජගත් අපරාධ අධිකරණ කාර්යාලයේ ප්‍රධානියා වන ස්ටීවන් ජේ රැප්</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140107_sumandiran_rapp_warcrimes.shtml" platform="highweb"/></link>, ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් සමඟ මේ වන විට සාකච්ඡා කර ඇති අතර, සෙනසුරාදා ආපසු පිටත්ව යාමට පෙර ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කරනු ලැබීමට නියමිතයි.

විශ්වසනීය විභාගයක්

ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී ආණ්ඩුව විසින් මෙන් ම දෙමළ කොටි සංවිධානය විසින් සිදු කොට ඇතැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් එල්ල කෙරෙන<link type="page"><caption> ජාත්‍යන්තර බලපෑම තීව්‍ර කෙරෙමින්</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140108_us_state_department_lanka.shtml" platform="highweb"/></link> පවතින මොහොතකයි ඇමෙරිකානු විශේෂ නියෝජිතයා ගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන්නේ.

එම අපරාධ සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි මට්ටමේ විභාගයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමින් ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.

එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ලබන මාර්තු මාසයේ දී අධීක්ෂණය කිරීමට මානව හිමිකම් මණ්ඩලය බලාපොරොත්තු වෙන බවයි වාර්තා වන්නේ.

දෙබිඩි පිළිවෙතක්

එම කාලය වන විට යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අසමත් වුනොත් මානව හිමිකම් මණ්ඩලය විසින් විභාගයක් ආරම්භ කරනු ලබන බව එහි ප්‍රධානී නවී පිල්ලෙයි පවසන්නීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ,යුරෝපා හවුල සහ වෙනත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරනු ලැබ තිබුණ කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කරනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ගොදුරක් කර ගැනීමට දැන් උත්සාහ කරමින් සිටින බවටයි, අද බ්‍රහස්පතින්දා ධජ පතාක රැගෙන උද්ඝෝෂණය කරමින් සිටි විරෝධතාවාදීන් චෝදනා කරමින් සිටියේ.

එම විරෝධතාවාදීන් කියා සිටින්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.